වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?

සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?

පසුගිය වසරේ සරසවිය සිනමා සම්මාන උලෙළේ හඳුන්වාදුන් නවක සිනමාකරුවකුට පිරිනමන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය සඳහා අයදුම්පත් මේ දිනවල කැඳවනු ලබයි.

එම සම්මානයට වලංගු වනුයේ 2016 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා ද 2017 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ අධ්‍යක්ෂවරයකුගේ කුලුඳුල් සිනමාපටයන්ය. සම්මානයට අයැදුම්කරන නිර්මාණකරුවන් තම සිනමාපටය පිළිබඳ මූලික විස්තර (චිත්‍රපටයේ නම නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකථන අංකය සහ චිත්‍රපටයේ කාලය) අන්තර්ගත කොට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිටපතක් සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලයට ගෙනවිත් බාරදිය හැකිය. එසේත් නැතිනම් අදාළ ඉල්ලුම්පත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය යනුවෙන් ලියුම් කවරයේ සඳහන් කොට සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට පුළුවන. 2016 සහ 2017 වර්ෂ ද්විත්වය සඳහා වෙන වෙනම සම්මාන ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟින් පිදෙනු ඇත.

නිළියන් විතරයි සේයා අද සිට

නිළියන් පමණක් රංගනයෙන් දායක වු සිනමාපටයක් අද සිට තිරගතවීම ආරම්භවේ. ඒ සේයාය. කල්‍යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයක් වූ සේයා ත්‍රාසය, කුතුහලය සහ භීතිය රැගත් සිනමාපටයකි. දිල්හානි ඒකනායක, උදාරි පෙරේරා, මැණික් විජේවර්ධන, නිරෝෂා මෛත්‍රී, සිනෙති අකිලා, මානෙල් වානගුරු, විශාකා සිරිවර්ධන, ගයාත්‍රි ඩයස්, මානෙල් චන්ද්‍රලතා, ඉන්දිකා සුභසිංහ, රෝමා රෝෂි ජයකොඩි, හෙළන් රෙනොල්ඩා, තුෂාරි වේහැල්ල, සෙව්වන්දි දිසානායක මෙහි චරිත මවා තිබේ.

සේයා තරංග අතුරලිය සමඟ ඒ. පාරිස්ටර් නිෂ්පාදනය කොට තිබේ.

හෙට සිට මධුර චාරිකාවට එක්වන්න

ලාංකේය සිනමාවට ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ උදයකාන්ත වර්ණසූරියගේ සිනමා නිර්මාණයන් අතර නව මානයක් ගත් මධුර චාරිකා මෙම මස 16 එනම් හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. පැරැණි සිනමා ශිල්පියකු සහ ඔහුගේ සුරතල් මුනුපුරා පිළිබඳ ගෙතී ඇති කතා පුවතකින් සමන්විත මෙහි හේමසිරි ලියනගේ, සුදම් කටුකිතුලේ, නලීන් ප්‍රදීප් උඩවෙල, මාධනී මල්වත්තගේ, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, කුමාර වඳුරැස්ස, ධර්මප්‍රිය ඩයස්, විල්මන් සිරිමාන්න, අජිත් ලොකුගේ, සුරංගා රණවක, රමණී අලකොලංග, ෂෙල්ටන් සිල්වා, අනුර ශ්‍රීනාත්, චතුර පෙරේරා, සහන් වර්ණසූරිය, රාජා ගනේෂන් ඇතුළු පිරිස රංගන දායකත්වය ලබා දී තිබේ. දයාවංශ ජයකොඩි සහ කුමාර වඳුරැස්ස සහාය නිෂ්පාදනයෙන් දායක වු මධුර චාරිකා සිනමාපටයේ කතාව අධ්‍යක්ෂණය මෙන්ම කතාව දෙබස් තිර රචනය සහ නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරිය විසින් නිම කොට තිබේ.

2016 වසරේ ඇමිස්ටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උලෙළේ ප්‍රධාන සම්මානය ද, හූස්ටන් ජාත්‍යන්තර සිනමා උලෙළේ සිල්වර් රෙමි සම්මානය ද මධුර චාරිකා සිනමාපටය දිනාගෙන තිබේ. එමෙන්ම 2016 දිල්ලි චිත්‍රපට උලෙළ, තුන්වැනි ටොරොන්ටෝ ලෝක ජාත්‍යන්තර සිනමා උලෙළයන්හි හොඳම චිත්‍රපටය ලෙස ද නිර්දේශ ලබා තිබේ.

මේ උදයකාන්තගේ 21 වැනි චිත්‍රපටයයි.

ජාතිවාදී, ආගම්වාදී ගැටුම් අධ්‍යක්ෂවරු හෙළා දකිති

මෙරට තුළ ඉකුත් දිනවලදී පැන නැගුන ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති බෙනට් රත්නායක ලිපියක් මඟින් දන්වා සිටියි. ඉතාම සීමිත අන්තවාදීන් පිරිසක් විසින් අවුළුවනු ලබන වෛරයේ ගිනිදැල් ලංකාව දරුණු අගාධයකට ඇද දමන බවත් පටු අරමුණු මුදුන්පත් කර ගැනීමට මාන බලන පිරිසකගේ බළල් අත් නොවී බුද්ධිමත්ව මෙරට ජනතාව කටයුතු කරන ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටියි.

අප වර්ණයෙන්, ආගමෙන්, කතා කරන බසින් වෙනස් විය හැක. එලෙස කුමන වෙන්කමක් තිබුණ ද අපි එකම මිනිස් පවුලක සාමාජිකයන් වන්නෙමු. එකිනෙකාගේ සිරිත් විරිත් විශ්වාසයන් සහ උරුමයන් වෙත අන්‍යෙන්‍ය ගරුත්වය දක්වමින් ජීවත් විය යුතුව ඇත්තෙමු. විවිධත්වය තුළ එකමුතුව රටට ආශිර්වාදයකි. සම්පතකි. ශක්තියකි.

බෙනට් ලිපිය අවසන් කර ඇත්තේ එලෙසිනි.

සැමීගෙන් පසු වලාකුළු බැම්ම ප්‍රියංකරගේ දෙවැන්න අද ඇරැඹෙයි

සැමීගේ කතාව අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවේ නමක් රැන්දූ ප්‍රියංකර විතානාච්චි සිය දෙවැනි සිනමා කෘතියෙහි වැඩ කටයුතු අද ආරම්භ විය. මෙවර ද ඔහු සිය නිර්මාණය සඳහා නවකතාවක් පාදක කොට තිබේ. ඒ චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචනා කළ වලාකුළු බැම්ම නවකතාවයි. එනමින්ම නිර්මාණය කරන සිනමාපටයේ නිෂ්පාදනය රුවන් ජයකොඩිගෙනි. කාලිංග දේශප්‍රිය විසින් කැමරාව මෙහෙයවයි. වෙලේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂවරයාය. අතුල සුල්තානාගොඩගේ රේඛීය නිෂ්පාදනයකි. චාමර චින්තක සේලාර සහාය අධ්‍යක්ෂවරයාය. වලාකුළු බැම්ම නුදුරේදීම රූගත වනු ඇත.

අහස් ඊයේ වැඩ අරඹයි

බුද්ධිනී ජයවර්ධනගේ දෙවැනි නවකතාව වූ අහස් ඇසුරෙන් ඇය විසින් රූපවාහිනී රචනය කළ අහස් ටෙලි සිතුවමේ රූගත කිරීම් ඊයේ ආරම්භ විය. බුද්ධිනී සමඟ නුවනි වලිමුණි නිෂ්පාදනය කරන මෙහි හිරාන් යට්ටෝවිට, මුතු තරංගා, නිලන්ති විජේසිංහ, රිචඩ් මානමුදලි, සුසන්තා චන්ද්‍රමාලි, කිංස්ලි ලෝස්, ගීතා කාන්ති ජයකොඩි, සූර්යා දයාරුවන්, කාවිංග පෙරේරා, ලක්ෂිකා ෆොන්සේකා, ශිරෝමිකා ප්‍රනාන්දු, අංජලී ලියනගේ, ඉෂාන් මෙන්ඩිස්, ගයාන් ලක්රුවන්, පබසරා කාරියවසම් ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. සුමේන්ද්‍ර කිතුලේගොඩ අධ්‍යක්ෂණය කරන අහස් ටෙලි සිතුවමේ කැමරා අධ්‍යක්ෂණය ජනක මාපිටිය සමඟ සමිත් අලහකෝන්ගෙනි. අංග රචනය තිලාන් බාලසුරිය, සහාය අධ්‍යක්ෂණය ලකී ආතාවුද විසින් සිදු කරනු ලබයි.

ප්‍රදීප් මහේෂ් රෝහලේ

සිරස නාලිකාවේ ජ්‍යෙෂ්ඨ වැඩ සටහන් නිෂ්පාදකවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන ප්‍රදීප් මහේෂ් ලියනගේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා විය. සිරුරේ සමබරතාවය බිඳී යෑම හේතුවෙන් ඇති වූ ක්ලාන්තමය ස්වභාවය නිසා ඔහු මෙලෙස රෝහල්ගතව තිබේ. රෝහලේ හතරවැනි වාට්ටුවේ 14 වැනි ඇඳෙහි ප්‍රදීප් මෙලෙස ප්‍රතිකාර ලබන අතර 0775417066 අංකයෙන් ඔබට ඔහුගේ සුවදුක් විමසිය හැකිය. පුංචි පැංචි, පොඩ්ඩන්ට පුළුවන් ආදී වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළ හෙතෙම හීරෝ නීරෝ සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලදී.