වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




රන් සිරිමල් ජාතික නාළිකාවේ

රන් සිරිමල් ජාතික නාළිකාවේ

ගයා රම්‍ය අල්විස්ගේ අධ්‍යක්ෂණයක්

දුවන් දුවන්

දූවිල්ල මතින්

අරුණැල්ල අරන්

පරවෙන්න කලින්. . .

මේ තේමා ගීතය සමඟින් රන් සිරිමල් නවතම ටෙලි සිත්තම ජූලි මස 21 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.

ජව සම්පන්න ධාවන ශූරයෙක් වන ධනංජය නම් වූ පාසල් සිසුවා ක්‍රීඩා දිවියේ පාසල්, පර්ෂද ජයග්‍රහණ ලබා ජාතික වාර්තාව අභියස බලාපොරොත්තු සහගතව සිටියි. අවසාන ජාතික වාර්තාව සඳහා වූ ධාවන තරගයේදී කිසියම් සැළසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵයක් ලෙස ඔහු ධාවන මං තීරුවේ අසරණ වෙද්දී ජයග්‍රහණය පෙනි පෙනී එය අහිමි වී යයි. සියලු දෙනාගේ විවේචනයට ලක් වන ධනංජය ක්‍රීඩා දිවිය පිළිබඳ කලකිරීමට පත්ව ක්‍රීඩාවට සමු දෙයි.

පසු කලෙක ගුරුවරයෙකු ලෙස දුෂ්කර ගම්මානයක කටයුතු කරන ධනංජයට සුවිශේෂී දරුවෙකු වූ සිිරිමල් හමුවීමත් සමඟ සිරිමල් තුළින් ධනංජය තම යටගියාව නැවත දකින්නට පටන් ගනියි. තමාට අහිමි වී ගිය ක්‍රීඩා කිරුළ සිරිමල් තුළින් දකින ධනංජය නියම පුහුණුකරුවකුගේ ප්‍රශස්ත ගති පැවැතුම් විදහා දක්වන කරුණාවන්ත ගුරුවරයකු ලෙස සිරිමල් අවසාන ජාතික ඉලක්කය දක්වා මෙහෙය වන්නට වෙහෙසෙයි. ධනංජයගේ ප්‍රයත්නයත්, සිරිමල්ගේ ජවයත් ඊට එරෙහිව නැගෙන සමාජ ආර්ථික අභියෝග හමුවේ ඔවුන් සිදු කරනු ලබන අරගලත් රන් සිරිමල් තුළින් විශද වෙයි.

හොඳම යොවුන් නවකතාව ලෙස ගොඩගේ සම්මානයට පාත්‍ර වූ අනුරසිරි හෙට්ටිගේ ගේ රන් සිරිමල් නවකතාව ඇසුරෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව ක්‍රීඩාව විෂය කර ගත් ටෙලි නාට්‍යයක් ලෙස මෙය විකාශය කෙරේ.

හඳුන්වා දෙන ළම නළු නිපුන තීක්ෂණ සිරිමල් ලෙස චරිත නිරූපණය කරන මෙම ටෙලි වෘත්තාන්තයට ධර්මප්‍රිය ඩයස්, තරුෂි පෙරේරා, ජයලත් මනෝරත්න, දමයන්ති ෆොන්සේකා, නිරෝෂන් විජේසිංහ, බන්දුල විතානගේ, මාදනී මල්වත්ත, දීපානි සිල්වා, චිත්‍රා වාකිෂ්ට, දයා තෙන්නකෝන්, ග්‍රේස් තෙන්නකෝන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

ගයා රම්‍ය අල්විස් අධ්‍යක්ෂණය කරන රන් සිරිමල් හි කැමරාකරණය - දීපාල් ජයසිංහ, සංස්කරණය - පූජිත කාංචන අමරතුංග, අංග රචනය – චන්දන සෙනරත් බණ්ඩාර, සංගීතය – අසේල බණ්ඩාර, ගායනය - සමන් ලෙනින්, කලා අධ්‍යක්ෂණය ජිනේෂ පද්මකුමාර සහ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග සසංක අමරවීර ගෙනි.