වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය

මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය

The Shape of Water

* ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ වැඩිම සම්මාන

* අමෙරිකානු ඩොලර් මිලියන 126.4ක ආදායමක්

*වැනිස් ස්වර්ණ සිංහ සම්මානයත් දිනාගනී

කාලය - 1962

ස්ථානය - බැල්ටිමෝර් නගරය

බැල්ටිමෝර් යනු මේරිලන්ත ව්‍යවස්ථාවට අනුව පරිපාලනය වන අමෙරිකානු ප්‍රාන්තයක පිහිටි ස්වාධීන නගරයකි. කථන හැකියාව නොමැති එලීසා බැල්ටිමෝර්හි පිහිටුවා ඇති අධිආරක්ෂිත රාජ්‍ය විද්‍යාගාරයත සේවිකාවක්. ඇයගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වන්නේ, එම විද්‍යාගාරයේ සැඟවී ඇති රහසක් දැන ගැනීමත් සමඟිනි. දකුණු අමෙරිකාවේ ගංඟාවක සිට ගෙන ආ ජල ටැංකියක සිරකර සිටින මනුෂ්‍ය පෙනුමැති උභය ජීවියකු එහිදී ඇයහට හමුවේ. කතා කළ නොහැකි වුවද ඇය මේ අලුත් මිතුරා සමඟින් සබඳතාවයක් ගොඩනඟා ගනී. කාලයත් සමඟින් මේ අපූරු ආදර කතාව ගලා යන විටදී තමා බෙහෙවින් ආදරය කරන මෙම ජීවියාගේ ජීවිතය රඳා පවතින්නේ විද්‍යාගාරයේ එක් ප්‍රබල නිලධාරියකු සහ සාගර ජීව විද්‍යාඥයකු මත බව ද ඇය තේරුම් ගනී. ඉන් පසුව ඇයගේ තීරණය කුමක් වේ ද?

ගොළු කතක සහ මිනිස් වෙස් ගත් උභය ජීවියකු අතර ඇතිවන මේ අපූරු ආදර කතාව ගොඩනැඟී ඇත්තේ මෙක්සිකානු ජාතික අධ්‍යක්ෂවරයතු, තිරරචකයකු මෙන්ම නවකතා රචකයකු වන ගියෙමෝ ඩෙල් ටෝරෝ විසින් නිර්මාණය කළ  The Shape of Water  චිත්‍රපටය සමඟිනි. ඩෙල් ටෝරෝගේ කතාවට අනුව මෙහි තිරරචනයද ඩෙල් ටෝරෝ සමඟින් වැනේසා ටේලර් විසින් රචනා කරනු ඇත. අමෙරිකානු ජාතික තිරරචිකාවක වන වැනේසා ටේලර් Hope Springs, Divergent වැනි චිත්‍රපට සේම සුප්‍රකට Game of Thrones කතා මාලාවේ දෙවැනි සහ තෙවැනි අදියර විධායක නිෂ්පාදනය සේම ඇතැම් කතාද තිරරචනය කර ඇත.

The Devil's Backbone, Pan's Labyrinth, Crimson Peak  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ගියෙමෝ ඩෙල් ටෝරෝ ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය  The Shape of Water  මෙවර ලොව ප්‍රධානතම සිනමා උලෙළ කිහිපයකදීම ඇගයුමට ලක් වීම විශේෂත්වයකි. පසුගිය වසරේ අගෝස්තු මස 31 වැනිදා 74 වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී සිය මංගල දර්ශනය සිදු කළේ එහි තරඟකාරී අංශයට ද එක් වෙමිනි. එහිදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් වන ගෝල්ඩන් ලයන් සම්මානය එයට හිමි විය. 71 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙළේදී නිර්දේශ නාම දොළහකට නිර්දේශ ලබා ඒ අතරින් හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීතය සහ හොඳම නිෂ්පාදන සැලසුම වෙනුවෙන් වූ සම්මාන දිනා ගන්නා ලදී.

මේ වසරේ පැවැති 75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී  The Shape of Water  චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවකට (07) නිර්දේශ ලබා තිබු අතර එහිදී හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සංගීතයට හිමි සම්මාන පිරිනැමුණි. පසුගියදා පැවති 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ වැඩිම නිර්දේශ නාම සංඛ්‍යාව ලෙසින් සම්මාන 13ක් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත්ව සිටි  The Shape of Water  චිත්‍රපටයට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීතය සහ හොඳම නිෂ්පාදන සැලසුමට හිමි සම්මාන හිමි විය. මේ වනවිට  The Shape of Water  චිත්‍රපටය ලොවපුරා සිනමා උලෙළෙ රැසකදී සම්මාන 234කට නිර්දේශ නාම ලබා ඒ අතරින් සම්මාන 82ක් දිනා ගැනීමට සමත් වී ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක වියදමෙන් නිෂ්පාදනය කර පසුගිය වසරේ දෙසැම්බර් 01 වැනිදා තිරගත කිරීම ඇරඹි එය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 126.4ක ආදායමක් වාර්තා කර තිබේ.

IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 7.7/10ක් සහ රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක ප්‍රතිචාර 92%ක්  The Shape of Water  චිත්‍රපටයට හිමි වී ඇත.  The Shape of Water  චිත්‍රපටය ගියෙමෝ ඩෙල් ටෝරෝගේ හොඳම දෘශ්‍ය විවිධත්වය ඉතාම හැඟීම්බර කතාවක් සමඟින් පණ දී ඇති බව සොයාගෙන තිබෙන බව රොටෙන් ටොමැටෝස් පොදු විචාරය පවසයි. අධ්‍යක්ෂ ඩෙල් ටෝරෝගේ හොඳම අධ්‍යක්ෂණය මෙය බවත් එය පැරණි හොලිවුඩ් චිත්‍රපටවලට දුන් ගෞරවයක් ලෙසත් ඇතැම් විචාරකයන්ගේ අදහසයි. මෙවැනි අපූරු ආදර කතාවක් ගොඩනැඟිය හැක්කේ දැක්මක් ඇති සිනමාකරුවකුට පමණක් බවත් තවත් විචාරකයකු සඳහන් කරයි. මෙය එක්තරා වැඩිහිටි සුරංගනා කතාවක් සේම එහි Beauty and the Beast  චිත්‍රපටයේ කොටස් ද අඩංගු බවත් පෙනී යන අතරම එය වෙනම ලෝකයක තිබෙන චිත්‍රපටයක් සේ හැඟි යන බවත් තවත් විචාරකයකු සිය මතය පළ කර සිටියි.

ඩෙල් ටෝරෝ හට මෙම අදහස පහළ වී තිබුණේ 2011 වසරේ එක් දිනෙක අමෙරිකානු නවකතා රචක ඩැනියෙල් කෘවස් සමඟින් උදෑසන ආහාරය ගනිමින් සිටියදීය. එම අදහස 2015 වසරේදි නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපටයක් වන The Space Between Us සහ රේචල් ඉන්ග්ලස්ගේ ර්පඵ. ඛ්චතඪඡචද නවකතාවට තරමක් සමාන විය. ඩෙල් ටෝරෝගේ ළමා වියේ මතකයක් වූ යුනිවර්සල් පික්චර්ස් ඉදිරිපත් කළ  Creature from the Black Lagoon (1954) චිත්‍රපටයේ ගිල්-මෑන් සහ කේ ලෝරන්ස් සිය ආදරය ජය ගත් අයුරු ද මෙයට තවත් හේතුවක් වී ඇත. ඒ සමඟින් ‍ඩෙල් ටෝරෝ ඔහුගේ අදහස ද යුනිවර්සල් වෙත ඉදිරිපත් කරමින් Creature from the Black Lagoon  චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් කිරීමට කළ ඉල්ලීම යුනිවර්සල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම චිත්‍රපටයට පසුබිම් කර තිබෙන්නේ අදටත් ඇතැම් රාජ්‍යයන් අතර ආතතියක් ඇති කරවන 1960 දශකයේ පැවති සිතල යුද සමය යි. මෙහිදි එම ආතතිය අමතක කරන්නට උත්සාහ ගත් බව ඩෙල් ටෝරෝ පවසයි. "1962 වසරේ, එකමත් එක කාලයක කියලා මම කතාව පටන් ගත්තොත් එය සුරංගනා කතාවක් වෙනවා. එවිට වර්තමානයේ පවතින ප්‍රශ්න අමතක කරලා ඒ කතාවට ඇහුම්කන් දෙන්න පුළුවන්." ඔහු පවසනවා. " The Shape of Water  මා සුවපත් කරන චිත්‍රපටයක්. පසුගිය කාලයේ මම නිර්මාණය කළ චිත්‍රපට නවයකදීම මම මගේ පුංචි කාලයේ තිබුණු බිය, සිහින එළියට ගත්තා. මම වැඩිහිටියෙක් විදියට කතා කරන, දුකට පත් වන පළමු අවස්ථාව මෙය යි. මෙහිදී මම විශ්වාසය, රාගය, ආදරය සහ අපි එකිනෙකා කොහේද යන්නේ වැනි දේ ගැන කතා කරනවා. ඒවා මට පුංචි කාලයේ තිබුණු ප්‍රශ්න නෙවෙයි. අද මට තියෙන ප්‍රශ්න." ෆොක්ස් සර්ච්ලයිට් පික්චර්ස් දායකත්වයෙන් ඩෙල් ටෝරෝගේ අදහස  The Shape of Water  නමින් චිත්‍රපටයක් ලෙසට නිෂ්පාදනය කෙරුණු පසු ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.