වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගෝල්ඩ් ෆින්ගර් ඊශ්‍රායලයේ තහනම්

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි

ගෝල්ඩ් ෆින්ගර් ඊශ්‍රායලයේ තහනම්

ඒ අනුව ඉදිරියට ඔහු රඟපාන සෑම බොන්ඩ් චිත්‍රපටයක් සඳහාම චිත්‍රපටයේ මුළු ආදායමෙන් 5% ක පාරිතෝෂික දීමනාවක්ද ඔහුට ලබාදීමට ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගම එකඟත්වය පළ කළා.

ගෝල්ඩ් ෆින්ගර් ගේ පුද්ගලික ගුවන් නියමුවරිය හෙවත් පුසි ගැලෝර් ගේ චරිතයට හොනර් බ්ලැක්මන් තෝරා ගනු ලැබුවේ ඈ රඟපෑ ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයේ ඈ දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි. ජූඩෝ ක්‍රීඩාවේ ඈ සතු හැකියාවන් ප්‍රදර්ශනය කරනු වස් චිත්‍රපටයට අලුතින් ජවනිකා කීපයක් ද එක් කරනු ලැබුවා.

ජේම්ස් බොන්ඩ්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගෝල්ඩ් ෆින්ගර් ගේ චරිතය රඟපෑවේ ජර්මන් ජාතික ගර්ට් ෆෝබේ නම් නළුවෙක්. ප්‍රවීන නළු ඔර්සන් වේල්ස් ඉහළ වැටුපක් ඉල්ලා සිටීමත් තියඩෝර් බයිකල් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීමත් නිසා ෆෝබේ නිතරඟයෙන්ම චරිතය දිනා ගත් නමුත් ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය සතුටුදායක නොවූ නිසා මයිකල් කොලින්ස් නැමැත්තා ඔහුට පසුබිම් හඬ ලබා දුන්නා.

ගෝල්ඩ් ෆින්ගර් යටතේ සේවය කරන රූමතියක් පසුව ඔහුට ද්‍රෝහි වී ජේම්ස් බොන්ඩ් හට සහාය දැක්වීම නිසා ඇගෙන් පළිගැනීම පිණිස ඇගේ සිරුර පුරා රන් ආලේප කිරීමෙන් ඇය මිය යන දර්ශනයක් මෙම චිත්‍රපටයට ඇතුළත් වෙනවා.

මෙම චරිතය රඟපෑවේ ෂර්ලි ඊට්න් නමැති නිළියක්. සිනමා පෝස්ටරය සඳහාත් යොදාගෙන තිබුණේ ඇය මිය ගොස් සිටි දර්නයයි. සියලු ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි කළ මෙම ඡායාරූපය අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ සඟරාවක් වන ‘ලයිෆ්’ සඟරාවේ පිට කවරය සඳහා ද යොදා ගැනීමෙන් ෂර්ලි ඊට්න් ලැබුවේ විශාල ජනප්‍රියත්වයක්.

ගෝල්ඩ් ෆින්ගර්ගේ අතවැසි ආරක්ෂකයා වූ ‘ඔඩ් ජොබ්’ ලෙස රඟපෑ හැරල්ඩ් සාකාතා කොරියන් ජාතික මල්ලව පොර ශූරයෙක්. බොන්ඩ් චිත්‍රපටයක රඟපෑ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩකයා ඔහු වෙයි.

අධ්‍යක්ෂක හැමිල්ටන් ඔහු හැඳින්වූයේ ප්‍රියජනක පුද්ගලයා නමිනි. බොන්ඩ් සමඟ අවසන් සටනේදී බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටියදීත් අධ්‍යක්ෂක විසින් ‘කට්’ යන විධානය දෙනතුරු වේදනාව දරාගෙන රඟපෑමට තරම් කැපවීමක් ඔහු සතු විය.

බොන්ඩ් චිත්‍රපට 11ක ර් 16 රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස රඟපෑ බර්නාඩ් ලී ගේ තුන්වන චිත්‍රපටය ලෙසත්Q අංශයේ ප්‍රධානියා ලෙස රඟන ඩෙස්මන්ඩ් ලෙවලින්ගේ දෙවන චිත්‍රපටය ලෙසත් මෙය හඳුන්වා දිය හැකියි.

ගෝල්ඩ් ෆින්ගර් චිත්‍රපටයේ ආකර්ෂණීයම අංගය බවට පත් වූයේ නිෂ්පාදන සැලසුම් ශිල්පී කෙන් ඇඩම්ගේ නිර්මාණයක් වූ ඇස්ටන් මාර්ටින් ච්ඕ 5 මෝටර් රථයයි. චිත්‍රපටයක් සඳහා බ්‍රිතාන්‍යයේ නිපැයුණු වඩාත්ම සංකීර්ණ අංගෝපාංගයන්ගෙන් සමන්විත රථය ලෙස සැලකෙන්නේ මෙම රථයයි. කෙන් ඇඩම් සමඟ ඉංජිනේරු ජෝන් ස්ටියර්ස් හට මෙම රථයේ ප්‍රති නිර්මාණ කටයුතු සඳහා සති 6 ක කාලයක් ගත වුණා.

රථයේ ඉදිරිපස සංඥා ලාම්පු යටින් ඉදිරියට එන සේ සකස් කරන ලද මැෂිින් තුවක්කු යුගලයද, රටවල් තුනකදී පාවිච්චි කළ හැකි අයුරින් සකසන ලද කැරකෙන නොම්මර තහඩුව ද, පිටුපසින් එන වෙඩි ප්‍රහාර වැලැක්වීම සඳහා එසවිය හැකි ලෝහ පලිහක් ද, ලුහුබැඳ එන වාහන ලිස්සා යාම සඳහා යොදා ගන්නා තෙල් විදිනය ද, රියැදුරු අසුනට යාබද අසුනේ සිටින සතුරකු රථයෙන් පිටතට විසි කිරීම සඳහා යොදා ගත හැකි දුන්නක් සවි කරන ලද අසුන සහ රිය පසුකර යාමට තැත් කරන වාහනවල ටයර් කපා දැමිය හැකි යාන්ත්‍රික කියත යනාදි වශයෙන් ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික මෙවලම් ගණනාවකින් මෙම රථය සන්නද්ධ කොට තිබූ අතර බොත්තමක් එබූ සැනින් මෙයින් එකක් හෝ කීපයක් ක්‍රියාක්මක කරවීම් හැකියාව බොන්ඩ් හට ලබා දී තිබුණා.

හොලිවුඩ් සිනමාවේ මෙවැනි වාහනයක් ඉදිරිපත් කෙරුණු මුල්ම අවස්ථාව මෙයයි. එමතු ද නොව ප්‍රථම වතාවට ලේසර් කිරණයක් භාවිත කළ චිත්‍රපටය ද මෙය වෙයි. ගෝල්ඩ් ෆින්ගර් ගේ කම්හලේදී අත් අඩංගුවට පත්වන බොන්ඩ් රන්තහඩු මේසයකට තබා බැඳ ලේසර් කිරණයක ආධාරයෙන් රන් තහඩුවක් සමඟම බොන්ඩ් ගේ සිරුර කපා දැමීමට තැත් කරන අයුරු ඇතුළත් දර්ශනය මෙහිලා සඳහන් කළ හැක.

එවකට කාර්මික ලෝකයේ ලේසර් කිරණ මගින් තහඩු කැපීමක් නොතිබුණ අතර ව්‍යාජ ලේසර් කිරණයක් එල්ල කොට තහඩුව කපන ලද්දේ තහඩු මේසය යට සිටි කෙන් ඇඩම් විසින් යොදා ගත් වෑල්ඩින් ලාම්පුවකින් බව දන්නේ ස්වල්ප දෙනෙකි. ඔඩ් ජොබ් විසින් රථයක් යකඩ කුට්ටියක් බවට පත් කිරීමට උපයෝගී කර ගන්නා යන්ත්‍රය ද එවන් විශේෂ මෙවලමකි.

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ වූ ෆෝට් නොක්ස් රන් සංචිතය තුළ දර්ශන සියල්ල චිත්‍රාගාරය තුළ ප්‍රති නිර්මාණය කරන්නට සිදු වුණේ අමෙරිකානු රජය ආරක්ෂක හේතූන් මත එවැනි රූගත කිරීම්වලට ඉඩ ලබා නොදෙන බැවිනි. ෆෝට් නොක්ස් ප්‍රදේශයේ අහසේ ගුවන් යානා පැදවීම සඳහා අධ්‍යක්ෂක හැමිල්ටන් විසින් අවසර ඉල්ලා සිටි විට අඩි 3000 ක් ඉහළින් පමණක් පියාසර කිරීමට අවසර ලැබුණ අතර එය ප්‍රමාණවත් නොවන බව අධ්‍යක්ෂකගේ අදහස විය.

බ්‍රිතාන්‍ය චිත්‍රපට සමාගමකට ෆෝට් නොක්ස් රන් සංචිතය තුළ රූගත කිරීම්වලට අවසර ලබා දුන්නේ කෙසේදැයි අමෙරිකානුවන් ප්‍රශ්න කරන තරමට ස්වභාවිකව රන් සංචිතය නිර්මාණය කිරීමට කෙන් ඇඩම් සමත් වූ බවට මෙය කදිම නිදසුනකි. චිත්‍රපටය නැරැඹූ ෆෝට් නොක්ස් පාලකවරයා එම නිර්මාණය අගයමින් කෙන් ඇඩම් වෙත ලිපියක් ද එවා තිබුණි.

චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ 1964 සැප්තැම්බර් 17 දා ලන්ඩන් හි ඔඩියන් සිනමා ශාලවේදී. එදා ලිසිස්ටර් චත්‍රරස්‍රය වෙත ඇදී ආ මහ ජනසන්නිපාතය හැසිරවීමට පොලීසිය අසමත් වූ අතර, ඇති වූ තදබදයෙන් සිනමාහලේ වීදුරු දොරවල් කීපයක් ද කැඩී යාම නිසා දර්ශනය ආරම්භ වුණේ විනාඩි 10 ක් පමණ පමාවීමෙන් පසුවයි. 1964 දෙසැම්බර් 21 දා නිව්යෝක් හි ඩි මිල් තියටර්හිදී අමෙරිකාවේ මංගල දර්ශනය පැවැත්වුණ අතර නගර 41 ක සිනමාහල් 64 ක් පුරා චිත්‍රපටය තිරගත කෙරුණා. චිත්‍රපටය ඊශ්‍රායලයේ තහනම් කෙරුණේ එහි රඟපෑ ජර්මන් ජාතික ගර්ට් ෆ්රෝබේ දෙවෙනි ලෝක යුද සමයේදී නාසීන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයකු බැවින් යැයි පැවසේ.

ද සන්ඩේ ටයිම්ස්, ඩේලි මිරර්, ඩේලි ටෙලිග්‍රාෆ්, ද ඔබ්සවර්, ද ගාඩියන් සහ ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත්වල විචාරක ලිපි මගින් කෙන් ඇඩම් ගේ පසුතල නිර්මාණ, ෂෝන් කොනරි ගේ රඟපෑම සහ ගයි හැමිල්ටන්ගේ අධ්‍යක්ෂණය පැසසුමට ලක් වුණා.

ඩොලර් මිලියන 3 ක පිරිවැයකින් ඩොලර් මිලියන 124.9 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිට වූ ගෝල්ඩ් ෆින්ගර් චිත්‍රපටය කෙටි කාලයක් තුළ මුදල් ඉපයීමේ වේගවත්ම චිත්‍රපටය ලෙස ගිනස් වාර්තා පොතට ද ඇතුළත් වුණා. නිව්යෝක් හි ඩි මිල් සිනමා ශාලාවේ එය පැය 24 පුරාම නොකඩවා ප්‍රදර්ශනය කිරීමට සිදු විය. අමෙරිකාවේ පමණක් එහි මූලික ආදායමට ඩොලර් 73,800,000 ක් වූ අතර ලොව පුරා එය ඩොලර් 124,90000 ඉක්මවා ගොස් තිබිණ.

1965 ඇකඩම් සම්මාන උළෙලේදී ඔස්කාර් සම්මානයක් දිනා ගැනීමට සමත් වූ ප්‍රථම බොන්ඩ් චිත්‍රපටය ලෙස ගෝල්ඩ් ෆින්ගර් වාර්තා ගත වෙයි. එය දිනා ගත්තේ හොඳම ශබ්ද ප්‍රයෝග සඳහා නෝමන් වොන්ස්ටෝල් විසිනි. හොඳම චිත්‍රපට සංගීතය සඳහා ජෝන් බැරී ගේ නම නිර්දේශිත නාම අතර විය. හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා ඕඒජ්ඊඒ සම්මානයට කෙන් ඇඩම් නිර්දේශ විය. එන්ටටේන්මන්ට වීක්ලි සහ ධ් ට් ව්සඟරා විසින් හොඳම බොන්ඩ් චිත්‍රපටය ලෙස ගෝල්ඩ් ෆින්ගර් නම් කරන ලදී. චිත්‍රපටයක එන හොඳම මෝටර් රථය ලෙස ඇස්ටන් මාර්ටින්ච්ඕ5 රථය නම් කරන ලද්දේ, 2008 දී ටෝටල් ෆිල්ම් සඟරාව විසිනි.

ගෝල්ඩ් ෆින්ගර් චිත්‍රපටයෙන් පසු වඩාත්ම ආශ්චර්යමත් චරිතය ලෙස ජේම්ස් බොන්ඩ් චරිතය කාගෙත් කතාබහට ලක්විය. ඒ අනුව එම චරිතය අනුකරණය කරමින් නිපදවෙන්නට පටන් ගත් බොන්ඩ් වර්ගයේ චිත්‍රපට සංඛ්‍යාව 22 ක් ඉක්මවා ගියේය. ජේම්ස් කෝබර්න් ෆ්ලින්ට් ලෙසින් රඟන ‘අවර් මෑන් ෆ්ලින්ට්’ නමින් චිත්‍රපට මාලාවක්ද ඩීන් මාටින්, මැට් හෙල්ම් ලෙස රඟන ද සයිලන්සර්ස් වැනි චිත්‍රපට මාලාවක් ද, හොලිවුඩ් හි නිෂ්පාදනය වන්නට විය. යුරෝපයේ ද එවැනි අනුකරණ චිත්‍රපට නිපදවීමේ ප්‍රවණතාවයක් හට ගත්තේය. දැන් ජේම්ස් බොන්ඩ් හා තරගයට හතු පිපෙන්නාක් මෙන් වීරයෝ බිහි වෙද්දී ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගම නිහඬව සිටියේ නැත. සුපිරි රහස් පරීක්ෂක ජේම්ස් බොන්ඩ් 007 ‘තන්ඩර්බෝල්’ සමඟ නැවත තිරය දෙවනත් කළ අයුරු ඉදිරි සතියකිදී විමසා බලමු.