වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

පාඨක ප්‍රතිචාර ලියන ඔබට

ප්‍රතිචාර තීරයට අදහස් එවන පාඨක ඔබ තමන්ගේ අදහස ඉතා කෙටියෙන් පැහැදිලිව තැපැල්පත්වල පමණක් ලියා ප්‍රතිචාර තීරයට යොමු කරන්න. ඔබ කියන්නට අදහස් කරන දේ සරල අයුරින් ඉදිරිපත් කර ඇත්නම් පමණක් එම ප්‍රතිචාරයට ඉඩකඩ වෙන්කරලීමට අපි කටයුතු කරමු.

චිත්‍රසේන මැතිණියට චිරං ජයතු

නූතන නර්තන කලාව වෙනුවෙන් අපරිමිත සේවයක් ඉටු කළ, ඉටු කරන නර්තනවේදිනී වජිරා චිත්‍රසේන මැතිණියගේ 86 වැනි ජන්ම දිනය 2018 මාර්තු 15 දිනට යෙදී ඇත. චිත්‍රසේනයන් සමඟ සම්භාව්‍ය නර්තන කලාවක් වෙනුවෙන් දිවි කැප කළ වජිරාගේ දරුවෝ, මිනිබිරියෝ නර්තන කලාවේ නිම්වලලු පුළුල් කරමින් මෙරට පමණක් නොව ජගත් කරළිය ද ජයගෙන සිටිති. චිත්‍රසේන මැතිණියට චිරං ජයතු.


පැරැණි චිත්‍රපට යළි එපා

හැත්තෑ වසරක හෙළ සිනමාවේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ හොඳම සහ ජනප්‍රිය විකට චිත්‍රපටය නම් අල්ලපු ගෙදරය. රංගනයන් ගායනයන්, දෙබස්, සංගීතය, සංස්කරණය, කැමරාව, ගී පදමාලාවන් සියල්ල සමසේ කැටි කොට අධ්‍යක්ෂණයෙන් ද ඇම්. මස්තාන් එම කුසලතා එළි දක්වා ඇති අතර එයට බරපැන සැපයූ සී. ස. සිනමාස් සමාගම කේ. ගුණරත්නම් මහතා ද අපට අමතක කල නොහැක. නමුත් මේසා අගනා චිත්‍රපටයක් නව නිර්මාණයක් ලෙස එළි දැක්විම විහිලුවකි. අපට මතකයි නීල් රූපසිංහයන් තමාගේම හතර දෙනාම සූරයන්ට කළ අපහාසය. පැරැණි චිත්‍රපට යළි නිර්මාණය කිරීම මහා විහිළුවකි. මෙතෙක් දෙවෙනි වරට නිපද වූ සිංහල චිත්‍රපට කිසිවක් පළමු නිර්මාණය තරම් සාර්ථක වූයේ නැත.


සරත්ගේ මෙහෙවර අගනේය

ප්‍රවීණ සංගීතඥ සරත් දසනායක සංගීත නිර්මාණයෙන් දායක වෙමින් කළ මෙහෙවර ඉතාමත් ශ්‍රේෂ්ඨයි. 'සදහටම ඔබ මගේ', 'කස්තුරි සුවඳ', 'නිල්ල සොයා', 'මල් කැකුළු', 'යළි හමුවන්නයි', 'ආශා දෑසින්', 'සංගීතා' වැනි චිත්‍රපටවල මිහිරි ගීත අප අදටත් ආශාවෙන් රස විඳින්නෙමු. සයිවර් ගීත සංගීත අධ්‍යක්ෂවරුන්ට ඔබ කදිම ආදර්ශයක්.


තිස්ස නාගොඩවිතාන මහතාට

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ සරුංගලය, උතුමාණෙනි, රත්තරං අම්මා, හිත හොඳ මිනිහෙක්, අප්සරා වැනි චිත‍්‍රපට ඩී. වී. ඩී. තුළින් ඉදිරිපත් කරන්න.


දයා වයමන් සුදු අඟුරු මරු

මේ දිනවල ස්වර්ණාවාහිනියෙන් විකාශය වන සුදු අඟුරු ටෙලි නාට්‍යයේ ඉතා විශිෂ්ට රංගනයක යෙදෙන ප්‍රවීණ ටෙලි නාට්‍ය නළු දයා වයමන්ට මගේ සුබපැතුම්.


දුලීකා පට්ට රාණි මරු

ස්වර්ණවාහිනියෙන් අපේ ආලින්දයට එන සුදු අඟුරු ටෙලි නාට්‍ය නව මඟක් ගත් අර්ථවත් ටෙලි නාට්‍යයක්. පට්ට රාණිගේ චරිතයට ජීවය දෙන දුලිකා මාරපනගේ රංගනය ඉතාම අනර්ඝයි. ඇයට සුබපැතුම්.


දිගු කලක් පැමිණි රත්නාට

දිගු කාලයක් නොකඩවා කෝපි කඩේ පවත්වාගෙන ආ (හාමිනේට) රත්නා සුමනපාලට දීගායු හා නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.


මොරිස් නිහඬ ඇයි

ගායනයේ ගැඹුරු සුමිහිරි පැහැදිලි හඬක් හිමි ගායක මොරිස් විජේසිංහ දැඩි නිහඬතාවයක් පෙන්නුම් කරනවා. මොරිස්ගේ ඒ හඬ පිළිබඳව මෙයට වඩා සංගීත අධ්‍යක්ෂවරු උනන්දු වෙනවා නම් අපට තව හොඳ හඬක් පවතීවි.


රෙක්ස්ට

රෙක්ස් කොඩිප්පිලි දශක පහකට ආසන්න කාලයක් මෙරට සිනමාවේ දුෂ්ටත්වයෙන් පිරි සංකේතයක් බවට පත් වූ අතර ඔහු ඉන් ඔබ්බටත් කුසලතා පෙන් වූ චරිතාංග නළුවෙකි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ කතුරු මුවත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු ලොකුම හිනාව, දියමන්ති, සුරේඛා වැනි චිත්‍රපටයන්හි දුෂ්ට චරිත රඟපාමින් ස්ථාපිත වූ අතර, මුවන්පැලැස්ස, රක්තා, බයිසිකලේ, අහිමි දඩමං, කොටි වලිගය චිත්‍රපට ඔස්සේ රංගන කුසලතා විදහා පෑ අතර මෙරට සටන් කලාවෙහි මහත් ආන්දෝලනයකට පත් වූ නළුවන් අතර රෙක්ස් ඉදිරියෙන්ම සිටින බැව් කිව යුතුමය. ඔබට තව දිගු ගමනක් යෑමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි මා ඉති සිතින් පතමි.


ඇරැව්වල නන්දිමිත්‍රට නිවන් සුව

මුලින්ම කෙටි කතාකරුවෙකු ලෙසින් ක්ෂේත්‍රයට පිවිසි ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ මුල්ම කෘතිය 60 දශකයේ ලියූ කය මිස සිත නැති කෙටි කතා පොතයි. අනතුරුව නවකතා ලෙසින් පියවතී සහ ඇගේ පුත්තු, පද්මාවතී, මල්දෙනියේ සිමියොන් රචනා කළා. රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභියෙකි. මල්දෙනියේ සිමියොන් නවකතාව ආශ්‍රයෙන් ඩී. බී. නිහාල්සිංහයන් නිර්මාණය කළ මල්දෙනියේ සිමියොන් චිත්‍රපටය ජාත්‍යන්තර කීර්තියට පත්විය. එතුමාට නිවන් සුව.


ඇලඩින් සහ පුදුම පහන රංග ශිල්පීන්

සුමිත් කුමාර විසින් සිංහල සිනමාවට තිළින කරන ඇලඩින් සහ පුදුම පහන සැබැවින්ම වෙනස් ආකාරයේ සිනමාපටයකි. ධනංජය සිරිවර්ධන ඇතුළු එහි රඟපාන සියලුම රගංන ශිල්පීන් සහ ශිල්පිනියන් හැඩගන්වා ඇති ආකාරය දුටු විට මෙහි වෙනස දැකගත හැකිවීම සතුටට කරුණකි.


ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායකට

එදා මෙදාතුර රසිකයන්ගේ මනෝහර ගී හඬින් අපට ගීත විශාල සංඛ්‍යාවක් දායාද කළ ඔබ ගැයූ අති ජනප්‍රිය ගීත සමුදාය විශාලය. ඔබගේ මියුරු ගී හඬ එදා සේම අදටත් එසේමය. ඔබ එදා ප්‍රසංග වේදිකාවම ග්‍රහණය කළ අපූරු ගායිකාවකි. එසේම අද ගත කරන සැඳෑ සමයත් සමඟ ඔබව තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදේවා. ඔබගේ මියුරු ගී හඬ සදාකාලිකයි. ඔබට නිදුක් නිරෝගී සුවය සැමදාම ප්‍රාර්ථනා කරන මම - ඔබට දයාබර,


චිත්‍රපට වර්ණනාව උචිතද?

සිංහල සිනමාව ආරම්භක යුගයේ ප්‍රචාරක කටයුතු සඳහා ගොන් කරත්ත සහ ශබ්දවාහිනී යන්ත්‍ර සවිකරගත් මෝටර් රථ මෙන්ම බෝඩ් ලෑලි දෙකක් ඉදිරියටත් පිටු පසටත් සම්බන්ධ කර ගනිමින් උරහිස මත තබාගත් මිනිසකු උපයෝගී කර ගනිමින් පැරැණි චිත්‍රපට ප්‍රචාරය කළා.

එහෙත් අද චිත්‍රපටයක මංගල දර්ශනය දිනයේම කලාකරුවන් ලවා චිත්‍රපටය වර්ණනා කිරීමක් සිදු වෙනවා. මෙය උචිත ද නැද්ද යනු නිෂ්පාදකවරුන් තීරණය කළ යුතුයි. මුල් යුගයේ චිත්‍රපටවල සිප ගැනීමේ දර්ශන කුඩා ළමයකුට වුවත් නොදැනෙන ලෙස රූපගත කළා. වත්මන් සිනමාවේ කකුලේ මාපට ඇඟිල්ලේ සිට නහය දක්වා සිප ගැනීම් දර්ශන ආලින්දයේ නැරැඹීම වාරණ මණ්ඩල අනුමත කරන්නේද?


නැවත නැවතත් නැරැඹූ 'නැවත හමුවෙමු'

පේ‍්‍රක්ෂකයින් නැවත නැවතත් සිනමාහල් තුළින් නරඹන ලද ආදායම් වාර්තා තබන ලද 'නැවත හමුවෙමු' වර්ණ චිත්‍රපටය පසුගියදා රූපවාහිනි තිරය මත දිවා කාලයේදී ප්‍රදර්ශනය විය. ආයතනවල දිවා ආහාරය භුක්ති විඳිමින් සිටි මෙම අවස්ථාවේදී සතුටින් ඉපිල යන සිනමා රසිකයින් නිවසෙහි වෙසෙන සෙසු සමාජිකයින් හට තම ජංගම දුරකථනයෙන් අමතා පැවසුවේ 'නැවත හමුවෙමු' චිත්‍රපටය විකාශය වන බවත් රූපවාහිනිය තුළින් එය නරඹන ලෙසටත්ය. ඇතැමෙකු මෙවන් චිත්‍රපටයක් යළිදු නිපද වූවා නම් අගනේ යයි පැවැසීය.

ප්‍රේමය, හාස්‍යය, සටන්, මියුරු ගීත, සංගීතය පිරි සිනමාවේ ජනප්‍රියම නළු නිළියන්ගේ රංගන විලාශය, හද බැඳි ගායක ශිල්පි, ශිල්පිනියන්, දක්ෂ කාර්මික ශිල්පීන් මුසු කරමින් පවුලේ සැමට එක් වි නැරැඹිය හැකි සොඳුරු සිනමා සිත්තමක් තිළිණ කිරීම පිළිබඳව එහි අධ්‍යක්ෂ හා නිෂ්පාදක දෙපොළ බැතියෙන් සමරමි.


ශ්‍රී දේවියේ භාරතයට යළි එන්න

වීනස් දෙව් දුව වාගේ රූමත්ය
නෙත් සඟලන් මිනි කැට මෙන් දිලිසේය
තොල් පෙති දෙක නා දළුවට සමවේය
පුන් සඳ මෙන් මුහුණ ඇයගේ සුන්දරය

කොණ්ඩය බැඳන් ලංකාවට ආවාය
නිරහංකාර බව ඇයගේ පෙන්වීය
ලොව සුපතළ වුවත් ගාණක් නැතිසේය
ලක් ජනයා ද ඇය අමතක නොකළේය

නයි නැටුමෙන් 'නාගීනා' හැඩවීය
සිනමාවේ අග තැන්වල වැජඹීය
ලෝකය පුරා මේ නම සුපතල වීය
ප්‍රාණය නැතත් රුව හද තුළ පත්වීය

අකල් මරණ මතු සසරෙදි නොම වන්න
මතු භවයේදිත් ඔබගේ රුව දැක ගන්න
අගනා රැඟුම් ජනතාවට පෙන්වන්න
'ශ්‍රී දේවියේ' භාරතයට යළි එන්න