වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝති

ජෝති

විස පස් වසක් ගත කෙරුවෙමි ඔබ නැතුව
අසමින් රුවන් ගී රැස ඇති මා සතුව
ඔබ ගැන මතක එනවා යළි යළි මතුව
සමරමි මිතුර! නොසිඳෙන ළසොවින් යුතුව

බාලේ පටන් ගී හඬ වෙත සවන් ඇදී
මට ඔබ සොයා එන්නට සිත කියන ලදී
ගීී ලොව ගමන් මඟ පාදා සිතින් ලැදී
ජෝතිය මගේ ඔබ විය මිතු දමින් බැඳී

සිනමා තිරේ වැජඹුන කෝකිල යාය
පොදු ජන හද දිනා ගත් ගායක යාය
ගී ඔසුවෙන් සුව දුන් ජීවක යාය
පාලුයි සදා ඔබ නැති ගී තරු යාය

ඔබෙ ගී කොල්ල කාගෙන නොතකා නීතී
අද නව ‘සුපිරි තරු’ පිරිසක් ‘වැඩ දාතී’
බැලු බැලු අතේ නෙක නෙක විගඩම් පාතී
සුපිරි තරුව ඔබ මිස කව්රුද ජෝතී

උත්තම ගුණෙන් පිරිපුන් ගුණවතාණෙනී
සිත් ලෙස දිවිය විඳ ගත් රසවතාණෙනී
අත් හැර අප ගියත් ඔබ අවුළුවා ගිනී
සිත් තුළ ජීවමානයි හිතවතාණෙනී

පැතු ආදරය හිමි නැති වූ ලෝකයක
ඔබ ළඟ සැනසුණෙමි වළලා ඒ මතක
ඉන් පසු ඔබ ද ගිය විට නොඑනා මගක
දිවියම කැළඹුනා මැදි වී වියවුලක

යළි ආදරේ කුසුමක් පිබිදී ආවා
නොසිතු පරිදි ඒ කුසමද පර වූවා
මේ හුදෙකලාවේ මගෙ දිවි ගතවේවා
ඔබ හමුවෙලා මතු මා සිත සැනසේවා

‘ජෝති රාත්‍රිය’ දිනපතා ලක්හඬින් මේඛලා වසුන්දරාගේ ඉදිරිපත් කිරීමක්

එච්. ආර්. ජෝතිපාල තමයි මේ රටේ වැඩිම ගීත සංඛ්‍යාවක් ගැයූ ගායන ශිල්පියා. ඒ ගීත ප්‍රමාණය දොළොස් දහසකට ආසන්නයි. කොයි තරම් ජෝති රසිකයකු වුණත් ජීතිගේ අහපු නැති ගීතයක්, දෙකක් නම් තියෙනවාමයි.

ජෝතිගේ ජනප්‍රිය ගීත මෙන්ම අප්‍රකට ගීත රැසක් අපට ‘ලක්හඬ’ ගුවන් විදුලියෙන් දිනපතාම රාත්‍රී 9.00 – 10.00 දක්වා පැයක කාලයක් සවන් දෙන්න පුළුවන්. ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන තිබෙනා මේ ජෝති රාත්‍රිය වැඩසටහනේ ඉතිහාසය අවුරුදු තුනකට ආසන්නයි.

ජෝතිගේ හැඟුම්බර ගායනයන්ට වදන් චිත්‍ර මවමින් ‘ජෝති රාත්‍රිය’ අපට සමීප කරවන්නේ යොවුන් නිවේදිකා මේඛලා වසුන්දරා. ඇය තමයි මේ වැඩසටහනේ නිෂ්පාදිකාවත්.
‘ලක්හඬ’ ගුවන් විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අශෝක කරුණානායකගේ සංකල්පයක් අනුව තමයි මේ වැඩ සටහන මම ආරම්භ කළේ. ඒ 2009 වසරේ ඔක්තෝබර් මාසයේදී.

මුලින්ම මෙය ප්‍රචාරය වුණේ රාත්‍රී 9.00 සිට 9.30 දක්වා විනාඩි 30 ක කාලයකින්. නමුත් අසන්නන්ගේ බලවත් ඉල්ලීම නිසා වසරකට පසු අපි එය පැයක් දක්වා දීර්ඝ කළා. මම හිතන්නේ කිසිම නාලිකාවක දිනපතාම මේ වගේ ගායන ශිල්පියකුගේ ගීත ප්‍රචාරය වෙන්නේ නැහැ. ජෝති ගේ ගී වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ ලක්හඬ ගුවන් විදුලිියේ සහ ස්වාධීන රූපවාහිනියේ. ජෝතිපාලයන් ගැයූ ගීවල නිවැරැදි විස්තරත් අප ඉදිරිපත් කරනවා. සමහර ගීත ඇතැම් ශ්‍රාවකයන් මුලින්ම ඇහුවේ මේ ‘ජෝති රාත්‍රිය’ වැඩ සටහනෙන්.

ජෝති සැමරුම්,

ජූලි 07 උදෑසන හීල් දානය මාලිගාවත්ත අබේසිංහාරාමයේ දී.
ජූලි 07 උදෑසන දහයට පුෂ්පෝපහාරය බොරැල්ල කනත්ත, ජෝතිපාල පිළිරුව අසල දී.
ජූලි 07 සවස දෙකට වියළි ආහාර බෙදා දීම ජයනන්ද සීඩී වර්ල්ඩ් අසල දී.
ජූලි 07 සවස හයයි තිහට ජෝති උපහාර ප්‍රසංගය මරදාන ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේ දී.

සිංහ එෆ්. එම්. සජීවි වේදිකාව ජෝති වෙනුවෙන්

ජෝතිපාලයන්ගේ විසිපස් වන ගුණ සමරුව තේමා කර ගනිමින් සිංහ එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව ජූලි මස හත් වැනි දින රාත්‍රී 8 – 12 දක්වා සිංහ එෆ්. එම්. සිංහ සජීවී වේදිකාව වෙන් වනුයේ ජෝතිපාලයන් වෙනුවෙනි.

මේ සඳහා සංගීතයෙන් මාරවිල සංතූර් සංගීත කණ්ඩායම එකතු වන අතර පුන්සිරි සොයිසා, ලලිත් පොන්නම්පෙරුම, ඩබ්ලිව්. ප්‍රේමරත්න, සුරේෂ් ගමගේ, උදේශ් නිලංග, ගයනි මදුෂා, මාරියෝ ආනන්ද සහ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ ගායනයෙන් දායකවීමට නියමිතය.