වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ආයුබෝවන් මම චේතනා ලියනගේ

ආයුබෝවන් මම චේතනා ලියනගේ

මෙන්න නොකියූ ප්‍රවෘත්ති

චේතනා ලියනගේ යනු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු නාමයක්. සිරස ආරම්භයේ පටන්ම ප්‍රවෘත්ති විකාශයේදී චේතනා යනු එහි ප්‍රවෘත්ති නිවේදනයේ සංකෛ්තයක් බඳු වුණා. අද චේතනාගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන දිනයකි.

චේතනා පොතක් ලිව්වා කියලා ආරංචි වුණා?

ඔව්.

මොකක්ද ඒකෙ නම?

නොකියූ ප්‍රවෘත්ති.

මේ ඔබගේ කුලුඳුල් ග්‍රන්ථය?

ඔව්. අද තමයි පොත ජනගත වන්නේ.

නොකියූ ප්‍රවෘත්ති කෘතියේ අන්තර්ගතය ගැන සඳහනක් කළොත්?

ඒක කියන්නේ කොහොමද කියන එක ගැටලුවක්. මම මෙහෙම කියන්නම්කො. මගේ පියා හා සබැඳි අත්දැකීම් රාශියක් මගේ මතකයේ තිබුණා. ඒවා ගැන සඳහන් කරමින් තමයි පොත ඇරැඹෙන්නේ. ඊට අමතරව ප්‍රවෘත්ති කියන්න ගිහින් මට වෙච්ච අත්දැකීම්, වැරැදුණ තැන් සහ නව පරපුරට උපදෙස් යනාදී කරුණු රැසක් තියෙනවා.

මං හිතනවා නොකියූ ප්‍රවෘත්ති බොහෝ රසවත් පොතක් වේවි කියලා?

ඇත්තෙන්ම.

මේ වගේ ග්‍රන්ථයක් එළි දක්වන්න හිතුණේ ඇයි?

වර්තමානය වන විට මං ෆුල් ටයිම් නිවුස්් රීඩර් කෙනෙක් නෙවෙයි. වෙනත් අංශයකට මාරු වුණාට පස්සේ මට හිතුණා මේ පොත ලියන්න. මං දේශන සඳහා යද්දී නවකයන් මට හමු වෙනවනෙ. ඔවුන් දන්නවා කියලා හිතාගෙන ඉන්න නොදන්නා කරුණුු ගැන මං කාලෙක ඉඳලා අධ්‍යයනයක හිටියා. ඒ ඔස්සේ මගේ අත්දැකීම් එක්ක නවකයන් නොදන්නා කරුණු ගැන ලියලා හෝ දෙන්න කියලා හිතුණා. ඔවුනට තමයි මේ ග්‍රන්ථය ඉතා වැදගත් වන්නේ.

ඔබේ අයියා ශ්‍රීමත් නම් පොත් ලියනවා. ඒත් ඔබ ග්‍රන්ථකරණයට එන්න පමා වුණා?

මං හිතනවා මගේ කාර්යබහුලත්වය එක්කයි මං පොතක් ලියන්නට පමා වුණේ. නමුත් හැම දෙයක්ම වෙන්න වෙලාවක් තියෙන්න ඕනනෙ. මේක තමයි ඒ වෙලාව.

ඔබේ පියා ප්‍රවීණ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ ගැන මතකයන් අවදි කළොත්?

තාත්තා ගැන වචනයකින් දෙකකින් කියන්නට බැහැ. මහා විශ්ව කෝෂයක්. මං මාධ්‍යවේදිනියක් වීමේ මුල් පියවර තැබුවේ නිවසින්. මං නිවේදිකාවක් විදිහට ආයතනගත වන්නේ තාත්තාගෙන් ලැබූ ගුරුහරුකම් සමඟයි. ඒ නිසා ප්‍රවෘත්ති වාර්තාකරණය මට අමුතු දෙයක් වුණේ නැහැ. අපි ශක්තිමත් වුණේ තාත්තා නිසා. මාධ්‍ය ලෝකයේ මගේ වීරයා වුණේ මගේ තාත්තා කිව්වොත් නිවැරිදියි.

හදිසි ප්‍රවෘත්තියක් ගැන මහ රෑ වුණත් හොයන පුරුද්දක් ලියනගේ මහත්තයට තිබුණලු?

ඔව්. තාත්තා එහෙම ප්‍රවෘත්තියක් ආවාම මහ රෑ නැගිටගෙන බීබීසී සොයමින් ඒ ගැන විස්තර හොයනවා. නිරයාසයෙන්ම අපිත් එතකොට ඇහැරිලා. මං එහෙම දවස්වල කාමරයේ ජනේලය ඇරලා බලනවා අනිත් ගෙවල්වල අයත් ඇහැරලද කියලා. ඒ හැමෝම නිදි. අපි විතරයි ඇහැරිලා ඉන්නේ. මට ඒ කලේ හරි ප්‍රශ්නයක් අපේ ගෙදර අය විතරක් ඇහැරිලා ඉන්නේ කියලා. පහුකාලීනව මං ඒ ගැන තේරුම ගත්තා. නොදැනුවත්වම මමත් ඒ ට්‍රැක් එකට වැටුණා. මං අර කලින් කිව්වා වගේ ඒවා තමයි මුල් ට්‍රේනිං එක.

ප්‍රවෘත්ති කියන්නට ඇවිත් දැන් කොපමණ කල්ද?

අවුරුදුවලින් නම් 23 ක් විතර. 95 නොවැම්බර් 21 මුලින්ම ටී එන් එල් නාළිකාවේ හා හා පුරා කියලා ප්‍රවෘත්ති කිව්වා. 95 නොවැම්බර් 06 එම්. ටී. වී. සිංහල චැනල් එකේ ඒ කියන්නේ සිරස පටන් ගත්ත කාලේ මං එහි ප්‍රවෘත්ති කිව්වා.

එදා පටන් අවුරුදු දහයක්ම ඔබ සතියේ දින පහේම ප්‍රවෘත්ති කිව්වා නේද?

ඇතැම් විට එය වාර්තාවක් වෙන්නත් පුළුවන්. මං ඒ කලේ වැඩට යන්නෙම ප්‍රවෘත්ති කියන්න බලාගෙන. ෆුල්ටයිම් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළා. ඒ අවුරුදු දහයෙන් පස්සේ මං කඩින් කඩ ප්‍රවෘත්ති කිව්වා. ප්‍රවෘත්ති අංශයේම වෙනස් වැඩ සටහන් ඉදිරිපත් කළා.

ප්‍රවෘත්ති නිවේදනය දැන් ඇති කියලා හිතෙන්නේ නැද්ද?

කොහෙත්ම නැහැ. මම මගේ වෘත්තීය ගැන තෘප්තිමත්. ඒ තත්ත්වය මත මම වෙහෙසකාරී වන්නේ නැහැ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම.

දශකයකටත් අධික ප්‍රවෘත්ති නිවේදන ජීවිතය තුළ සිනහව සහ කඳුළ සඟවගෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කළ අවස්ථා දෙකක් සඳහන් කරමු?

මං මුලින්ම සිනහව තදකරගෙන ප්‍රවෘත්ති කියූ අවස්ථාවක් සඳහන් කරන්නම්. අපට ලැබෙන සමහර හදිසි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අවස්ථාවලදීම අපට ලැබෙනවා. ඔන්න එහෙම ප්‍රවෘත්තියක් ලැබිලා. අපේ ඉන්නවා ටිකක් උස මහත සුදු ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙක්. ඔහු කැමරාවට නොපෙනෙන්න බඩගාගෙන ඇවිත් මගේ ළඟට ප්‍රවෘත්තිය අරගෙන. මගේ සයිඩ් එකට වෙලා ප්‍රවෘත්ති කොළය අතේ තියාගෙන කැමරාවට නොපෙනෙන්න දන ගහගෙන ඉන්නවා. ඔහුව හදිසියේම මගේ නෙත ගැටුණා. නිකම් හිතන්නකො එහෙම දන ගහගෙන කොළයකුත් දික්කරන් කෙනෙක් ඉන්න කොට මොන වගේ සිතුවිල්ලක් ද එන්නේ කියලා. එදා මට හිනා යන්නම ආවා. ඒත් හිනාව තද කරගෙන මුකුත් නොවුණ ගානට මං ප්‍රවෘත්ති කිව්වා. කොළඹ නගරයේ අතරමං කර දමාගිය ළමයි දෙන්නෙක් ගැන කියපු ප්‍රවෘත්තියක් නිසයි මගේ ඇසට කඳුළක් ඉනුවේ. ඒ ළමයි දෙන්නා පොලිස් බාරයේ සිටින වෙලාවක පොලිස් ස්ථාන භූමියේ බට්ටා පනින දර්ශනයක් තිබුණ. ඔවුන්ගේ ස්වරූපය සහ ක්‍රියා කලාපය දැකලා මට ඇඬුණා. ඒත් ඒ කඳුළ සඟවමින් මං එදා ප්‍රවෘත්ති කිව්වා.

බොහෝ අවස්ථාවල රංගනයට ආරාධනා ලැබුණත් ඔබ එම ආරාධනා ප්‍රතික්ෂේප කළේ ඇයි?

ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසට මං ජනතාව අතරේ යම් පිළිගැනීමක් තියෙනවා. විශ්වාසනීය චරිතයක් ලෙසයි ඔවුන් මාව දකින්නේ. රංගනයට ගියොත් ඒ විශ්වාසනීයත්වය බිඳේවි කියන අදහසක් මට තියෙනවා. ඒ ඒ චරිතත් එක්කයි මිනිස්සු මගේ දිහා බලන්නේ. ඒ නිසා මේ හදා ගත්තු නම ඒ විදියටම තියාගෙන ඉන්න ඕන නිසයි රංගනයට ගියේ නැත්තේ.

නව පරපුර ගැන මොන වගේ අදහසකින්ද ඔබ ඉන්නේ?

අලුත් අය අතරමං වෙලා වගේ හැඟීමක් දැනෙනවා. මගේ ග්‍රන්ථයට ඒ අයට උපදෙස් මාලාවක් ඇතුළත් කළෙත් ඒකයි.