|
||
සයිබර් ප්‍රේමයේ සමනල ගොදුරු Trust
ඇනී වයස 14 සම්පූර්ණ කිරීමෙන් උපයා ගන්නේ ඇපල් ලැප්ටොපයකි. ඒ සිය පියාගෙන් උපන්දින තෑගි වශයෙනි. වහ වහා ඈ ඔන්ලයින් චැට් කාමර වෙත එබී බලන්නේ තමන් මෙතෙක් නොදුටු ලොව කුමණාකාර හැඩයකින් පවතීදැයි සොයා බැලීමට ය.
ඈ ස්වකීය ප්‍රථම ප්‍රේමයේ තිගැස්ම ලබමින් හිඳීයි. ඔවුනොවුන් අතර ඇති වන හෘද සංවාද මේ ප්‍රේමය දුර දිග රැගෙන යාමට අනුබල දෙනවා මිසක සැක සාංකා ඇති නොකරයි. රාත්‍රී කෑම මේසයේ පවුලේ සංවාද තුළට ද ඇනී ගේ පෙම්වතා පැමිණෙයි. ඔහුගේ පියා ප්‍රකට ක්‍රීඩා චැනලයක සේවය කරයි. මව ආබාධ සහිත ළමුන්ට උගන්වන ගුරුවරියකි. එක ම සොහොයුරා පාපන්දු කණ්ඩායමක ක්‍රීඩා කරයි. ඔහු නොනවත්වා ම ඇනී සමඟ සංවාදයෙහි යෙදී. ඇනී ගේ ජංගම දුරකතනය නිතර ම කාර්යබහුල ය. වයස 14 ක ගැහැනු ළමයෙකුට පළමුව ඇති වන පෙම් හැඟීම කෙතරම් නම් චමත්කාරජනක විය යුතු ද? එය හාත්පස ලෝකයේ සිදුවන සෑම සියලු දෙයක් ම අමතක කර දැමීමට හැකි තරම් විජ්ජාකාරී ය. එහි ඇත්තේ පුදුමාකාර කාන්දම් බලයකි. ඇනී මේ කාන්දම් බලයෙන් නොදුටු පෙම්වතාට ඇලී සිටියි. ඔහු හමුවීමෙහි පරම සිහිනයෙන් පසු වෙයි. චිකාගෝවේ වෙසෙන ඇනී සහ කැලිෆෝනියාවේ වෙසෙන චාලි අන්තර්ජාලයේ අසීමිතකම හේතුවෙන් ඉතාමත් සමීපයෙන් පසු වෙයි. ඔවුනොවුන් හුස්ම ගන්නා හඬ ඇසෙන තරමට ළඟින් සිටින්නා සේ ය.
අපි මේ එබී බලන කතාන්දරයා ඇත්තේ ඩේවිඩ් ෂිව්මර් අධ්‍යක්ෂණය කළ 'ට්‍රස්ට්' සිනමාපටයේ ය. 2010 දී තිරගත වූ මේ සිනමාපටය නිෂ්පාදනය කර ඇත්තේ ඇවී ලර්නර් සහ ඩේවිඩ් ෂිව්මර් විසිනි. රංගනයෙන් එකතු වන්නේ ක්ලිව් ඕවන්,කැත්රීන් කීනර්,ලියෑන් ලිම්බර්ටෝ සහ වියෝලා ඩේවිස් ය. අමෙරිකානු ඩොලර් මිලියන 4 ක ඇස්තමේන්තුවක් අනුව තැනුණු සිනමාපටය උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් 120,016 කි. සැබවින් ම මේ කියන්නේ විස්වාසය ගැන ය. අතිශය අපරික්ෂාකාරී ඩිජිටල් සමාජයේ නිතර බිදෙන සුළු විස්වාසය ගැන ය. වයස 25 ක් තෙක් වයස දිගු කර ගත් ඇනී ගේ පෙම්වතා සුපර් මාකට්ටුවක් තුළ දී පෙනී සිටින්නේ ඇනී ගේ සුකුමාල ලෝකය කැබලි කර දමමිනි. ඔහු තිස් හැවිරිදි වියේ අන්තයත් හතලිස් හැවිරිදි වියේ මුල් කාලයේත් ගත කරන්නෙකි. දැන් විස්වාසය පිළිබද ගැටලුවක් ඇනී තුළ පැන නැඟී සියල්ල බිඳ වැටීමට ආසන්න ය. එහෙත් චාලි මේ කාර්යයෙහි කෙළ පැමිණියෙකි. හේ ඇනී ගේ මෘදු අන්තයකට කතා කරමින් කැබලි වුණු විස්වාසය යළි අලවන්න සමත් විය. එහි අවසානය චාලි ගේ කාරයේ නැඟී කුඩා හෝටලයක් වෙත යාම තෙක් දිගු වූයෙන් සුකුමාල ප්‍රේමය යළි කැබලි වී යන බවට ඉඟියක් ප්‍රේක්ෂකයා ලබා ගනී. ඔහු මෘදු වදන් දෙඩීමෙහි දක්ෂයෙකි.
ඇනී ගේ සිරුරේ හැඩය වර්ණනා කරමින් ඔහු විස්වාසය දිනා ගනී. අවසන වයස අවුරුදු 14 ක දැරියක අවුරුදු 40 කට ආසන්න වැඩිහිටියෙකු අතින් දූෂ්‍ය වේ. චාලි මේ සියල්ල රූගත කර ගනියි. එහෙත් ඇනී ඒ සම්බන්ධයෙන් දක්වන ආකල්පය ධනාත්මක ය. ඕ ප්‍රේමයක් ගැන දිගින් දිගට ම විස්වාසය තබයි. චාලි තමාට පෙම් කරන බව ඈ අදහයි. ඇනී ගේ හොඳ ම යෙහෙළිය හරහා මේ කාරණය ඇනී ගේ මවුපියන් වෙත සංක්‍රමණය වීමත් සමඟ ම රහසිගතව පැවති ඇනී ගේත් චාලිගේත් සැබෑ සබඳතාවය හෙළි වෙයි. අන්තර්ජාල අපරාධ ගණයට වැටෙන මේ ක්‍රියාවට තවත් බොහෝ පාර්ශවයන් මැදිහත් වන්නේ ඉන් පසුවය. එෆ්.බී.අයි සහ තවත් පාර්ශව මැදිහත් වෙමින් චාලි සොයා මෙහෙයුමක් දියත් කරයි. ඇනී ගේ පියා හුදෙකලාව ම දූෂකයා සොයා ඇවිදියි. ඇනී සහ චාලි අතර ඇති වූ සංවාදයේ මුද්‍රිත පිටපත් සොරකම් කරගෙන නිවසට විත් කියවයි. මේ සංවාද තමා හිතූ තරම් සාමාන්‍ය ඒවා නොවන බවත් ඒවා අතිශය සෘංගාරාත්මක බව දැකීමෙන් ඔහු තැති ගනී. තමාට පාලනය කළ හැකි සීමාවෙන් එපිටට ගිය තම දියණිය ගේ ජීවිතය දැක හඬා වැටෙයි. මේ තවත් එක්තරා කතාවක් නම් නොවන්නේ නිරන්තරයෙන් මෙවන් සිදුවීම් සැබෑවට ම වාර්තා වන බැවිනි. සිනමාපටය නරඹන්නන් ඇනී ගේ පියා සේ ම තැති ගන්නේ එහෙයිනි. සමාජජාලා වෙබ් අඩවි සහ අන්තර්ජාලගත සියලු ක්‍රියාකාරකම් හරහා මිනිස් ජීවිතවලට එල්ල විය හැකි හානියේ තරම ඔවුනොවුන් සිතින් මැන බලන්නේ ඉන් පසුව ය. අතිශය පෞද්ගලික සිදුවීම් පවා නන්නාදුනන මිනිසුන් හා ගැහැනුන් සමඟ බෙදා ගැනීමට තරම් බිය සැක නැති වත්මන් සමාජයේ පෙත්තක් කපා අපට ඉදිරිපත් කරන විට එය මඟ හැර යා නොහේ. ප්‍රේක්ෂකයා එයට මුහුණ දිය යුතුය. සයිබර් අපරාධ කෙතරම් සුලබ ද යන්න හොඳීන් ම දන්නා වත්මන් සමාජය ඒ වැලැක්වීමට කළ හැකි දෙයක් නැතැයි සිතන්නා සේ ම සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයා සිතන්නේ මේ අන් තැනක, අන් අයෙකුට සිදුවූවක් බවයි. නමුත් අන් තැනක, අන් අයෙකු හරහා අප හදුනා ගත යුත්තේ අපේ ම ජීවිත නොවේ ද? තමාව දූෂණයට ලක් නොකළ බවට පුන පුනා පවසන ඇනී තම දූෂකයා ආරක්ෂා කරයි.
චාලි යනු සයිබර් දූෂකයෙකු බව හෙළි වීමත්, ඇනී වැනි ළාබාල ගැහැනු ළමයින් බොහෝ ගණනක් මේ ආකාරයට ම ඔහු විසින් රවටා දූෂණය කර ඇති බව සොයා ගැනීමෙන් ඉක්බිතිව ඈ සත්‍ය පිළිගනී. තමා දූෂණයට ලක් වූ බව පිළිගනී. මේ අභාග්‍යසම්පන්න කතාන්දරයක් පමණක් නොවේ. සමකාලීන සමාජයෙන් පෙත්තක් කපා පෙන්වීමකි. අන්තර්ජාලයේ අසීමිතකම මිනිස් පාලනය ඉක්මවා ගොස් ඇති බවට කෙරෙන හැගවුම්කාරකයකි. විනෝදාස්වාද මාධ්‍ය තව දුරටත් හුදෙක් විනෝදාස්වාද මාධ්‍යය පමණක් නොවන බවයි. අනතුර ඇත්තේ ඔබ තුළ ම ය. එය පාලනය කිරීමට ඔබ තුළ ඇති ශක්‍යතාවය පරීක්ෂාවට ලක් කෙරේ. 'ට්‍රස්ට්' කියන්නේ ඇනී ගැන පමණක් නොවේ. ප්‍රේක්ෂකයා තුළත් සිටින චාලිලා ගැන ය. සිනමාපටය අවසන් වන්නේ භෞතික විද්‍යා ගුරුවරයෙකු වූ චාලි,බිරිය සහ ඔහු ගේ පුත්‍රයා පෙනී සිටින කුඩා වීඩියෝවකිනි. ඔහු සාමාන්‍ය සමාජයේ සාන්තුවර වැඩිහිටියෙකි. සැබවින් ම අනතුර ඇත්තේ ඔබ තුළ ම ය.මේ කියන්නේ ඒ ගැන ය.
|
||