වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

සිනමා කිවිඳියට කාන්තා දිනයේ ඇගැයීමක්

ජාත්‍යන්තර කාන්තා දිනයේදී සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ව ඇගයීමට ලක් කෙරිණි. ඒ පසුගිය දින කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදීය. දැනට සාම්ප්‍රදායික නොවන වෘත්තීය ක්ෂේත්‍රයක ප්‍රවීණියක, කලාකාරිනියක විදියට කාන්තාවක් ලෙස ඉහළම දායකත්වය දැක් වූ කාන්තාවක ලෙසයි. කලා ක්ෂේත්‍රයේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම හා නව පරපුර දක්වා ආදර්ශ භූමිකාවක් සැපයූ සිනමා කිවිඳිය ලෙස ඈ ගෞරවයට පාත්‍ර විය. එදින කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ ද ඇගයීමට ලක් කිරීමට ඔවුහු අමතක නොකළහ. සුමිත්‍රා පීරිස් කිවිඳිය ඇගයීමට පාත්‍ර කරමින් සමරු ඵලකය ප්‍රධානය කළේ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් සහ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකා ශිරානි මිලස් සහ චමාලි අහංගම ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි. මේ ඒ මොහොතයි.

ජීවත්ව සිටියා නම් 21 දාට 82 යි

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අද ජීවතුන් අතර සිටියා නම් 82 වැනි ජන්ම දිනය එළඹෙන 21 වැනිදා සමරනු ඇත. අභාග්‍යකට ඔහු අප අතරින් වෙන්ව ගියේ අග්‍රගණ්‍ය මතකයන් ඉතිරි කොට තබමිනි. හෙළ සිනමාව පවතිනතාක් කල් සිනමා සක්විති නාමය අමරණීය වනු ඇත.

ප්‍රසන්න විතානගේ නවතම චිත්‍රපටයට 18 වැනිදා ඔබට අවස්ථාව වයස් භේදයක් නෑ

පළපුරුද්ද අනවශ්‍යයි

සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන්නට ඔබත් කැමතිද? දහඅට වැනිදා එනම් එන ඉරිදා අංක 10/1 අත්තිඩිය පාර, රත්මලාන පිහිටි කම්කරු සෙවණේ පැවැත්වෙන මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමෙන් මේ සඳහා අවස්ථාව උදා කරගත හැකියි. ඕනෑම වයස් කාණ්ඩයකට අයත් රංගනයට කැමැති සරසවිය පාඨකයන් වෙතොත් එම දිනයට කම්කරු සෙවණට පැමිණෙන්නැයි ප්‍රසන්න ආරාධනා කර සිටියි. එහිදී තෝරා ගන්නා සියල්ලන්ට රංගනය පිළිබඳ පාඨමාලාවකට ද සහභාගිවීමට ද අවස්ථාව උදා වේ.

අලි කතාව ගෙදර එයි

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ අලි කතාව සිනමාපටයේ ඩී. වී. ඩී. තැටිය පසුගියදා නිකුත් විය. ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි ඇතුළු පිරිස රංගන දායකත්වය ලබා දුන් මෙය ගුණපාල රත්නසේකරගේ නිෂ්පාදනයකි.

සුහානා සෆර්-2 16 වැනිදා

මෙම මස 16 වැනිදා එනම් හෙට සවස 4.30 ට කොළඹ 07ග්‍රෙගරි පාරේ පිහිටි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සුහානා සෆර් - 2 නමින් පැරැණි හින්දි ගී ප්‍රසංගය දිගහැරෙනු ඇත.

බී. එම්. ප්‍රියනන්ද, කාංචනා පීරිස්, අනු කුමාර අමරසිංහ, කල්‍යාණි ගංගා, ක්ලෙමන්ට් සිල්වා, දිනේෂ් ශ්‍රීමාල්, චම්පික ප්‍රියශාන්ත, දෙවුමි අනන්‍යා, සරසි රණසිංහ මෙහිදී ගීතවත් වනු ඇත. සංගීතය මෙහෙයවීම අසිත විතානආරච්චි ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙනි. හින්දි ගීත සංරක්ෂක රංජිත් එදිරිසිංහ සහ නදීරා ශිවන්ති නිවේදනයෙන් ප්‍රසංගය මෙහෙයවනු ලබති. ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී ජයංගනී දික්කුඹුර සුහානා සෆර් ප්‍රසංග මාලාවේ සංවිධායකවරිය වේ.