වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




තරුවට තරුවක්

තරුවට තරුවක්

පොළොවේ තරුවක් නමින් ගුවනේ තරුවක් නම් කෙරුමට නම් ඒ තරුව, තරුවකටත් වඩා සුවිශේෂී ය යුතුයි. බොලිවුඩ් පුරයේ එවැනි තරු රැසකි. මධුරී ඩික්සිත් නම් තාරකාව අසූව දශකයේ අග භාගයේ සිට තාරකා ලොව ආධිපත්‍ය සියතට ගත් රාජිනියයි.

විවාහයෙන් පසු සිනමාව සමඟ එතරම් පයිරු පාසානමක් නොදැක් වුව ද තවමත් ඇය බැස නොගිය තරුවකි. ඇයට උමතු වූ රසිකයන් තාරකාවක් ඇයගේ නමින් නම් කිරීමට සිතීමම එයට ඇති කදිම සාක්ෂියකි.

මධුරී නමින් නම් කර ඇති තරුව පායන්නේ අහසේ ඔරායන් තාරකා රාශියේයි.

මධුරී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස වැඩිම වාර ගණනක් සම්මාන සඳහා නිර්දේශ වී ඇති තාරකාවයි. දැන් යළි ඉන්දියාවේ පදිංචියට පැමිණ සිටින ඇය මෑතකදී රසිකයන්ට වඩාත් සමීප වූයේ ‘ජලක් දික්ලා ජා 4’ රියැලිටි නර්තන වැඩ සටහනෙනි.

හතළිස් පස් හැවිරිදි මධුරී සිනමා දෙවැනි ගමනට ද මුල පුරා අවසන්ය. විශාල් භාරද්වාජ්ගේ ‘දේ ඉෂ්කියා’ සහ අනුභව් සිංහගේ ‘ගුලාබ් ගෑන්ග්’ සිනමාපටවලට මේ වන විට මධුරී මානපය දී ඇත.

අවේලාවේ ලෙඩුන් බැලීමට ‘සල්මන්ට’ තහනම්

සල්මන් ඛාන් හෙවත් රසිකයන්ගේ ආදරණීය සාලු කවදත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරන්නෙකි.

රූගත කිරීම් දහසක් මැද්දේ වුවත් ඔහු ජ්‍යෙෂ්ඨ නළු රාජේශ් ඛන්නාව බැලීමට ලීලාවතී රෝහලට ගියේ එනිසාය. එහෙත් තරු බලයට රෝහලේ නීතිමය බලය හරස් වූයේ සල්මන්ගේ හද පාරවමිනි.

අවේලාවේ රෝගීන් බැලීමට ඉඩ නොදීම තදින් ක්‍රියාත්මක කරන ලීලාවතී රෝහල සල්මන්ටත් බෙදුවේ සාමාන්‍ය පුරවැසියකුට බෙදන හැන්දෙන්මය.

පළමු සුපිරි නළුවා වූ රාජේශ් ඛන්නා බැලීමේ බලාපොරොත්තුව අත්හැර දමා සල්මන් තම නිවෙසට ගොස් තිබේ.

නැන්දම්මාගේ මඟුල් සාරිය ලේලියටත්

නැන්දම්මා සහ ලේලී අතර සැබෑ ජීවිතයේදී මෙන්ම සිනමාවේදීත් අපට දකින්න ලැබෙන්නේ එතරම් සුහද සබඳතාවක් නොවෙයි. එහෙත් සැබෑ ජීවිතයේදී දිගු කාලයක සිට සමාජයේ මුල් බැස ගත් මේ තිත්ත ඇත්ත බොරුවක් කිරීමට හිටපු සුපිරි තාරකාවක් හා දැනට සිටින සුපිරි තාරකාවක් සමත් වී තිබේ.

මේ නිළි නැන්දණිය, ෂර්මිලා තාගෝර්ය. ලේලිය කරීනා කපූර්ය. දෙදෙනා අතර කෙතරම් දැඩි ළෙන්ගතුකමක් ගොඩ නැඟී තිබෙනවා ද කිවහොත් වසර හතළිස් තුනකට පෙර ෂර්මිලා ඇන්ද මංගල ඇඳුම, තම මංගල ඇඳුම ලෙසින් තෝරා ගැනීමට කරීනා කැමැත්තෙන් සිටින්නීය.

ඔක්තෝබර් 16 වැනිදා කරීනා - සායිෆ් විවාහය පැවැත්වීමට නියමිතයි.

මේ වන විට කරීනා ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහක රන් මාලයක් ඇනවුම් කර ඇත. පුදුමය නම් ෂර්මිලා පුතුගේත්, කරීනාගේත් විවාහය තහවුරු කරද්දී මනාල යුවළ මුනිවත රැකීමයි.

සායිෆ් අලි ඛාන්ගෙන්වත් ෂර්මිලාගෙන්වත්, කරීනාගේ රංගන ජීවිතයට නම් කිසිදු බාධාවක් එල්ල වන්නේ නැත. විවාහයෙන් පසු ඇය රඟන්නේ සංජේ ලීලා බන්සාලිගේ ‘රාම් ලීලා’ සිනමා පටයේයි. සිනමා පටයේ ඇයගේ පෙම්වතා වන්නේ රන්වීර් සිංය.

රංගනයට පමණක් නොව කරීනා අදහන හින්දු ආගමට ද බලපෑම් නොකිරීමට තරම් සායිෆ්ගේ සිත විවෘතය. ෂර්මිලාට විවාහයෙන් පසු මුස්ලිම් ආගම වැළැඳ ගැනීමට සිදු වුව ද, කරීනාට ඒ දෛවය උරුම නැත. සායිෆ් කියන්නේ ආගම් දෙකක දෙදෙනකු විවාහ වීමේදී එකිනෙකාගේ ආගම් වෙනස් නොකරන ලෙසට නීතියක් රජයෙන් ගෙන ආ යුතුª බවයි.

ෂර්මිලා මුස්ලිම් ආගම වැළැඳ ගත් පසු ඇයට අයේෂා බෙගම් ලෙස නම වෙනස් කිරීමට සිදු විය. සායිෆ්ගේ හිටපු බිරිය අම්රිතා සිං ද සායිෆ් නිසා මුස්ලිම් ආගම වැළැඳ ගත් නිළියකි.

අලි ඛාන් පවුලට කපූර් පවුල කෙතරම් සමීප ද කිවහොත්, කරීනාගේ අක්කණ්ඩිය, කරිෂ්මා සිය තිස් අට වැනි උපන් දිනය ජූනි 25 වැනි දින සැමරුවේ ද පතාවුදිලාගේ එනම් සායිෆ්ගේ මන්දිරයේයි. ෂර්මිලා, කරීනා, සායිෆ්, සංජේ කපූර්ගෙන් දික්කසාද වූ පසු පෑරුණු සිතින් සිටින කරිෂ්මා හා දරුවන් දෙදෙනා සතුටු කිරීමට ඔවුන් ලන්ඩනයේ උපන් දින සවාරියක් ද රැගෙන ගොස් තිබේ. කරිෂ්මාගේ නවතම සිනමා පටය ‘ඩේන්ජරස් ඉෂ්ක්’ එතරම් සාර්ථක නොවුණත් ඇය සිනමා පට ගණනාවකටම රඟපෑමට අස්සන් තබා අවසන්ය.