වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




තිරිමාදුර නූලෙන් බේරෙයි

තිරිමාදුර නූලෙන් බේරෙයි

ටවර් වහල කඩා වැටෙයි

තව ටිකෙන් මං ඉවරයි එක අතකට මැරුණා නම් හොඳයි

අපි නාට්‍ය ඉවර කරලා ප්‍රේක්ෂකයන්ට ආචාරය කරන්න ආවා. එතකොට මං කිව්වා මේ වගේ කාලකන්නි රටක ද අපි නාට්‍ය කරන්නේ කියලා.

කුමාර තිරිමාදුර කියන නළුවව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැහැ. සිනමාව, පුංචි තිරය මෙන්ම වේදිකාවේ ද හතර කොන හොඳින් හඳුනන හෙතෙම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ඒ නිසා කුමාර ඉකුත් හතර වැනි ඉරිදාව ගෙවා දැමුවෙත් රංගන කාර්යයක් වෙනුවෙන්. හැබැයි සුළු මොහොතක පමාවෙන් අපට තව ඩිංගෙන් කුමාර තිරිමාදුර කෙනෙක් නැති වෙන්න තිබුණා. එහෙම නම් මේ ලිපියත් ලියැවෙන්නේ වෙනස් විදියකට. කාගෙත් වාසනාවට කුමාර තවමත් ජීවතුන් අතර ඉන්නවා. කුමාරගේ මේ සිදුවීම මොකක්ද කියලා ඇතැම් අය දන්නවා. එහෙත් ඒ ගැන නොදන්නා පිරිස දන්න අයට වඩා වැඩියි. කාගෙ කාගේත් දැනගැනීම පිණිස කුමාර තිරිමාදුර මරණයෙන් ගැලවුණු අන්දම පිළිබඳ ඔහුගේ වචනවලින්ම මෙසේ අසා දැනගනිමු.

කුමාර දිනය හරියටම මේ මාසේ හතර වෙනිදා. ඔබ එදා හිටියේ කොහේද?

මරදාන ටවර් රඟහලේ.

වේදිකා නාට්‍යයක රඟපාමින්?

ඔව්.

මොකක්ද ඒ නාට්‍යය?

සුනිල් ශ්‍රීගේ අං ආවෝ.

නාට්‍ය හැටියට ඔබ මැරෙනවා?

මං එහි රඟපාන්නේ අයුතු වැඩ කරන දේශපාලඥයකු හැටියට. නාට්‍යයේ අගදී ඔහු මිය ගිහින් බල්ලෙකු විදිහට උපදිනවා.

තව පොඩ්ඩෙන් ඔබට ඇත්තටම මැරෙන්න වෙනවා?

නාට්‍යයේදී මං මියගියාට පසුව ලයිට් ඕෆ් වෙනවා. ඔය අතරතුරදී මම කලු තිරය පැත්තට ඇවිදගෙන ගියා. එතකොටම දඩබඩාං ගාලා මොකක්දෝ වැටුණා.

ටවර් ශාලාවේ සිවිලිම කඩාගෙන වැටිලා?

ඔව්. හරියටම මං නාට්‍යයේ මැරිලා හිටපු තැනට තමයි කෑලි බෑලි ඔක්කොම වැටිලා තියෙන්නේ.

තත්පර කිහිපයක් එහා මෙහා වුණා නම්?

ටවර් නාට්‍ය ශාලාවෙම මං අවසන් හුස්ම හෙළනවා. එක අතකින් මැරුණා නම් හොඳයි මෙහෙම රටක නාට්‍ය කරනවාට වඩා.

ඔබ ඔය අදහස ප්‍රේක්ෂකාගාරයට කිව්වා නේද?

අපි නාට්‍ය ඉවර කරලා ප්‍රේක්ෂකයන්ට ආචාරය කරන්න ආවා. එතකොට මං කිව්වා මේ වගේ කාලකන්නි රටක ද අපි නාට්‍ය කරන්නේ කියලා.

ඔබ කිව්ව කතාව හරි. ටවර් ශාලාව කියන්නේ අපට තිබෙන ප්‍රධානම රංග ශාලාව?

ඒක තමයි මං කියන්නේ මේක වුණේ දෙහිඅත්තකණ්ඩියේ, අම්පාරේ, කහටගස්දිගිලියේ ශාලාවක නම් කමක් නැහැ. ඒවා අඩු පහසුකම් තියෙන ශාලානේ. හත්දෙයියනේ ටවර් එකේ සිවිලම කඩන් වැටුණා කියන්නේ තවත් කවර කතාද.

රාජ්‍ය නාට්‍ය උලෙළ පවා පවත්වන්නේ මේ ශාලාවේ නේද?

නැතිනම්. ළමා නාට්‍ය උලෙළත් පවත්වනවා. ළමයින් නම් කොච්චර මේකෙ රඟපානවද. ඒ වෙලාවේ මේ දේ වුණා නම්.

ඔබට වැඩිය ප්‍රවීණයොත් ටවර් එකේ රඟපානවානේ?

මං ඔතනට තමයි එන්න හැදුවෙ. මං පැත්තකින් තියන්නකො. මනෝරත්න මහත්තයා රඟපාද්දි සිවිලිම කඩන් වැටුණා නම් ඒ විතරක් නෙවේ, එදා මං ඉන්න නාට්‍යයේ ක්ලීටස් මෙන්ඩිස් රඟපෑවා. ශ්‍රියන්ත මෙන්ඩිස්ලා පවා එනවා. ඒවගේ ප්‍රවීණයෙක් රඟපාද්දී වහලෙ කඩාගෙන වැටිලා ඒ කාගේ හරි ජීවිතයට හානියක් වුණා නම් කවුද ඒ වගකීම බාර ගන්නේ.

මේ සම්බන්ධව කවුද වග කියන්න ඕනෑ?

දැනට මේකෙ වැඩ කරන මැනේජර් ඇතුළු සේවක මහත්තුරු නෙවෙයි මෙයට වගකියන්න ඕනෑ. මේවා හදන්න කොන්ත්‍රාත් දුන්නේ කවුද. අනික මේකෙ සේවකයෝ මේ සිවිලිම ගැන නිතර මතක් කරලා තියෙනවා අදාළ පාර්ශවයන්ට. ඔවුන් මැදිහත් වුණා නම් මේවා හැදෙනවා. අපි හැමදාමත් කරන්නේ අස්සයා පැනලා ගියාට පස්සේ ස්ථාලය වහන එකනෙ. මේකත් දැන් දඩිබිඩියේ අලුත්වැඩියා කරයි.