වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




නුවන් විජය ශ්‍රීගේ ‘අම්මා සඳකි’

නුවන් විජය ශ්‍රීගේ ‘අම්මා සඳකි’

ඒකපුද්ගල ගී ප්‍රසංගය මේ මස 17 වැනිදා සවස 6.00ට කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ ඔහු දැක් වූ අදහස් කිහිපයකි.

‘අම්මා සඳකි’ ඒකපුද්ගල ගී ප්‍රසංගය සඳහා ඔබ ගයන්නේ ඔබගේ ම ගීත ද?

මේ ප්‍රසංගයේදී මගේ ගීත දොළහකුත්, හේම ශ්‍රී ද අල්විස් ලිව්ව ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් ගැයූ මට ගයන්නට අවසර ලැබුණු පැරැණි ගීත අටකුත් එදිනට ගයන්නයි මා අදහස් කරගෙන ඉන්නේ. ඒ ගීත අතරට සීත වනවිල් පෙතේ, පෙම් හසරැළි පාලා, කොහෙද යන්නේ රන් මැණිකේ ඔයා, ඔබෙයි මගෙයි මඳුර පෙම් අතීතේ.... යන ගීත ඇතුළත්. ඔවුන්ගේ විශේෂ අවසරයක් ඇතුවයි මා එදිනට ඒ ගීත ගයන්නේ..

එදින ප්‍රසංගයේදී ඔබත් සමඟ යුග ගායනයෙන් සහභාගි වන්නේ කවුරුන් ද?

රූපා ඉන්දුමතී, ලක්ෂිකා ෆොන්සේකා, කුමුදුනී අධිකාරී යන ශිල්පිනියන්. එහිදි සංගීතය සපයන්නේ ඉන්දික ප්‍රමුඛ කැස්බෑවේ පෝසල් කියන වාදන කණ්ඩායමයි. කථනය ධර්මපාල සුදුමල්කන්දයි. සංවිධාන කටයුතුවලින් සහය වන්නේ උදය කුමාර ඇල්පිටියත්, සුනීතා ලක්මාලිත්.

මේ ප්‍රසංගයට අමතරව එදිනට සිදුවන අනෙක් විශේෂ කටයුත්ත කුමක් ද?

මගේ ගීත ඇතුළත් කරමින් රූපරචනා කළ සංගත තැටියක් එදිනට එළිදැක්වීමටත් නියමිතයි. ඊට අමතරව මා ඉගෙන ගත් ගුරුවරුන් පස්දෙනෙකුට එදිනට උපහාර පුද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ ගුරු උපහාරයත් සමඟයි එදින ප්‍රසංගය පැවැත්වෙන්නේ. නොමිලේ පැවැත්වෙන මේ ප්‍රසංගය නැරැඹීමට එදිනට සියල්ලන්ට ම පැමිණෙන්න යැයි මා ආරාධනා කරනවා.

ඔබ ගායන ලොවට පිවිසෙන්නේ කොහොමද?

මුලින් ම මා ගීයතයක් ගයන්නේ රුක්මණී දේවි අනුස්මරණ උලෙළකටයි. ඒ මගේ යහළුවකුගේ ආරාධනයෙන් ප්‍රවීණ ගායිකාවක වන අයිරින් ද අල්විස් සමඟයි මා ගීතය ගයන්නේ. මගේ දක්ෂතා හඳුනා ගන්න ඈ මට දිගට ම ගයන්නට ආරාධනා කරනවා. ඇගේ මඟ පෙන්වීම යටතේ මා ගායනයට පිවිසෙනවා. ඒ හේම ශ්‍රී ද අල්විස් ලිව්ව මගේ ම ගීත ගැයීමෙනුයි. ගයන්නට පෙර මා කලා ලොවට සම්බන්ධ වන්නේ රඟපෑමෙන්.

ඒ කුමන නිර්මාණ සඳහා ද?

මා මුලින්ම රඟපාන්නේ පරාක්‍රම නිරිඇල්ල මහත්තයාගේ ‘සේරිවාණිජ’ කියන ඒකාංගික ටෙලි නාට්‍යයේ. එහි ප්‍රධාන චරිතය වුණු නිමල්ගේ චරිතයට පණ පොවන්නේ මමයි. එකල මා ඒ ලෙවල් පන්තියේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ‘වසුදා’ ටෙලි නාට්‍යයේ ලොක්කේ අයියාගේ චරිතයෙනුයි මා රඟපෑමට යළිත් සහභාගි වන්නේ. ඊට පසුව පහන් කන්ද, මරුවැල, මාලතී මල්, බිම්මල්, භවසරණ, ස්වර්ණ කිංකිණි ඇතුළු ටෙලි නාට්‍ය රැසකට ම රංගනයෙන් සහභාගි වනවා. එතැනින් නොනැවතුණු මා නර්තනයත් හදාරනවා. ඒ පද්මසිරි ගමගේ මහත්තයාගෙන් හා කුලසිරි බුදවත්ත නර්තන ආචාර්යතුමාගෙන්. ඒ හරහා මා නොම්මර 17, සළඹක් හඬයි, මල්සර දොණි, සිංහ රජා ආදී චිත්‍රපටවල ගීත සඳහා නර්තනයෙන් සම්බන්ධ වෙනවා. රංගනයෙන් ‘ජීවන් මල්ලි’ චිත්‍රපටයේ ජීවන්ගේ මල්ලිගේ චරිතයටත් පණ පොවනවා.