වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ලොව ප්‍රථම එබඳු වැඩ සටහනයි

රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ලොව ප්‍රථම එබඳු වැඩ සටහනයි

රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සමඟ විශේෂ සාකච්ඡාවකි

‘රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ

පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ

නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා පැයේ

දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

අපේ රණවිරුවන්ගේ අභිමානය සහ උදාර මෙහෙවර පිළිබඳ කියැවෙන මේ විශිෂ්ට ගී නිර්මාණය තවමත් ශ්‍රී ලාංකික ජනතාවට අමතකව නැත. එදා අපේ රණවිරුවන් දිරිමත් කරන්නට තවත් මෙබඳු ගී නිර්මාණය වූ බව අප දනිමු.

එහෙත් නිදහසේ රන් අරුණලු දෙරණ සිප ගත් මොහොතේ පටන් අපේ රණ විරුවන්ට ද සිය හදවතේ ගීතය ගැයීමට අවස්ථාව උදා වූයේ සැබෑ විජයග්‍රහණයක අභිමානයත් සමඟිනි.

‘රණවිරු රියල් ස්ටාර්’ ඔවුනගේ සැබෑ වූ ඒ ගායන සිහිනයයි. එහි දෙවන අදියරේ තරගය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ හෙට සවස 6.30 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීය. තරගකරුවන් තිදෙනකු සහ තරගකාරියන් දෙදෙනකු අතරින් සැබෑ ගායන රණවිරු තරුව හෙට දිනයේ සිය ගායනාභිෂේකය ලබනු ඇත.

‘රණවිරු රියල් ස්ටාර්’ පසුපස සිටිනා යෝධ සෙවනැල්ල නැතහොත් අයෝමය හස්තය ඔහුය. හේ අන් කවරකු නොව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ලමහතාය.

අවසන් මහා තරගයට පෙරාතුව ඔහු ‘රණවිරු රියල් ස්ටාර්’ පිළිබඳ කතාබහකට අප හා එක් වූයේ මෙලෙසිනි.

‘රණවිරු රියල් ස්ටාර්’ අපේ අනෙකුත් රියැලිටි වැඩ සටහන්වලින් වෙනස් වන්නේ කොහොමද?

අපි ගත්තොත් ‘රණවිරු රියල් ස්ටාර්’ කියන්නේ ලෝකයේ පළමුවැනි ඒ විදිහේ වැඩ සටහන. රණවිරුවන්ට මෙබඳු වැඩ සටහනක් මීට පෙර ලෝකේ කොහේවත් නිර්මාණය වී නැහැ. ඇත්තෙන්ම මෙහි සංකල්පය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ.

බොහෝ අය සිතා සිටියේ හමුදා නිලධාරීන් සහ සෙබළ, සෙබළියන් ඉන්නේ යුද්ධ කරන්න විතරයි කියලා. ආරක්ෂක ලේකම්තුමාට අවශ්‍ය වුණේ මේ ආකල්පය වෙනස් කරන්න. මොකද එතුමන් දැනගෙන සිටියා රණවිරුවන්ගේ කලා කුසලතා ගැන.

එතුමන් එය අත්දැකීමෙන් පසක් කර ගත් දෙයක්ද?

ආරක්ෂක ලේකම්වරයා කියන්නේ 1971 දී හමුදාවට බැඳීලා අවුරුදු 22 ක් පුරා උතුරේ ක්‍රියාන්විතයට සම්බන්ධ වූ නිලධාරියෙක්. ඉතින් ඔහු දැනගෙන හිටියා හමුදාවේ ඉන්න අයගේ හද ගැස්ම මොන වගේද කියලා. පහුගිය යුද සමයේදී අපි නොයෙක් කඳවුරු වලට ගියා. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා පසුගිය අවුරුදු පහේදී ඒ බංකර්වලට පවා ගියා.

ඒ අවස්ථාවලදී ඔහු දැක්කා එක එක්කෙනා ලියා තිබෙන කවි, ගීත. සමහර අය ලිපියක් විදිහට තමන්ගේ හැඟීම් ලියලා. මේ හැඟීම්, දැනීම් එළි දක්වන්න තමයි ආරක්ෂක ලේකම්තුමාට ඕනෑ වුණේ. විශේෂයෙන්ම අපේ රණවිරුවන්ගේ ගායන හැකියාවන් පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තිබුණා.

ඒ හැකියාව තිබෙන පිරිසට වේදිකාවක් තනා දෙන්නයි ඔහු මේ සංකල්පය ඔස්සේ පෙරමුණ ගත්තේ. අනුග්‍රාහකයන් පවා සොයා ගත්තේ එතුමන් විසින්. අපට තිබුණේ එතුමන්ගේ සංකල්පය ක්‍රියාත්මක කිරීම පමණයි. මෙහි සම්බන්ධීකරණ කටයුතු සියල්ල එතුමා පැවරුවේ මට.

ජීවිතයේ බොහෝ අභියෝග ජයගත් ඔබට මෙය කෙබඳු අත්දැකීමක් වුණාද?

ඇත්තටම මෙය අභියෝගයක් වුණා. මොකද ඒ වෙන විට බොහෝ රියැලිටි වැඩ සටහන් වෙනත් රූපවාහිනී නාළිකාවල විකාශය වෙලා, ජනප්‍රිය වෙලා තිබුණා.

ඒ වගේම සමහරක් කඩා වැටිලා, ඒ තත්ත්වය තමයි තිබුණේ. නමුත් කෙසේ හෝ අපට පුළුවන්කම ලැබුණා මේ වැඩ සටහන ඉතාමත් සාර්ථක විදිහට නව මුහුණුවරකින් පවත්වාගෙන යන්න.

පසුගිය අවුරුද්දේ මේ රටේ තිබුණ රියැලිටි වැඩ සටහන් අතරින් ‘රයිගම් ටෙලීස්’ සම්මානය පවා හිමි වුණේ ‘රණවිරු රියල් ස්ටාර්’ වැඩ සටහනට. මෙවැනි වැඩ සටහනක ජනප්‍රියත්වය මනිනා හොඳම සාධකය තමයි S.M.S. මනාප. අනෙක් එක රේටින්ස්. ඒ දෙකෙන්ම පෙරමුණ ගත්තේ මේ රියල් ස්ටාර් වැඩ සටහන.

සාමාන්‍යයෙන් පළමු වටවලදී මෙබඳු වැඩ සටහනකට S.M.S. ලැබෙන්නේ ලක්ෂයයි. එක හමාරයි. නමුත් මුල් වටවලම ලක්ෂ හත, අට දක්වා අපිට S.M.S. මනාප ලැබුණා. ගියවර තරගයේදී අවසාන පැය හතක කාලයේදී මිලියන 1.2 ක S.M.S. ප්‍රමාණයක් මේ වැඩ සටහනට ලැබුණා.

ජංගම දුරකථන සම්බන්ධතා සමාගම් එක්ක කතා කළාම අපට දැනගන්න ලැබුණේ සාමාන්‍යයෙන් රියැලිටි වැඩ සටහනක අවසන් මහා තරගයේ ලැබෙන්නේ ලක්ෂ හතරක, පහක S.M.S. සංඛ්‍යාවක් බවයි. ඒකෙන්ම පේනවා ‘රණවිරු රියල් ස්ටාර්’ කෙතරම් ජනප්‍රිය වැඩ සටහනක් ද කියා.

සෙසු රියැලිටි වැඩ සටහන්වලට වඩා මෙහි තරගකරුවන් වෙතින් පවා අප දුටුවේ වෙනස්ම ගුණාගංයන්?

ඔව් . . . විශේෂයෙන්ම ඔවුන්ගේ විනය සහ ශික්ෂණය. සමහර රියැලිටි තරගවල අප දුටුවා විනිශ්චය මණ්ඩලය හා තරගකරුවන් හැප්පෙනවා. මේකෙ එහෙම නෑ. හමුදාවේ විනය ගරුක බව ඔවුන් එතනදීත් විදහා පෑවා. මේ තරගාවලියේදී අපි පළමු තරගයට වඩා යම්, යම් වෙනස්තම් කළා.

අපි බිමි මට්ටමට ගිහින් නිලධාරීන්, සොල්දාදුවන් තෝරාගෙන ඒ අය අතර තරගයක් තියලා තමයි සුදුස්සන් තෝරා ගත්තේ. ගියවර විසි දහසක් පමණ වූ තරගකරුවන් මෙවර තිස් දාහ දක්වා වැඩි වෙලා තියෙනවා.

මොකද ගිය පාර තරගය පටන් ගන්නා විට කවුරුවත් දැනගෙන හිටියේ නෑ මේ ගැන. ජනප්‍රියත්වයක් තිබුණේ නැහැ. අනෙක තරගයේ ජයග්‍රාහකයන්ට දෙන ත්‍යාග මුදල් පිළිබඳ අප කිව්වේ ඒ වැඩ සටහන අතරතුරේ.

මම හිතන්නේ මෙවර ත්‍යාගයන් පිළිබඳ අප විශේෂයෙන්ම කතා කළ යුතුයි?

මෙවැනි කිසිම තරගයකදී වෙනත් කිසිදු රූපවාහිනී නාළිකාවක් මේ තරම් ත්‍යාග තරගකරුවන්ට ලබා දුන්නේ නැහැ. ගියවර ජයග්‍රාහකයාට මිලියන විස්සක් පමණ වටිනා නිවසක් අප ලබා දුන්නා. අප මෙවර ජයග්‍රාහකයාට මිලියන විසි පහක පමණ වටිනාකමකින් යුත් නිවසක් පිරිනමනවා. බත්තරමුල්ල අකුරෙගොඩ කියන ප්‍රදේශයෙන් තමයි අප මේ නිවස ලබා දෙන්නේ. ගියවර මිලියන පහළොවක් සහ මෙවර මිලියන දාහතක් වටිනා නිවෙස් දෙන බව අප ප්‍රකාශ කර තිබුණත් ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදේශවල සැබෑ වටිනාකම තමයි අර මම මුලින් ඔබට කිව්වේ.

සෙසු ත්‍යාගයන් පිළිබඳ කතා කළොත්?

දෙවැනි ස්ථානයට අප මෝටර් රථයක් ලබා දෙනවා මිලියන පහක් පමණ වටිනාකමකින් යුතු. අවසන් දොළොස් දෙනාටම මිලියනයට නොඅඩු තෑගි අපි පිරිනමනවා. ඒ නිසා මෙවර තරගකරුවනුත් වැඩි වුණා.

ගියවරට වඩා මෙවර තරගකරුවන් සංගීතමය හැකියාව අතින් ඉදිරියෙන් සිටින අය. විශාරද එඩ්වඩ් ජයකොඩි සහ ජැක්සන් ඇන්තනි ගියවරත් මෙම විනිශ්චය මණ්ඩලයේ කටයුතුª කළා. ඔවුන් පවා අපට කිව්වේ ගියවරට වඩා මෙවර තරගකරුවන්ගේ දක්ෂතා වැඩියි කියලයි. මෙවර අවසන් පස් දෙනා තෝරන තරග වටයට අපට S. M. S.  මිලියන 1.2 ක් ලැබුණා. ඒකෙන්ම පේනවා ගියවරට වඩා මෙවර තරගකාරිත්වය වැඩියි කියන එක.

සංගීතය අංශයෙන් පමණක් දැනුම තිබෙන අයම නෙවේ මෙහි විනිශ්චය මණ්ඩලයට ඇතුළත්ව සිටින්නේ. ඊට විශේෂ හේතුවක් තියෙනවාද?

අවසාන සියයට ආපුවාම තමයි අපි මේන් ජජ් පැනල් එක දාන්නේ. විශේෂයෙන්ම අර කඳවුරුවලට ගිහින් අපි තරගකරුවන් තෝරා ගන්නා අවස්ථාවේදී සංගීතය පිළිබඳ තමයි වැඩි අවධානය යොමු කරන්නේ. අවසන් සිය දෙනා අතරට එනකොට ඒ තත්ත්වය වෙනස්. අපේ ප්‍රෝගෑම් එකේ මුල් දවසේ යුනිෆෝම් එකෙන් සහ දෙවැනි දවසේ සිවිල් ඇඳුමෙන් තමයි තරගකරුවන් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ.

යුනිෆෝම් එක ඇඳගෙන ෆොෆෝම් කරද්දී ඒ අය එක්තරා සීමාවකට නතු වෙනවා. ඒ සීමාවේ ඉඳගෙන තමයි ඒ අයට නර්තනයක් වුණත් ඉදිරිපත් කරන්න පුළුවන්. ගී ගයන්න පුළුවන්. මොකද හමුදා ඇඳුමට තියෙන ගරුත්වය ඒ අයුරින්ම ආරක්ෂා කරනවානේ. දෙවැනි දවසේ තමයි මේකේ අර ප්‍රාසංගික ගුණය ඉස්මතු වෙන්නේ.

ඒ වගේ දවසක අපට අවශ්‍ය වෙනවා ගීතයෙන් එහාට ගිය දෙයක්. එදාට තරගකරුවන්ටත් බොහොම නිදහසක් තියෙනවා. ඒ අයට අවශ්‍ය විදිහට වේදිකාව හසුරුවා ගන්න පුළුවන්.

විනිශ්චය මණ්ඩලය සකස් වී තිබෙන්නේ ඒ අවශ්‍යතාවයන් අනුව?

විශේෂයෙන්ම අපි එඩ්වඩ් ජයකොඩි ගත්තොත් ඔහු සංගීතය පිළිබඳ විශාරදවරයෙක්. ඔහු අද අපේ රටේ ඉන්න ප්‍රවීණතම ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙක්. එතකොට අපි ජැක්සන් ඇන්තනි තෝරා ගෙන තියෙන්නේ ජැක්සන්ට කලා මාධ්‍යයන් කිහිපයක් ගැනම හොඳ අවබෝධයක් තියෙන නිසා. ඔහු නළුවෙක්. ගායකයෙක්. නර්තන ශිල්පියෙක්. අධ්‍යක්ෂවරයෙක්.

මේ හැම එකකම ප්‍රවීණයෙක් ඔහු. තුන්වැනි විනිශ්චය මණ්ඩලයට අපි මෙවර ආරාධනා කළේ යශෝධා විමලධර්මට. ඇය සංගීතයට වඩා නර්තනය පැත්තෙන්, ඒ වගේම හින්දි දැනුම පැත්තෙන් සහ උගත්කමෙන් යුත් කලා ශිල්පිනියක්. අපේ තරගකරුවන්ට ගෞරවයක් වෙන්න පුළුවන් කෙනෙක් තමයි අපි විනිශ්චය මණ්ඩලයට තෝරා ගත්තේ.

ඔයාලත් දැකලා ඇති තරගකරුවන් විනිශ්චය මණ්ඩලයට ආමන්ත්‍රණය කරන්නේ ‘සර්’, ‘මැඩම්’ කියලා. එතකොට ඒ ගෞරවය ලබන්න පුළුවන් කෙනෙකු තමයි අපි ඉදිරිපත් කරන්නේ. නිවේදක, නිවේදිකාවන්ගේ ඇඳුම් ගැන පවා අපි සැලකිලිමත් වෙනවා.

බොහෝ රියැලිටි ප්‍රසංගවලින් අනතුරුව ජයග්‍රාහකයන් අතරමං වෙනවා. ඔවුන්ට මොකද වුණේ කියලා සොයා ගන්නත් නැහැ. එතකොට ‘රණවිරු රියල් ස්ටාර්’ ශිල්පීන්ගේ අනාගතය පිළිබඳ විශේෂිත වැඩ පිළිවෙලක් තියනවාද?

ගියවර තරගාවලියේ ජයග්‍රාහකයන් පස් දෙනාට ප්‍රසංගවල ගී ගැයීමට විවිධ ඇරැයුම් ලැබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව අපි ඒ අයට යන්න දෙනවා. ඒ වගකීම පැවරිලා තියෙන්නේ මට. ඔහුට හෝ ඇයට යන්න සුදුසු තැනක් ද මේ කියලත් අපි සොයා බලනවා. හිටපු නාවුක හමුදාපති තිසර සමරසිංහ මහතා දැන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා.

එතුමා ලැහැස්ති කරලා තියනවා මාසයක සංචාරයක්. එහිදී ප්‍රසංග කිහිපයක් ඔවුන් විසින් පවත්වනු ලබනවා. ගියවර තරගයේ පස්වැනි තැනට ආ ධනුෂ්ක ලක්මාල් සංයුක්ත තැටියක් පවා නිකුත් කළා. ඒක ගිය සතියේ ආරක්ෂක ලේකම්තුමාට පිරිනැමුවා. අපි පුළුවන් තරම් උදවු කරනවා මේ අයගේ කලා කුසලතාවන් එළියට ගන්න. හැබැයි ඒකත් අර හමුදාවේ නීතියට අනුව. මේ වෙනකොට අර පළමු වටයේ ජයග්‍රාහකයන් පස් දෙනාට ශිෂ්‍යත්ව පිරිනමන්නට අප කටයුතු කරගෙන යනවා.

තරගයේ විනිවිදභාවයට සහ සැබෑ දක්ෂයා මතු වීමට S.M.S. ක්‍රමය බාධාවක් බව බොහෝ අය පවසනවා. මේ පිළිබඳ ඔබේ ආකල්පය?

මෙතනදි කිසිම ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. අපි S.M.S. වලින් ලකුණු දෙන්නේ 40% ක ප්‍රමාණයක්. 60% ක් අපි දීලා තිියෙන්නේ විනිශ්චය මණ්ඩලයට. අවස්ථා දෙක තුනකදී හැර, හුඟක් වෙලාවට විනිශ්චය මණ්ඩලයේ තීරණය තමයි ප්‍රේක්කෂකයාගේත් තීන්දුව වෙලා තිබුණේ. ඉතින් අපේ සියලුම දේවල් කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට.

විනිශ්චය මණ්ඩලය ලකුණු දාන්නේ පවා ඉලෙක්ට්‍රොනික් පෑනකින්. ඒ පෑන කොම්පියුටරයට දාපුවාම තමයි ප්‍රතිලඵල එන්නේ. එතකොට S.M.S. ප්‍රතිඵල ත්‍රිවිධ හමුදා නිලධාරී ඉදිරිපිටදී විවෘත කරන්නේ මීඩියා සෙන්ටර් එකේදී විතරයි. මම කිසිම හමුදාවකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. මට ත්‍රිවිධ හමුදාව එක සමානයි. ඒ නිසා අපි මේ තරගය පවත්වන්නේ ඉතාමත් විනිවිද භාවයකින් යුතුව.

විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය සහ අනුග්‍රහය මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට ප්‍රබල පිිටිවහලක් නේද?

ඔව්. ඒ පිළිබඳ විශේෂයෙන් කතා කළ යුතුයි. ආරක්ෂක අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපතිවරයා යටතේ. අපේ ප්‍රධානියා එතුමා. ජනාධිපතිතුමා පළමු වටයේදී සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම මේ වැඩ සටහන නරඹලා ඒකෙ තිබුණ අඩුපාඩු අපට පෙන්නලා දුන්නා.

ඇත්තටම ගියවර අඩුපාඩු ගොඩක් තිබුණා. ඒත් රණවිරු රියල් ස්ටාර් මිෂන් 02 තරගාවලියේදී අප ඒ වැරැදි අඩුපාඩු නිවැරැදි කර ගත්තා.

ජාතික රූපවාහිනිය මේ කාර්යයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා අත්වැල් බැඳ සිටින්නේ ඉතාමත් වගකීමෙන් හා දැඩි කැපවීමෙන් . . .?

හැමෝම මෙවැනි වැඩ සටහන් කළේ ජනප්‍රිය රැල්ලටනේ. ඒවාටම වෙන්වුණු රූපවාහිනී නාළිකා පවා තිබුණා. ජාතික රූපවාහිනියට මෙවැන්නක් කළ නොහැකියැයි බොහෝ දෙනා සිතුවා. නමුත් අපි ඒ ආකල්පය වෙනස් කරලා ලංකාවේ ජනප්‍රියම හා හොඳම කියන ඉසව් දෙකම ජයග්‍රහණය කළා.

ආරක්ෂක ලේකම්තුමා හැම සුළු දෙයක් ගැනම හොයලා බලලා, අධීක්ෂණය කරපු නිසයි මේ වැඩ සටහන මේ තරම් සාර්ථක වුණේ. ගියවර තරගාවලියේ මට මතකයි අවසන් තරගයට පෙර ඩ්‍රෙස් රිහසල් එක දවසේ ආරක්ෂක ලේකම්තුමා පැය අටක් සුගතදාස ක්‍රීඩාංගනයේ ගත කළා. එතුමාට කොච්චර වැඩ තිබුණත් මේ වැඩ සටහන සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. යුද්ධය කලමනාකරණය කළා වගේ මේ කාර්යයත් එතුමා නිසි ලෙස කලමනාකරණය කරනවා. මෙහි සාර්ථකත්වය පිළිබඳ අපට ගැටලු නැහැ.