වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සෙත් කවියක්

සෙත් කවියක්

සිසිර සේනාරත්න ගයන මාගෙ පුතුට මල් - යහන සදන්නේ ගීතය හා සැබැඳි ජීවන අත්දැකීමක් ඉකුත් දිනයකදී අප ඔබ වෙත ගෙන ආවා. ඒ බුද්ධික ජයරත්න අත්විඳි දෙයක්. ඒක ගැන සරසවිය දෙපාර්තමේන්තුවේ අපි කතාවෙද්දී ඒ ගීතය සෙත් කවියක් වගේ කියන්න සරසවියේ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් මහත්තයා තවත් උදාහරණයක් කිව්වා. මේ සින්දුව ඇතුළත් වෙන්නේ 1968 තිරගත වූ පුංචි බබා චිත්‍රපටයට. අප නිළි රැජන මාලිනී සිනමාවට ප්‍රවිෂ්ඨ වන්නෙත් මේ සිනමාපටයෙන්. මාගෙ පුතුට ගීතය ලිව්වේ ධර්මසිරි ගමගේ සූරින්, පුංචි බබා චිත්‍රපටය නිෂ්පාදනය කළේ සුගතදාස මාරසිංහ, ගීතය කිව්වේ සිසිර සේනාරත්න. චිත්‍රපටයේ රඟපෑවා විශිෂ්ට රංගධර ජෝ අබේවික්‍රම. පුංචි බබා ජෝගේ මුල් යුගයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ගමගේ, සුගතදාස, සිසිර සහ ජෝ යන සිව් කට්ටුවට හා හා පුරා කියලා මුහුණ දකින්න ලැබුණේ පුතකුගේ. ගීතයේ ආනුභාවයෙන් ඔවුන් සිව් දෙනාටම එම ගීතයේ තිබෙන පරිද්දෙන්ම පුතකු නළවන්න වාසනාව උදා වුණා. පුංචි බබා චිත්‍රපටයේ නිෂ්පාදක සුගතදාස මාරසිංහ කියන්නේ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහගේ මහප්පා. ජනිතගේ පියා ගුණසේකර මාරසිංහ හෙවත් සුගතදාසගේ මල්ලි තමයි පුංචි බබා චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ගත්තේ.