වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

මේ ජය මට හීනයක්

ජූනියර් සුපර් ස්ටාර් රොවේන් අර්ල් පීරිස්

දිලෙන තරු අතරට එක් වූ පුංචි තරුවකි. ඔහු එලෙස අභිසෙස් ලැබුවේ ඉකුත් සුපර් ස්ටාර් තරගාවලිය සමඟින් දිදුලන තරුවක් බවට පත් වූ ඔහු රොවේන් අර්ල් පීරිස්ය. තරගාවලියේ කිරුළ හිමි වුයේ මේ පුංචි තාරකාවටය. එහි උණුසුම වියැකී යන්නට මත්තෙක් රෙවේන්ව මෙලෙස සිරස ජුනියර් ස්ටාර් මාවතෙන් සරසවිය මණ්ඩපයට ගෙන්වා ගත්තෙමු.

රොවේන් ඔබට කියාගන්න බැරි තරම් සතුටක් ඇති. එය වචනවලට පෙරළන ගමන් මේ කතාව අරඹමු?

ඒ ජයග්‍රහණය මට හීනයක් වගෙයි අයියේ. තරගාවලිය පුරාවටම අපි එකා වගේ තරග කළා. අන්තිම 24 දෙනා අතරට එනකොට පුංචි බලාපොරොත්තුවක් තිබුණා කිරුළට. ඒ බලාපොරොත්තුව ඉටු වුණා. කිරුළත් අරගෙන ගෙදර ආවේ සතුටින් උඩ පැන පැන.

කවුද ඔබව මෙම තරගාවලියට යොමු කළේ?

මගේ අක්කා තමයි අයැදුම් කළේ.

අවසන් තරගාවලියට මුහුණ දුන් අන්දම මතක් කළොත්?

මං එදා ගැයුවේ සක්මන් කරන මළුව සහ හින්දි ගීිතයක්. මං හිතුවට වඩා ඒවාට ප්‍රතිචාර ලැබුණා. උපරිම හැකියාවෙන් මං සිංදු දෙක කිව්වා. ඒවත් බලපාන්න ඇති මට පළමු තැන ලබන්න.

කවුද ඔබට ගීත තෝරලා දුන්නේ?

කවුරුවක් නෙවෙයි, මමමයි ඒ ගීත තෝරා ගත්තේ.

බොහෝ විට ඔබ ගැයුවේ ආදරය තේමා කරගත් ගීතයි?

මං ගීතයක් තෝරා ගනිද්දී සලකලා බලන්නේ ඒකේ සංගීතමය පැත්ත පමණයි. මට හොඳින් ගයන්න පුළුවන් නම් මම ඒවා තෝරා ගත්තා.

රොවේන් ඉගෙන ගන්නා පාසල මතක් කරමු?

ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලය.

ගමත් ඇරැව්වලද?

නැහැ, මං පිළියන්දල.

කීය වසරේද රොවේන් ඉගෙන ගන්නේ?

මං 2019 උසස් පෙළ ලියනවා. දැනට මගේ වයස අවුරුදු 17 යි. 2000 මාර්තු 22 මගේ උපන් දිනය.

මොනවද පවුලේ විස්තර?

අම්මයි තාත්තයි අක්කයි.

ජූනියර් ස්ටාර් තරග බිම තුළ ඔබ විඳි අමතකම නොවන අත්දැකීම ගැන මං ඇහැව්වොත්?

හේෂාන් මහත්මයාගෙන් මට බෑඩ් කමෙන්ට් එකක් ලැබුණා. එදා මං හරියට පසුතැවුණා. ඒ තරගයේ මගේ ටර්නිං පොයින්ට් එක වුණේ ඒක.

මොකක්ද ඒ බෑඩ් කමෙන්ට් එක?

ඔයා මේ තරගාවලියේ ඉන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා.

තරගාවලියෙන් දිනලා ලොකු මුදලක් ලැබුණා නේද?

ඔව්. ලක්ෂ 20 ක් ලැබුණා.

මොනවද ඒ මුදලින් කරන්න හිතාගෙන ඉන්නේ?

අම්මලාට මේ තරගාවලියේ මං වෙනුවෙන් ගොඩක් මුදල් වියදම් වුණා. එවා පියවාගන්න කියලා මං ගෙදර අයට මුදල් දුන්නා. ඒත් එක්කම අවසාන තරගාවලියට හිටිය අපි හතර දෙනා ලැබෙන මුදලින් පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා.

අනාගත බලාපොරොත්තුව ගායකයකු වීමද?

ගායකයකු විදිහට දිගටම ඉන්නවා. ඒත් එක්කම මම ආසයි සංගීතය උගන්වන කථිකාචාර්යවරයකු වෙන්න.