වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙලේ සම්මාන ලබා

රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙලේ සම්මාන ලබා

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කළ 2012 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල පසුගියදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්විණ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිත්තරුන් ලෙස ගෞරව සම්මාන ලැබූ මොටාගෙදර වනිගරත්න, සිබිල් වෙත්තසිංහ, නොයෙලීන් ප්‍රනාන්දු යන සිත්තරුන් එදින උළෙලෙහි ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගි වූ නිළි රැජින මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන මාලිනී ෆොන්සේකා මහත්මිය සුරතින් ගෞරව සම්මාන සහතික පිරිනැමීමෙන් පසුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.

රසික සංසදයට එක්වන්න ඔබ සැමට ආරාධනා

සවන රැඳි ගීත රසික සංසදයට එක්වීමට කැමති එතෙර මෙතෙර රසවතුන්ට අවස්ථාව ලබාදීමට සූදානම් බව එම සංසදයේ ප්‍රධාන සම්බන්ධීකාරක ජේ. එච්. නිමල් සොයිසා පවසයි.

මේ මඟින් පසුගියදා කොළඹ ලුම්බිණි රඟහලේදී පැවැත් වූ ගීත ප්‍රසංගය ප්‍රවීණයන්ගේ අගඥයීමට ලක් විය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර සවන රැඳි ගීත රසික සංසදය, අංක 200/3, දහම් මාවත, පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයෙන් හෝ 0718191323 අංකය ඔස්සේ ශාලිකා ජිනදාස අමතා ලබා ගත හැකි වේ.

පැට්‍රික් ඇන්තනී චිත්‍රපට සංස්ථාවෙන් විශ්‍රාම යයි

ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්මා මණ්ඩලයේ කළමනාකරු වශයෙන් සේවය කළ පැට්‍රික් ඇන්තනී මහතා පසුගියදා සංස්ථාවේ පැවැති චාම් උත්සවයකින් අනතුරුව විශ්‍රාම ගත්තේය. ඔහු චිත්‍රපට සංස්ථාවේ තිස් හතර වසරක් සේවය කළේය.

ඔහු සංස්ථාවේ ක්‍රිස්තියානි සහ වෛද්‍ය ආධාර සමිති කිහිපයකම ක්‍රියාකාරී සාමාජිකයෙකි. රිත්මා මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට එතුමා අගනා මෙහෙවරක් ඉටු කළේය. පැට්‍රික්ට සහෘදයන් එදින විශේෂ සමරු ත්‍යාග ගණනාවක් ලබා දෙන ලදී.

සේයාරුවින් දැක්වෙනුයේ පැට්‍රික්ට සාම්ප්‍රදායානුකූලව සංස්ථාවෙන් පිරිනමන රන් පවුම සභාපති අශෝක සේරසිංහ මහතා පිළිගැන් වූ මොහොතයි.සංස්ථාවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ප්‍රදීප් ලංකා ධර්මවික්‍රම ද පසෙකින් වෙයි.

‘ස’ ප්‍රසංගය 8දා මාතරදී

වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංග මාලාවේ රුහුණේ අවසන් ප්‍රසංගය ලබන ජූලි මස 08 වැනිදා මාතර ශාන්ත තෝමස් රඟහලේදී පැවැත්වේ.

මාතර ‘ස’ සමුගැනීමේ ප්‍රසංගයට ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අතර ප්‍රවීණ සංගීතඥයන් වන රෝහණ වීරසිංහ සහ ලක්ෂ්මන් විජේසේකර ප්‍රමුඛ ගායක ගායිකාවන් ද සහභාගි වීමට නියමිතය.

විල්මන් වේදිකාවට නොහික්මුණු වීරයා ගෙනෙයි

වේදිකාවේ, ටෙලි නාට්‍යයේ හා සිනමාවේ කලක සිට තම රංගන පෞරුෂයෙන් හැඩ කළ නාට්‍යවේදී විල්මන් සිරිමාන්න නව කටයුත්තකට අත ගසා තිබේ. ඒ කුඩා දරුවන් වෙනුවෙන් ‘නොහික්මුණු වීරයා’ නමින් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමයි.

දයා වයමන්ගේ නාට්‍ය පිටපතක් වන මෙහි සැනට් දික්කුඹුර, ඉෂාර වික්‍රමසිංහ, වින්ද්‍යා රාජගුරු, කෝකිල පවන්, මාධව විජේසිංහ, තිලක් වරුණජිත්, ගීත් දිසානායක, සමන්, රවීන්ද්‍ර අරවින්ද, රංගනයෙන් එක්වන අතර මෙය නන්දන මුදලිගේ ගේ නිෂ්පාදනයකි.

මෙම මස 6 වැනිදා (හෙට) මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී ‘නොහික්මුණු වීරයා’ වේදිකා ගතවීමට නියමිතයි.

ඒ. එම්. කරුණාරත්නගෙන් පොත් ද්විත්වයක්

ඒ. එම්. කරුණාරත්නගේ අලුත්ම ඓතිහාසික ග්‍රන්ථය ‘වංශ කතාවල නොකියවෙන ශිලා ලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය’ සහ ‘නවදල්ල’ නවකතාව මෙම මස 10 වැනිදා අඟහරුවාදා පස්වරු 3.00 ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී දොරට වඩී.

එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචර්ය හරිශ්චන්ද්‍ර අභයරත්න හා මහාචාර්ය සෝමරත්න බාලසූරිය යන මහත්වරු දෙසුම් පවත්වති.

මුලසුන හොබවන්නේ දරණාගම කුසලධම්ම හිමි විසිනි. මහානාම වික්‍රමසිංහ, උදයසිරි විදාන පතිරණ යන සංගීතඥයන් ඇතුළු කලකරුවන් රැසක් සංගීතයෙන් හා ගායනයෙන් මෙම උත්සවයට දායක වේ.

සිනමාවේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දේශනය 06 දා

සිනමාවේදී භාවිත වන ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදයන්හි නව ප්‍රවණතාවයන් පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මෙම මස 06 වැනිදා සිකුරාදා පස්වරු 2.00 ට කැලණිය දළුගම සරසවිය චිත්‍රාගාරයේදී පැවැත්වේ.

මෙම දැනුවත් කිරීමේ සාකච්ඡාව කරනු ලබන්නේ ඉන්දියාවේ බොම්බායේ පිහිටි ‘මූවි කලර් ලැබ්’ හි අධිපති ජයේෂ් චේඩා විසිනි. සිනමාව පිළිබඳ අවධානය යොමු කරන ඔබ සැමට මෙන්ම සිනමාවේ නියැළි සංස්කරණ ශිල්පීන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙම අවස්ථාවට සහභාගි විය හැකිය.

ප්‍රවීණ කැමරා ශිල්පි හේමපාල (තලේ) රෝහලේ

රිදී නිම්නය, කෙළි මඬල, චණ්ඩි පුතා, සැණකෙළිය ඇතුළු චිත්‍රපට රැසක කැමරාව මෙහෙය වූ ප්‍රධාන කැමරා ශිල්පි එම්. බී. හේමපාල (තලේ) දැඩි ලෙස රෝගාතුරව මාතර මහ රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

ස්වර්ණාවාහිනී ආයතනයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස ආරම්භයේ සිට වසර 11 ක් කටයුතු කළ තලේ සිනමාවට එක් වෙන්නේ ඩී. බී. නිහාල්සිංහ කැමරා අධ්‍යක්ෂණය කළ සත් සමුදුර චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙසිනි.