වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට වඩා වැඩි කොටසක් මං අර්ජුනට කැප කළා

සිනමාවට වඩා වැඩි කොටසක් මං අර්ජුනට කැප කළා

අමීෂා කාවින්දි

හැමදාම කෙල්ල වෙන්න බැහැනෙ

අමීෂා කාවින්දි යනු නිතර දකින්නට ලැබෙන නිළියක් නොවේ. එහෙත් රඟපෑ සෑම චරිතයක්ම පාහේ ප්‍රේක්ෂකයන්ට මතක ඇතුවාට සැකයක් නැත. වැඩි දෙනෙකු අමීෂාව හඳුන් වන්නේ අර්ජුන කමලනාත්ගේ සහකාරිය හැටියටයි. අර්ජුන - අමීෂා යුවළ මේ වන විට ලාංකේය සිනමා කලාව තුළ යම්කිසි පෙරළියක් කරමින් සිටින වග ද පෙනෙන්නට තිබේ. අමීෂා රඟපෑ සිනමාපටයක් මේ දිනවල තිරගත වෙයි. ඒ කුසල්ය. ඒත් සමඟම නිෂ්පාදිකාවක ලෙසින් ද තවත් සිනමාපටයක් ඈ මේ වසරේදී ගෙන එන්නට සූදානමිනි.

අමීෂා ජීවිතයම සිනමාවට කැප කරලා වගෙයි නේද?

එහෙම කියන්න එපා. අර්ජුනට තමයි ජීවිතේ වැඩි කොටසක් කැප කරලා තියෙන්නේ(අමීෂා සිනාසෙයි).

ඔව්. ඒක පෙනෙන්න තියෙනවනෙ. මං කිව්වේ ඔබ නිෂ්පාදිකාවක ලෙසින් ඉදිරියට එන්න උත්සාහ කරනවා කියලා?

ඔව්. එකත් හරි. රංගනය වුණත් යම්තාක් දුරට සීමා කළා. නිෂ්පාදිකාවක් ලෙසින් මං කළ කිඩ්නැප් චිත්‍රපටය ළඟදීම තිරගත වේවි. රංගනයට වඩා මං දැන් ළැදි ඒ පැත්තට.

රංගනයට වඩා නිෂ්පාදනය පැත්ත හරිම බැරෑරුම් නොවේද?

රංගනයයි නිෂ්පාදනයයි කියන්නේ අන්ත දෙකක්. රඟපාලා ගෙදර එන්න පුළුවන්. නිෂ්පාදන කාර්යයේදී එහෙම බැහැ. අප සමස්ථ නිර්මාණය දෙසම අවධානයෙන් සිටිය යුතුයි. ඒ නිසා කාර්ය බහුලත්වයත් වැඩිවෙනවා. මොන තත්ත්වයක් තිබුණත් මං නිෂ්පාදන පැත්තට දැන් යොමු වුණා.

ඉදිරිය ගැන සුබවාදීව හිතාගෙන ඉන්නවා.

අප රට තුළ චිත්‍රපටයක් අසාර්ථකවීමේ ප්‍රවණතාවය වැඩියි?

ඒක දකින්න තියෙන කරුණක්. ප්‍රේක්ෂක රුචි අරුචිකම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අප ඒ තත්ත්වය දැන සිටිය යුතුයි. චිත්‍රපටය හදන කාලෙ තිබෙන රැල්ලට චිත්‍රපට හැදුවට වැඩක් නැහැ. ඒක නොබෝ දිනකින්ම වෙනස් වන්නට පුළුවන්. මොනවා වුණත් අප උපකල්පනය මතයි චිත්‍රපට හදන්නේ. හැම තිස්සෙම සෘනාත්මකව හිතන්නේ නැතුව හැම දෙයක්ම මං හිතන්නේ ධනාත්මකව.

මෑතකදී ඔබව දුුටුවෙ කුසල් චිත්‍රපටයේ පමණයි?

චිත්‍රපට පෝලිමක් එන්න තිියෙනවා. එන්න පටන් ගත්තම එක දිගට තිරගත වේවි.

කුසල් චිත්‍රපටයේ මීෂාගේ චරිතය ගැන යමක් කතා කළොත්?

මීෂා කියන්නේ කළු චරිතයක්. මං හරිම ආසාවෙන් ඒ චරිතය කළේ. නිතරම මං උත්සාහ කරන්නේ වෙනස්ම චරිතයක් කරන්න. මේකත් එහි ප්‍රතිඵලයක්.

ටෙලි නාට්‍යවලින් ඈත් වෙලා වගෙයි?

ටෙලි නාට්‍ය නම් එපා වෙලා තියෙන්නේ.

ඇයි ඒ?

දැන් හැදෙන ටෙලි නාට්‍යවල දවසට සීන් පහලොවක් විතර ගන්නවා. එහෙම රඟපාන්න පුළුවන්ද. අනිත් කාරණය ඒ වගේ නාට්‍යවල අවසානයක් රඟපාන අපිවත් දන්නේ නැති එක. එහෙම වැඩ කරන්න අමාරුයි. අනික අපි යන්ත්‍ර නෙවෙයිනෙ.

ඒත් ඔබ රඟපෑ බහුතරයක් නාට්‍ය මෙගා ගණයට වැටෙන ඒවානේ?

කාව්‍යා, නිලංජනා වගේ නාට්‍යවලට මුල් යුගයේදී දායක වුණා. ඒවායේ වැඩ කළේ ඉන්දීය ශිල්පීන්. ඔවුන් ආර්ටිස්ලට හුඟක් ගරු කළා. දවසටම ආර්ටිස් කෙනෙකුට තිබුණේ සීන් හතරක් හෝ පහක්. ලංකවේ කරපු නාට්‍යවල එහෙම වුණේ නැහැ. ඒකනෙ නාට්‍ය එපා වුණේ.

ඔබත් හැමදාම පෙම්වතියගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්න නිළියක්ද?

කොහෙත්ම නැහැ. හැමදාම කෙල්ල වෙන්න බැහැනෙ. ඒක මං තේරුම් අරගෙනයි ඉන්නේ.

ඔබ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටයේ රඟපානවා?

ඒකෙ නම ඝරසරප. ජයන්ත සර්ගේ චිත්‍රපටයක රඟපානවා කියන්නේ හරියට රංගනය ඉගෙන ගන්න කැම්පස් ගියා වගේ. එච්චරට මං දේවල් ඉගෙන ගත්තා. වෙනස්ම චරියක් මං එහි රඟපෑවේ. මේ වසරේ අගට එයත් තිරගත වේවි.