වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




බෙනා ගෙනා සිනා

විඳිමි මිහිර තරු අරණේ

බෙනා ගෙනා සිනා

ලොකු කුඩා කවුරුත් බෙනා මාමාට ආදරෙයි. ඒ නිසාම මෙවර සරසවිය තරු මිහිරට බෙනා මාමාගේ පැමිණීම සරසවිය පාඨකයන්ට ආනන්දයක් වුණා. තරු මිහිරට එවූ විශාල තැපැල්පත් අතරින් තෝරා ගත් ජයග්‍රාහකයින් සරසවියට පැමිණ බොහෝ වෙලාවක් ගත වුණා.

නමුත් බෙනා මාමා එන පාටක් නම් නැහැ. පැයක්, දෙකක්, තුනක් සිටියත් මේ පිරිසට බෙනා මාමා දකිනකන් ඉවසිල්ලක් නැහැ.

‘ඇයි ද පමා . . .

නොවනු පමා . . .

උනොත් පමා . . .

වරද තමා . . .

යයි කවියක් කියමින් සියල්ලෝම පුදුමයට පත් කරමින් බෙනා මාමා හෙවත් අද ‘තරු මිහිරේ’ කතා නායකයා ප්‍රියන්ත සෙනෙවිරත්න පැමිණියා.

‘මුලින්ම මට සමාවෙන්න. මම පැය තුනක් පරක්කුයි . . . ඒ නිකම් නොවෙයි ඩෙංගු මඩින වැඩ සටහනකට සහභාගි වුණා. ඒකයි පරක්කු වුණේ.

අනේ ඔයගොල්ලෝ දෙන ඕනෑම දඬුවමක් මම විඳීන්න කැමැතියි ඕං . . . යයි ප්‍රියන්ත එක හුස්මට පැවසුවේ දෑත් එක් කොට වඳිමින්.

මුලින්ම මට ඔයගොල්ලෝ හඳුන්වා දෙන්නකෝ . . .

මම ධර්මා ඒකනායක. මාතලේ ඉඳන් ආවේ.

මම රෝහිණී කුමාරගේ. දෙහිවල ඉඳන් ආවේ.

මම එච්. ඒ. ජයසේන. රනාල ඉඳන් ආවේ.

මම ලෙස්ලි ද සිල්වා අල්විස්. දෙහිවල ඉඳන් අවේ.

ජයසේන මහත්මයා වැඩ කරන්නේ කොහේද? ඒ පි‍්‍රයන්තගේ පැනයයි.

මම පවුල් සැලසුම් කාර්යාලයේ වැඩ කරන්නේ . . .

අනේ මටත් . . . තව පවුල් දෙක තුනකට සැලසුම් කරගන්න පුළුවන්ද?

ඒ ප්‍රියන්තගේ පැනය ජයසේනටයි.

මහන්සිය යන්නත් එක්ක සිංදුවක් කියමුද? ඒ රෝහිණීගේ යෝජනාවයි.

එහෙනම් මට තනියම බෑ . . . ධර්මත් එන්න මාත් එක්ක නටන්න. ඒ ප්‍රියන්තගේ ඉල්ලීමයි.

අනේ මට බෑ . . .

කමක් නැහැ. එන්නකෝ . . .

ප්‍රියන්ත නැගිට, කාලගෝල නාට්‍යයේ කාලගෝලයා ලෙස ධර්මා දෙසටත්. . . රෝහිණී දෙසටත් නැමි නැමී මනරම් රංගනයක් ඉදිරිපත් කළා.

දැන් පරක්කුවීමට හේතු දක්වන්න . . .

කල් යල් බලා ජයසේන ඉල්ලා සිටියා.

‘අනේ ඉතින් ප්‍රජා සත්කාර වැඩසටහන්වලට ගියාම ඔහොම තමා . . . මට කැමැති දඬුවමක් දෙන්න.

එහෙනම් දඬුවම හැටියට මේ කේක් එක අපට කවන්න . . . ඒ ධර්මායි.

අපොයි . . . ඒක සුළු දෙයක්. . . කියමින් ප්‍රියන්ත හැමෝටම කේක් බෙදා දෙමින් ඔහු ද කේක් කෑල්ලක රස බැලුවා.

එහෙනම් මේ තෑග්ග මගෙන් . . . කියමින් ධර්මා රැගෙන ආ රස වෑහෙන පැණි වළලු පාර්සලයක් ප්‍රියන්තට ලබා දුන්නා.

‘එහෙනම් හැමෝම සළුසල අපට ලබා දෙන තෑගි වවුචර් මම ගානේ ආ, නෑ . . . වැරැදුනා සරසවිය ගානේ’ කියමින් සළුසල තෑගි වවුචර් හැමෝටම බෙදා දුන්නා.

ඒත් සමඟම රෝහිණී ගෙනා තෑගි පාර්සලය ද ප්‍රියන්ත වෙත ලබා දුන්නා.

ඇයි ඔයා හාස්‍ය චරිතම රඟපාන්නේ?

ධර්මාගෙන් නැවතත් ප්‍රශ්නයක්.

ප්‍රියන්තගේ සමරු සටහන් . . .

‘මට රඟපාන්න අධ්‍යක්ෂවරු කතා කරන්නේම ඒ චරිතවලටනේ . . .එහෙනම් ඔයා මේ දිනවල කරන අලුත්ම වැඩ මොනවද? රෝහිණී නැවත ඇසුවා.

ඇන්ටන් ජූඩ් අපේ හිතවතා වෙනුවෙන් ඔහුගේ ‘සකි සඳ මඬල’ වේදිකා නාට්‍ය නැවත වේදිකා ගත කරන කටයුත්තත් එක්ක කාර්යබහුලයි. ඒ වගේම තවත් වේදිකා නාට්‍ය තුනක විතර වැඩ කරනවා. ටෙලි නාට්‍ය කිහිපයකටත් කතා කරලා තියෙනවා.

ඔයාට ශාස්ත්‍රීය නාට්‍යවල ගීත ගායනා කරන්න පුළුවන්ද? ඒ ජයසේනයි.

ඇයි බැරි . . . ඕං එහෙනම් බලා ගන්නකෝ . . .

ප්‍රේමයෙන් මන රංජත වේ . . . නන්දිත වේ . . .

පුෂ්පයෙන් මන සුන්දර වේ . . . ලංකෘත වේ . . .

ඔහු මනමේ නාටකයේ ගීතය ගායනා කළේ අලංකෘත ලෙස මනමේ කුමරුගේ විලාසය ද මවා පාමිනි.

ධර්මා ඔයාට රඟපාන්න පුළුවන්ද? ඒ ධර්මාට යොමු කළ පැනයයි.

අපෝ බැහැ . . . මම කලාවට ආදරෙයි . . . නමුත් රඟපාන්න නම් බැහැ . . .

ඔයාට බෙනා මාමාගේ රංගනයත් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඒ රෝහිණියි.

හරි හරි . . . ඔන්න බෙනා මාමාව හැබැහින් බලා ගන්නකෝ . . . යැයි කියමින් පබළු හී බෙනා මාම ලෙස හරි අපූරු රංගනයක් ඉදිරිපත් කළා.

එහෙනම් තව එක සිංදුවක් කියමු . . . එහෙම කියූ ප්‍රියන්ත එක දිගටම ගීත පහහ හයක් ගායනා කළේ පිරිස සිනා සයුරේ ගිල්වමින්.

විවිධ විහිළු තහලු මැදි හෝරා කිහිපයක් ගෙවුණත් බෙනා මාමාව තනිකර යෑමට මේ පිරිසට හිත නොදෙයි.

නමුත් හමුවීමක් සමඟම වෙන් වීමක් තිබුණත් යළිත් තරු මිහිරෙන් හමුවන බලාපොරොත්තුවෙන් ඔවුනොවුන් සිප වැළඳ ගනිමින් මෙවර ‘තරු මිහිර’ට සමු දුන්නා.

සියලු දෙනාම රස සයුරේ . . .

ප්‍රියන්ත සළුසල තෑගි රෝහිණීට දෙමින්

ජයසේනටත් තෑගි

බොහෝ දොස් කියා මාගේ. . . ප්‍රියන්ත රඟයි

ආලේ බැන්ඳ මාගේ ධර්මා . . .

ධර්මාගෙන් ප්‍රියන්තට පැණි වළලු

රෝහිණිගෙන් ප්‍රියන්තට තෑග්ගක්

අපෝ ධර්මා ඇයි ලැජ්ජා . ..

කාල ගෝලයා ඇවිද්දෙ මෙහෙමයි . . . ප්‍රියන්ත මොහොතකට කාල ගෝල වෙමින් .

ප්‍රේමයෙන් මන රංජිත වේ

මේ ඉන්නේ සුදට සුදේ

ලෙස්ලිටත් තෑගි

මේ බෙනා මාමාට වැඩිව සවුත්තු දාන්න එපා!

ප්‍රියන්ත සහ ලෙස්ලි කාලගෝල, දික්තල වෙමින්

මේ සුනිමල මගේ දික්තල – රෝහිණී දෙසට යමින්