වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ලකී කියනවා නම් මගේ අකමැත්තක් නෑ

ලකී කියනවා නම් මගේ අකමැත්තක් නෑ

සරසවිය හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් වික්‍රමසිංහ

ඔහුට ආත්මාභිමානයක් ඕනෑ තරම් තිබියදීත් කවදාවත් කණ්ඩායම් හැඟීම යටපත් කිරීමට යොදා නොගත්තේය. නායකත්වයෙන් අගතැන්පත් විමලසිරි පෙරේරා කණ්ඩායම සමග කාර්යභාර්ය ඉටු කොට කවදත් කණ්ඩායම සමඟ ජය පරාජය බෙදා හදා ගත්තේය. ඒක පුද්ගල රංගනයක් ඔහුගේ පත්තර ජීවිතයේ මම කිසිදා නොදැක්කෙමි.

මෙම අනර්ඝ ගති ගුණය සරසවිය කර්තෘ මණ්ඩලය අධීක්ෂණය කිරීමේදී ඔහු නොමඳව යොදා ගත්තේය. එය සරසවිය පත්තරයේ ක්‍රමානුකූල වර්ධනයට බෙහෙවින් ඉවහල් වූවා සේම කර්තෘ මණ්ඩයේ බහුතරයකගේ නිර්මාණශීලිත්වය ද උද්යෝගිමත් කිරීමට එය ඉවහල් විය.

විමලසිරි පෙරේරා වැනි හිත හොඳ මිනිසකු යටතේ සේවය කිරීමට ලැබීම මට මහත් සතුට දනවන්නක් විය. ඔහු සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය දිනා ඇති කර ගත් බැඳීම සහනශීලී සතුට දිනෙන් දින තීව්‍ර වූවා මිස කිසිදා අඩු නොවීය. එයට ප්‍රධාන වූයේ විමලසිරිගේ හොඳ හිත ජය පරාජය අබියස අඩු වැඩි නොවූ බැවින් යැයි මම විශ්වාස කරමි.

මම සරසවිය පත්තරයේ උප කර්තෘවරයකු ලෙස වසර නවයක් සේවය කළෙමි. ඒ කිසිදාක විමලසිරිගේ විශ්වාසය කිසි විටෙකත් පලුදු නොකළෙමි. සරසවිය පත්තරයේත් ලේක්හවුස් ආයතනයේත් ගෞරවය ආරක්ෂා වන අයුරින් ලිපි පළ කිරීමට මම හැම විටම වග බලා ගත්තෙමි.

ලිපිවල හොඳ නරක තේරුම් ගැනීම ඒවා පළ කිිරීමට අවශ්‍ය ලෙස කපා කොටා සකස් කිරීම, විචිත්‍රවත් ලෙස පිටු සැකසීම මේ හැම දෙයක් කිරීම සඳහා මට නිදහසක් විමලසිරි පෙරේරා ලබා දී තිබුණි.

අපේ කර්තෘ මණ්ඩයේ සිටි හැමෝම එකිනෙකා එක් එක් දෙයකට සැබෑ ශූරයෝ වූහ. මා කළේ ඒ එක් එක් ශූරයන්ගේ දක්ෂතා මනා කළමනාකාරිත්වයකින් යුතුව එක තැනකට ගොනු කර විමලසිරි පෙරේරාගේ අධීක්ෂණ අදහස් මත සරසවිය ආලෝකමත් කිරීම පමණි.

කර්තෘ මණ්ඩයේ කවුරුත් මට කතා කළේ ලකී කියායි. නැත්නම් ලක්ෂ්මන් කියා කතා කරයි. සෝමවීර සේනානායකත්, ඒ. ඩී. රංජිත් කුමාරවත්, විමලසිරි මට බාර කළේ දැන් ලකී පත්තරේ වැඩත් වැඩියිනේ. මේ දෙන්නවත් හදාගන්න යැයි පවසමිනි.

සෝමවීර පත්තරයට එන විටත් ඔහු තුළහොඳ භාෂා දැනීමක්, ලිවීමේ හැකියාවක් තිබුණි. මට කළ යුතු වූයේ ඔහුට පුවත්පත සකස් කරන හැටි කියාදීමත්, හෙඩින් යොදන හැටිත් ආදිය කියා දීමත් පමණි.

රංජිත් කුමාර තුළ ලිවීමේ හැකියාව හොඳින් තිබුණි. වැඩි කලක් යන්නට මත්තෙන් ඔවුන් හොඳ රසවත් ලිපි පත්තරයට රැගෙන ආවෝය. අනවශ්‍යය කිසිවක් මම පත්තරයේ පළ නොකළෙමි.

කාගේවත් මුහුණ බලා අනවශ්‍යය දේ ඇතුළත් නොකළෙමි. සමහරුන්ගේ ලිපි අනවශ්‍ය දේවලින් පිරී මාගල් ලෙස වූ අවස්ථාවල මා එක පෑන් පහරින් ඒවා ඉවත් කිරීමට මැලි නොවිණි. කුමාරදාස වාගිස්ට ඕපාදූප සොයා ගෙනෙන්නට රුසියෙකි.

සමහරක් පත්තරයේ දැමීමටත් බැරි ඒවාය. සමහරදාට වාගිස්ට අතේ රෝලක් පවා ලියාගෙන ඇවිත් දෙන අවස්ථා ඇත. ලකී පොඩි අතේ රෝලකුත් දැම්මා වාගිස්ට එහෙමත් කියයි. ඒවා පළ නොකිරීමට මම වග බලා ගතිමි.

ඡායාරූප ශිල්පී ක්‍රිස්ටි පෙරේරාත්, කුමාරදාස වාගිස්ටත් අපූරු සිද්ධි රස කරමින් කියන්නට රුසියෝය. සමහරදාට සේමවීර සේනානායකට මේවා දිරවන්නේ නැත. ඒ වෙලාවට සෝමේ මුහුණ බෙරි කරගෙන ගස්සමින් යන අවස්ථාද ඇත. විටෙක සරසවිය රස ආකරයකි. වැඩ කර මහන්සි වී සිටින අපිට ද වාගිස්ට, ක්‍රිස්ටි කරන කියන දේවලින් ගෙන ආව් මානසික උත්තේජනයකි.

මම වැඩි වශයෙන් සරසවියට ලිපි නොලිව්වෙමි. ඊට ප්‍රධාන හේතුව වූයේ සියලු සරසවිය ලිපි සංස්කරණය කිරීම හා පුවත්පතේ කළමනාකරණ කටයුතු මා අතින් සිදුවීමත්ය. සරසවියට පැමිණ ටික කලකින් මට ගාමිනී ෆොන්සේකා ගැන ලිපියක් ලියන්නට ලැබිණ. මා හිතන්නේ එය මගේ පළමු ලිපිය විය හැකි බවයි.

ගංවතුර ආධාර එකතු කිරීම නළු නිළියන් සම්බන්ධ කර ගත් වැඩසටහන් ගැන ද මම ලිව්වා මතකය. ජෝ අබේවික්‍රම, අනුලා කරුණාතිලක, පුණ්‍යා හීන්දෙනිය, හර්බට් එම්. සෙනෙවිරත්න, ඩොමී ජයවර්ධන, ටෝනි රණසිංහ, සන්ධ්‍යා කුමාරි, ජීවරාණි කුරුකුලසූරිය ආදීන් ගැන මම ලිපි ලියා ඇත්තෙමි.

සරසවිය පුවත්පත නිසාම ගාමිණී ෆොන්සේකා හා මා අතර කුළුපඟ මිතු දමක් ඇති විය. ඔහු ඒ වන විටත් අභිමානයක් ගොඩ නඟා ගෙන සිටි නළුවෙක් විය. කියන්න තියෙන දේ කෙළින් කියන චරිතයක් විය. රත්මලානේත්, දෙහිවලත් ගාමිණී ඒ කාලේ පදිංචිව සිටියේය. අප නිතරම හමු විය.

ගාමිණී හා කතාබහේදී බොහෝ දේ අපේ දැනුමට එක් විය. එකල මම කේන්ද්‍ර බැලීම ගැන හැදෑරීමක් කළෙමි. ගාමිණීගේ අම්මා කේන්ද්‍ර බැලීමේ ප්‍රවීණයකු වී සිටියාය. ඇයත් සමඟ මේ ගැන මම බොහෝ කතාබස් කිරීමට දෙහිවල ගාමිණීගේ මහ ගෙදරට ගියෙමි. මා එවකට සිටියේ කොහුවලයි. ගාමිණී හා මා අතර මිත්‍රකම නිසාම දිනක් රංජිත් කුමාර ගාමිණිත් සමඟ සාකච්ඡාවකට යැව්වෙමි. ඔහු සිටියේ ඒ පිළිබඳලොකු ආශාවකිනි.

රංජිත් වාසනාවන්ත නම් ගාමිණී ගෙදර හිටියොත් හොඳයි පැවසූ මම දුරකථන ඇමතුමක් ගත්තෙමි. ගාමිණී ගෙදර සිිටියේය. ආගිය කතාබහින් පසු මම රංජිත් පිළිබඳ ගාමිණීට පැවසීමි. ගාමිණී කිව්වා, ලකී කියනවා නම් මගේ අකමැත්තක් නැහැ යනුවෙන් පැවසීය.

ඒත් ලියන ඒවා පිළිබඳ ඔබ බලා ගත යුතු යැයි පැවසූ ගාමිණී රංජිත්ව රත්මලානට එවන්න යැයි දැන් වූවා. ඒ අනුව රංජිත් කුමාර මුල්වරට ගාමිණී සමඟ කළ එම සම්මුඛ සාකච්ඡාව සංස්කරණය කර මම පසුව සරසවියේ පළ කළෙමි.

සරසවිය කර්තෘ මණ්ඩල ප්‍රතිපත්ති හා ආචාර ධර්ම ගොඩ නැගීම සඳහා විමලසිරි පෙරේරාගේ හොඳ හිත හා සැබැඳි පුද්ගලික ගුණාංග ඉවහල් වූ බව විශ්වාස කරමි. මුදල්, රූපලාවන්‍යය මෙන්ම විවිධ කුසලතා මත යැපෙන සිනමා කර්මාන්තය හා සබැඳී පත්‍රයකට අවංක බව අත්‍යාවශ්‍ය ගුණාංගයකි.

එකල සරසවිය පත්තරය සිනමා කර්මාන්තය තුළත් පාඨකයන් අතරත් ඉමහත් ගෞරවාදරයට පත් වූයේ අවංකකම මත පදනම් වූ සමතුලිත ගුණයක ප්‍රචාරය නිසාය. සරසවිය සම්මාන ඉමහත් හරසරින් පිළිගැනුණේ ද අවංක බව පදනම් කර ගත් අපක්ෂපාතී ගුණාත්මක විනිශ්චයන් නිසා යැයි මට හැඟේ.

ලබන සතියට