වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




උදාරිට දූ සිඟිත්තියක්

උදාරිට දූ සිඟිත්තියක්

මවක් වන්නට පෙරුම් පුරමින් සිටි උදාරි වර්ණකුලසූරියගේ ඒ සිහිනය පසුගිය සිකුරාදාවේ සැබෑ වුණා. උදාරිට කුලුඳුලේ ලැබුණේ ඇය බලාපොරොත්තු වුණු පරිදි දියණියක්.

ඇය මේ පිළිබඳ මුලින්ම කිව්වේ සරසවියට. මව සහ දියණිය ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

දූ සිඟිත්තිය ද රැගෙන තවත් මාසයකින් පමණ උදාරි ලංකාවට පැමිණීමට නියමිතයි. සිංගප්පූරුවේ සෙන්තොසා හි පිහිටි නිවාස සංකීර්ණයක නිවාඩුව ගත කරන උදාරිගේ ජීවිතයට දියණිය නිසා මහත් ආලෝකයක් ලැබුණු බව ඇය පවසන්නේ හද පිරි සතුටින්. මෙරටට පැමිණි පසු කෙටි කලකින් සුපුරුදු පරිදි රංගන ජීවිතය යළි ආරම්භ කරන්නට සැරැසෙන වගත් තම රසික රසිකාවන්ට කියන්න කියලා උදාරි අපිට කිව්වා.

කේ. ඒ. මිල්ටන් පෙරේරා උපහාර උළෙලක් හෙට

සම්මානනීය කලා අධ්‍යක්ෂ කේ. ඒ. මිල්ටන් පෙරේරාගේ දශක හතරකට ආසන්න කාලය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙය ඇගයීමේ විශේෂ උපහාර උළෙලක් මෙම හය වැනිදා (හෙට) සවස හතරට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය. මිල්ටන්ගේ උපන් දිනය යෙදෙනුයේ ද හෙට දිනටය.

කලා අධ්‍යක්ෂවරුන්ගේ එකමුතුවෙන් සංවිධානය වන මෙම කාලෝචිත කටයුත්තේ මුඛ්‍ය දේශනය ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජයන් විසින් පැවැත්වීමට නියමිතය. මිල්ටන් කලා ශිල්පියා මෙතෙක් කළ නිර්මාණ අළලා සැකසුන වාර්තා චිත්‍රපටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කිරීමට සංවිධායක කමිටුව සූදානම්ය. එමෙන්ම ඔහුට එදින සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීම සහෘදයන් කැළගේ බලාපොරොත්තුවකි.

සිනේ නාමාවලිය නිකුත් වෙයි

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මුද්‍රණය කරනු ලබන සිනෙ දුරකතන නාමාවලියේ මෙම වසරේ පිටපත දැන් නිකුත් වී තිබේ.

සංස්ථාවේ ප්‍රධාන ශාඛාවෙන් සහ දළුගම සරසවිය චිත්‍රාගාරයෙන් මෙය මිල දී ගත හැකිය.

ප්‍රදීප් ධර්මදාසගෙන් චිත්‍රපටයක්

ප්‍රදීප් ධර්මදාස කියන්නේ දක්ෂ නිවේදකයෙක්, සම්මානයට නිර්දේශ වූ රංගන ශිල්පියෙක්. ඒ වගේම ‘ඇහිපිල්ලමක් යට’ ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයා.

නමුත් ඒ අපේ කාලයේ කලා ශිල්පියා වසර තුනකටත් වඩා වැඩි කාලයක් සිටියේ නිහඬව. හැබැයි තව ටික දිනකින් ප්‍රදීප් යළි කරළියට එනවා. ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස.

මංජුල වෙඩිවර්ධන තමයි ප්‍රදීප්ට මෙහි කතාව ලියා දෙන්නට සැරසෙන්නේ. ජීවිතයට දැනෙන සාමාජීය කාරණා පිළිබඳවයි ප්‍රදීප් තම කුලුඳුල් සිනමාපටයෙන් කතාබහ කරන්නට සූදානම. මේ දිනවල ඔහු එහි නළු නිළියෝ තෝරනවලු. ඉතාම ඉක්මනින් සිනමාපටයෙහි නම ඇතුළු සියලු විස්තරයන් පළමුව ‘සරසවියට’ කියන්නම් කියලා ප්‍රදීප් පැවසුවා

රිද්මා ස්වාධීන මණ්ඩලයක්

උපරිම පිටපත් තිස් පහයි

ලාංකේය සිනමා නිර්මාණවේදීන්ගේ සන්ධානයේ දෙවන මහ සභා රැස්වීමේදී සම්මත වූ යෝජනා පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් එහි අනුශාසක හෙළනිළි රැජන මාලිනියගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සුදර්ශි ශාලාවේදී පැවැත්විණ.

එහිදී සම්මත වූ යෝජනා අතර ප්‍රධාන සිනමා ශාලාවක් සමඟ රිද්මා මණ්ඩලය ස්වාධීන මණ්ඩලයක් බවට පත් කිරීම, චිත්‍රපට බෙදා හැරීමේදී උපරිම පිටපත් තිස් පහකට සීමා කිරීම, වැඩ කටයුතු අවසන් වූ පිළිවෙලට චිත්‍රපට තිරගත කිරීම ආදී තීරණ රැසක් යෝජනා කොට ඇති බව කැදව්ම්කරැ එරංග සේනාරත්න සභාවට ප්‍රකාශ කරන ලදී.

ඒවා සියල්ල සංස්ථාව මඟින් සම්මත කොට ඇති බව එරංග වැඩිදුරටත් ඒ සභාව දැනුවත් කළේය. සේයාරුවින් දැක්වනුයේ මාලිනිය සභාව ඇමතූ අයුරුයි.