වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




 “සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර

 “සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර

දිවි මඟේ හත් වැනි දශකය සමරයි

සිව් දශකයක් ඉක්මවා යමින් ගැයුණු ගීත ත්‍රිත්වයක රසාලිප්ත බව තාමත් මා හද කොණ සොඳුරු ආශ්වාදයකින් පුරවා ලන්නේය. ගීතයක රස භාවයන් වින්දනය කරගත හැකි අවදියකදී එහි ඉතිහාස කතා පුවත් සොයා යද්දී එකී නිර්මාණයන්හි උත්පාදන යුගය මගේ ළදරු විය දක්වා දිවෙන බව විමැසීමෙන් මා විස්මයට පත් වුුණෙමි. එදා සිට මේ අද දක්වා දිවෙන යුගය තුළදී ද එදා මා විඳි නොනිමි රසයෙන්ම එම ගීතයන් වින්දනය කිරීමට ඇති හැකියාව හා සර්වකාලීන රසාලිප්ත ස්වර රටා හා සුගායනීය බව අද ද මා නැවත නැවතත් විශ්මයට පත් කරන්නේය.

‘ඔබ මට තරුවකි
ඝනඳුරු රැයකදි
දිදුලන සඳවට ගුවන අරා
ලාහිරු මඩලයි - මා අබියස ඔබ
බැස යන්නේ නැත සසර පුරා’

(සංගීතය - ලක්ෂ්මන් විජේසේකර)

ලක්ෂ්මන් විජේසේකර නිර්මලා රණතුංග සමඟ ගැයුවේය. ප්‍රේමයේ ආශ්චර්යය අති සංවේදී ලෙසින් ශ්‍රාවක සිත් සතන් තුළ මෘදු ලෙස තැන්පත් කළ මේ ගීතය එදා ලක්ෂ්මන් විජේසේකර නම් වු ගායකයා සිය ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ගැයූවකි. ඒ 1975 වසරේදීය.

‘දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිව් සිය ගව්දුර ඇදෙන ලෙසින්
ශෝක සුසුම් නොහෙලන්’

(සංගීතය - කිංස්ලි රාජසිංහ)

මේ ඔහු ඒ සඳහා ගැයූ අනෙක් ගීතයය.

‘ඇයි තරහින්
මාන්නකාරි . . . පලා දුවන්නේ
දමලා මා මෙහි . . .’

(සංගීතය - රෝහණ වීරසිංහ)

නූර්ති ගී සම්ප්‍රදාය ඇසුරන් නිර්මිත ඉහත ගීතය ද එම වැඩ සටහනට ඇතුළත් වී තිබිණි. ප්‍රථම සරල ගී වැඩ සටහන සඳහා ඉදිරිපත් කළ ගීත ත්‍රිත්වයම අද දක්වාම ජනප්‍රියව ශ්‍රාවක සිත් සතන් අතර නිරන්තර රැව් පිළිරැව් දෙනු දැකීම ගායකයෙකුගේ වාසනාවකි. ඒ වාසනා මහිමය ලක්ෂ්මන් විජේසේකර නම් ගායකයා හිමිකර ගත්තේය.

දිගු ජීවන ගමන් මඟ තුළ ඔහු එළඹ සිටිනුයේ සිය 70 වැනි විය වෙතය. 70 සමරනු වස් ඔහු ‘සඳ කිනිති නැමී’ සංගීත ප්‍රසංගය එළඹෙන 17 වැනි දින පස්වරු 7.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහල වෙත රැගෙන එන්නේය. ගෙවුණු දශක කිහිපය පුරාම සංගීත ක්ෂේත්‍රයේ රැළි පිට රැළි පෙරළමින් පැවතිය ද තම ගමන් මඟ නොසැලී ඉදිරිය පවත්වාගෙන එන්නට තරම් සවිමත්, දිරිමත් සිතක් ඔහුට විය. වාණිජත්වයේ බල පුළුවන්කාරකම්වලට හෝ නවීනත්වයේ ආඩම්බරකාරකමට හෝ නැමෙන සිතක් ඔහුට නොවීය. තමන්ට අනන්‍ය වූ ලක්ෂණ සමඟ ගොඩ නඟා ගත් වටිනාකම්වලට ඔහු නිරන්තරව ලොබ බැඳ ගත්තෙක් වූයේය. මේ ගමන් මඟ තුළ ඔහුට හැල්මේ දුවන හදිස්සියක් කිසි විටෙකත් නොවූ බව වසර ගණනාවක් ඉක්ම ගියත් ගයා ඇති ගීත අතළොස්සම සාක්ෂි දරන්නේය.

අද ඔහු එළඹ සිටින්නේ ජිවන ගමන්මඟේ සුවිශේෂී කඩ ඉමකටය. මේ කඩඉම තුළ වන බොහෝ වටිනාකම් නෑකම් කියන්නේ සොඳුරු අතීතයක මතක සැමරුමකටය. අතීතයක් නැති මිනිසෙකුට වර්තමානයක් සේම අනාගතයක් ද නැත්තේය.

1948 මාර්තු 14 වැනි දින උපන් ලක්ෂ්මන්ගේ සම්පූර්ණ නම වූයේ රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් ද සිල්වා විජේසේකරය. ඔහු ගායන ලොවට පිවිසෙන්නේ ලක්ෂ්මන් විජේසේකර නමිනි.

‘මගේ පාසල් ජීවිතේ ඇරඹෙන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන්. මගේ මුල් සංගීත ගුරුවරයා වුණු කේ. එම්. දයාපාල ගුරුතුමා නිසා තමයි ජීවිතේ මේ පැත්තට යොමු වෙන්නේ. ඊට පස්සේ රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා. ඊට පස්සේ දිගින් දිගටම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.’

ලක්ෂ්මන් සංගීත දිවිය අරඹන්නේ නියම ශාස්ත්‍රීය පදනමකින් යුක්තවය. රජයේ සංගීත විද්‍යාලයේ ගුරු භවතුන්ගෙන් ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරන අතරම එකිනෙකා නොපරයන දක්ෂතා ඇති පිරිසකගේ සම්භාවනීය ඇසුර ද, දක්ෂතාවයන්ගෙන් පිරිපුන් සමකාලීන මිතුරු පිරිසකගේ සුහදතාවය ද ඔහුට ලැබිණි. ලක්ෂ්මන් රජයේ සංගීත විද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකුව සිටියදී ඔහුට සංගීත ගුරු පත්වීමක් ලැබිණ.

‘1975 දී මට ඉස්සරලම ගුරු පත්වීම ලැබුණේ අනුරාධපුර මහකනදරාව විදුහලට. ඒ කාලේ ඉතින් ආර්ථික ප්‍රශ්නත් තිබුණ නිසා පත්වීම බාර ගත්තා. ඊට පස්සේ මම විජයපුර කනිෂ්ඨ විද්‍යාලයේ වැඩ කළා. අන්තිමට වැඩ කළේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ. මගේ ගුරු ජීවිතය තුළ මම සතුටුයි. දූ දරුවන් වෙනුවෙන් කරන්න ඕනෑ යුතුකම් මම මට හැකි අයුරින් උපරිමයෙන් කළා.’

ලක්ෂ්මන් හා සමකාලීනව එකල රජයේ සංගීත විද්‍යාලයෙන් බිහි වූ ජනප්‍රිය චරිත රැසකි. ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද මාලිනී බුලත්සිංහල, බන්දුල විජේවීර, බණ්ඩාර අතාවුද, ආනන්ද වීරසිරි වැන්නෝ ඒ අතර විණ. එකල ලක්ෂ්මන් සමඟ රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර හා ආනන්ද වීරසිරි වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනයට එක් වූයේය. එසේම වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ ගීතයන්හි සමූහ ගායනයට එක් වී ඇත්තේ ද මේ පිරිසය.

‘ගායන ක්ෂේත්‍රයට යොමු වුණාට ඒ කාලේ මට තිබුණා නළු උණක්. රොමියෝ ජුලියට් චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයකටත් මම ගියා. නමුත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඊට පස්සේ මට අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ ඔහුගේම ‘යුවතිපති’ චිත්‍රපටයෙත් පොඩි චරිතයක් රඟපෑවා. නමුත් ඒ කාලෙම මට තේරුණා රංගනය මට හරියන්නේ නෑ කියලා. ඒ වුණාට ඊට පස්සේ ටෙලි නාට්‍ය ගණනාවකත් රඟපෑවා.

ලක්ෂ්මන්ගේ රංගනය පිළිබඳ සිහිපත් වන විට මතකයට නැගෙන ටෙලි නාට්‍ය බොහොමයකි. ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘රේඛා’ මේ අතර ප්‍රධානය. චන්ද්‍රලේඛා පෙරේරා සමඟ රංගනයට මෙන්ම ගායනයට ද එක්වුණු මෙම ටෙලි නාට්‍යයට ගීත ගණනාවක්ම ඇතුළත් විය. ඉර පායා, පාට සරුංගල්, ගංගා සහ නිශ්ශංක, දත් කැකුළු පාලා ඇැතුළු ටෙලි නාට්‍ය රැසක ඔහු පසුව රඟපෑවේය. එපමණක් ද නොව ඔහු වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් ද නමක් දිනා ගත්තෙකි. සපතේරු හාමිනේ (මුල් නිෂ්පාදනය) පුත්‍ර සමාගම (ජයලත් මනෝරත්න), සිහින සාප්පුව (නීල් අලස්), සෙනෙහෙබර ඩොලී (බන්දුල විතානගේ) වැනි නාට්‍ය ඒ අතර වේ. සිහින සාප්පුව වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ඔහු රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ද දිනා ගත්තේය.

ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස බුමුතුරුණු, ගංගා සහ නිශ්ශංක, පාට සරුංගල්, පස්සෙ ගෙනා මනමාලි, හිම කැටයම්, දේදුනු පාලම ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට සංගීතය නිර්මාණය කළ ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද මෙරට නමක් දිනා ගත්තේය.

‘සඳ කිණිති නැමී’ ප්‍රසංගය සඳහා ඔහු ගායනා කරන ජනප්‍රිය සරල ගීත, ටෙලි නාට්‍ය ගීත මෙන්ම ඔහු විසින් වෙනත් ගායක ගායිකාවන්ට තනු නිර්මාණය කරන ලද ගීත කිහිපයක් ද අඩංගු වේ. සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන් දායක වන අතර ප්‍රදීපා ධර්මදාස, නිර්මලා රණතුංග, සමිතා මුදුන්කොටුව සහ චන්ද්‍රලේඛා පෙරේරා වෙනුවට ඇගේ බාල දියණිය වින්ඩි ගුණතිලක ද සහාය ගායනයෙන් එක් වෙති.

ගෙවුණු කාලය පුරා ලක්ෂ්මන් විජේසේකර නම් නිර්මාණකරුවාගෙන් නිර්මාණ බිහිවීමේ මානසික නිදහස උදාකර දුන්නී ඔහුගේ පි‍්‍රය බිරිඳ චන්ද්‍රාය. ඔහුම පවසන ආකාරයට නිවසේ වගකීම්, යුතුකම් වෙනුවෙන් කාලය වැය කරන්නට චන්ද්‍රා ඔහුට ඉඩ නොදුන්නාය. ඇය ඒ සියල්ල සිය වගකීම්,යුතුකම් ලෙස තනි බරට ගනිමින් ලක්ෂ්මන්ට සැනසිල්ල උදාකර දුන්නීය. නිර්මාණ ජීවිතය දෙස මෙන්ම පෞද්ගලික දිවිය පුරා ද සැනසිලිදායක සතුටක් ඔහු අත් විඳින්නේය. ජීවිතයේ සැඳෑ සමය සතුටින් සෙම්නසින් ගෙවන්නට බොහෝ දේ ඉතිරි කර ගත්තාය. ඒ ඉතිරිය ආර්ථික ඉතිරියකට වඩා හොඳ හිත, සතුට, තෘප්තිය, සාමය, සමාදානය, යහළු මිතුරුකම් බැඳීම්වලින් යුක්ත වන්නේය. සමාජයට අයහපතක් නොකරන දරුවන් දෙදෙනෙකු දායාද කිරීම ද එක් ආකාරයකට මවුපිය යුවළකට සම්පතකි. අද ඔහුගේ ප්‍රසංගයේ සියලු සංවිධාන කටයුතු උසුලන්නේ ද ප්‍රිය දියණි අමා පුතු විහඟ සේම අමාගේ ආදරණීය සැමියා විමල් කැටිපේආරච්චි විසිනි.

දහසක් ගීත නොවූවද ඔහු ගැයූ ගී අතළොස්ස සිය දහසක් ශ්‍රාවක සිත් සතන් තුළ සදාතනිකව නින්නාද වනු ඇත. එදා අද මෙන් හෙට ද ඒ ගීත මෙරට සුභාවිත ගීතයට පූර්වාදර්ශ සපයමින් යළි යළිත් ගැයෙනු ඇත.

‘සඳ කිනිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙත ද සලා
සොයයි සේයාව සඳේ . . .’