වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සඟරා ඉතිහාසයේ ප්‍රථම සිංහල හා ඉංග්‍රීසි සඟරාව ගැනයි මේ
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

සිනමා සඟරා ඉතිහාසයේ ප්‍රථම සිංහල හා ඉංග්‍රීසි සඟරාව ගැනයි මේ

මුල් කාලයේ බයිස්කෝප් ගැන හෝ එහි රඟපෑ තරු ගැන හෝ කතා කිරීමට මාධ්‍ය පිරිසක් නොසිටියහ. මාධ්‍ය ආයතන ද නොවීය. එහෙත්, පනහේ දශකයේ මුල් භාගය වන විට මෙය වෙනස් විය. තරු ගැනත් බයිස්කෝප් ගැනත් කතා කරන තරුණ පත්තරකාරයෝ (එකල මාධ්‍යකරුවන් නොවීය) පිරිසක් පනහේ දශකයේ මැද භාගයේදී බිහි වූහ. එකල තිබූ බයිස්කෝප් ගැනත් ඒවායේ රඟපෑ තිර තරු ගැනත් කතා කිරීමට, යමක් සටහන් කිරීමට මෙම මාධ්‍යයටම කැප වූ පුවත්පතක් හෝ සඟරාවක් හෝ නොතිබිණි. ඔවුහු කෙසේ හෝ බයිස්කෝප් හා තරු ගැන කතා කිරීම සඳහා මං පෙත් සොයා ගත්හ’. මේ සටහන එන්නේ ආතර් යූ. අමරසේන විසින් රචිත ‘60 වසරක සිංහල සිනමා ප්‍රකාශන’ කෘතියේය.

එම කෘතියේ සඳහන් වන අන්දමට එකල සිනමා තරු බයිස්කෝප් හා සිනමා ලේඛන කලාවට ඇල්මක් දැක් වූ සමකාලීන තරුණයන් දෙදෙනකු වූ ඩී. වී. සෙනෙවිරත්න හා රොබට් ජයවර්ධන ගැන තොරතුරු දැක්වේ. මෙයින් ජ්‍යෙෂ්ඨයා වූ සෙනෙවිරත්න සිනමා ලේඛන කලාවට පසුව එකතු වූ සිනමා ලේඛකයන්ගේ ගෞරවාදරයට පත් විය. ඔහු ගැන වෙනමම ලිපියක් කළ යුතුය. අනික් සිනමා ලේඛකයා වූ රොබට් ජයවර්ධන හා ජිනදාස නියතපාල ගැන තොරතුරු මීට පෙර සරසවියට ලියූ ‘මතක මං තලාව‘ විශේෂාංගයෙන් මම කරුණු හෙළි කළෙමි.

අද මා ඔබේ අවධානය යොමු කරන්නේ 1953 වසරේ සඟරාවක හැඩරුව ඇති සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පළ වූ සඟරාවක් ගැන කරුණු කීමටය. එය ජිනදාස නියතපාල සංස්කරණය කළ චාල්ස් පෙරේරා ප්‍රකාශයට පත් කළ ‘තරුව‘ සඟරාව තරම් උසස් තත්ත්වයෙන් මුද්‍රණය කළ සඟරාවක් නොවීය. එහෙත් එය සිංහල ඉංග්‍රීසි දෙබසින්ම සංස්කරණය කළ ප්‍රකාශයට පත් කළ මුල්ම සඟරාව ලෙස ඉතිහාස ගත වනු නොඅනුමානය. මේ සඟරාව ‘තරු කැළුම්’ හා  ‘Stra-Pic’  නමින් 1953 ජනවාරි මුල සිට පළ වී තිබේ. ‘තරු කැළුම්’ සිංහල අංශය ධර්ම ශ්‍රී කල්දේරා සංස්කරණය කළ අතර ඉංග්‍රීසි අංශය  Star-Pic විසින් සම සංස්කාරක කර ඇත. සඟරාවේ මිල ශත 25 කි. එහි ප්‍රධාන ශීර්ෂ පාඨය වූ Star-Pic  යන්නට උඩින් Victor Jeames 20,000 Copies  යයි සඳහන් වී තිබිණි.

හොලිවුඩ්හි සුරූපිය ලානා ටනර්ගේ විවිධ ඉරියව් පිළිබිඹු වන ඡායාරූප 10 ක් පළකොට ‘ඇගේ සිඟිති මුව කමලින් ඔබේ අතට රු: 15,000 ක් දිනාගන්න.’

Winning Rs. 15,000 Would also make a lovely Picture ‘ඇම්. ජී. ඇම්. චිත්‍රපට නිෂ්පාදකයින් විසින් සම්පාදිත මේ ලානා ටනර් සුරූපිනියගේ සිත්කලු ඡායාරූප දහයෙහි A,B.C.D.E.F.H.K.L.T  යන සංඥා අක්ෂර සඳහන් වී ඇත. සිනාවකින් ශෝභාමත් වූ ඇගේ සුන්දර මුහුණ දෙස සුපරික්ෂාකාරීව බලා ඒ චිත්‍ර දහය අතුරින් ඔබට ලක්ෂණ යයි හැඟෙන, ඔබ කැමති චිත්‍ර හයක් පමණක් තෝරා මෙහි පල වී තිබෙන කූපනයෙහි ඔබේ පිළිතුරු සඳහන් කර අප වෙත ඉදිරිපත් කරන්න. ලන්ඩන් හි සිටින අප විනිශ්චය මණ්ඩලයේ විසඳුම් අනුව ඉස්තරම් යයි හැඟෙන පිළිතුරු ඔබ එවන ඇතුල්වීමේ පතෙහි වේ නම් එක්විටම ඔබට ජය අත්වේ. ඔව් ඔබට රු: 15,000 ක් හිමිවේ.

 ‘Lana Turner ‘Stra of the bad and the Beautiful’ look lovely in these ten M. G. M. picture, study them closely, then choose the six which please you most. your assesment may he be worth Rs. 15,000 - and a cheque for that amount would make a lovely picture too!

ලනා ටර්නර්ගේ ජීව දත්ත ද පාඨකයාගේ ප්‍රයෝජනය සඳහා දක්වා තිබුණි.

Lana Turner - Born Wallace ldaho 2-8-20 Blonde hair, blue eyes, 110 lbs, 5’ 3. School Hollywood High Divorteed Artie shaw 1941, steve crane 1944. Filed for Bob Topping 1952, Has one child named Cherlyi Christina. First Film 1937 They Wont forget 1952 The Merry Widow 1953. The Bad and the Beautiful. Studio M. G. M.’

සිනමා සඟරාවක මෙවැනි තරඟයක් ආරම්භ කළ මුල් අවස්ථාව මෙය විය. එය බටහිර සිනමා සඟරාවක අනුකරණයක් බව විශ්වාස කළ හැකිය. Star -Pic ඉංග්‍රීසි සඟරවේ ‘සිනමා තොරතුරු ‘කලා රස’ විශේෂාංගය පළ වී තිබුණි.

* මසකින් පමණ බැලිය හැකි සිංහල චිත්‍රපට

* කිෂෝර් සමඟ මධුබාලා වර්ණ චිත්‍රපටයක

* නසීර් වෙනුවට ඩිලිප්

* එදා රෑ

කැලෑහඳ ගැන ප්‍රධාන පුවත මෙසේය.

මීපුර බී. ඒ. ඩබ්ලිවු. නිෂ්පාදකයන්ගේ මෙවර සිංහල චිත්‍රපටය ඩබ්ලියු. ඒ. සිල්වා මහතුන්ගේ ශ්‍රේෂ්ඨතම නවකතාවක් වූ ‘කැලෑ හඳ’ බව ප්‍රකටය. දෙමසකට පෙර ඉන්දියාව බලා පිටත් වූ මිනර්වා නළු නිළියෝ කැලෑ හඳ කතා වස්තුවේ අඩක් පමණ එහිදී චිත්‍රපටයට නඟා නිම කොට ඉතිරි එළිමහන් දර්ශන සියල්ලක් චිත්‍රපට ගත කරනු සඳහා නොබෝ දා ලංකාවට පෙරළා පැමිණියහ. කැලෑහඳ කතාන්තරයේ සඳහන් අරණායක ග්‍රාමය, සංගිලි පාලම, නිකිනියානේ කඳු වැටි දර්ශන ද චිත්‍රපටයට නඟා අවසානය.

මේ ‘එදා රෑ’ චිත්‍රපටය ගැන ‘කල්’ (මෙය ලියා ඇත්තේ සංස්කාරක ධර්ම ශ්‍රී කල්දේරා විසින්මය) ලියූ විචාරයෙන් කොටසකි මේ.

අගනුවර ඇල්පින්ස්ටන් සිනමාහලේදී මා ‘එදා රෑ’ සිංහල චිත්‍රපටය දැක ගත්තේය. එහි ආරම්භයේ පටන් ඇති වූ කාර්මික දොස් නිසා කියන දෙයක් හොඳ හැටි තේරුම් ගැනීම අපහසු කරුණක් වූවා පමණක් නොව යම් යම් චරිත නිරූපණය සඳහා තෝරා ගෙන සිටි නළු නිළියන් කිසිම කමකට නැති. එක් අයක් හැම කටයුත්තක්ම කිරීමට ගොස් තිබුණෙන් චිත්‍රපටය සාර්ථක නොවීම පුදුමයට කරුණක් නොවේ. ‘එදා-රෑ’ කර්තෘ, අධ්‍යක්ෂ හා ප්‍රධාන නළුවත් ශාන්ති කුමාර්ය. සුමිහිරි ගී කිහිපයක් ඇතුළත් වුව ද සංගීතය පසුබිම් ගායනය ද සාර්ථක තත්ත්වයක නැත.’

මෙහි එන ‘කලා ඇසට’ සිනමා තරු තොරතුරු, විවේචන පත පොත, කෙටි කතා, කවි ඈ කලාත්මක දෑ හමුවේ යයි එම පිටුවේ ‘සඳහන්ව තිබුණි. මෙහි ප්‍රශ්න හා පිළිතුරු තීරයක් ද විය. ‘තරු කැළුම්’ හා ඉබචප - ර්‍ථඪජ සඟරාවල ශීර්ෂ පාඨ ඇඳ තිබුණේ ගුණරත්න රත්නායක විසිනි. කොළඹ 11, කුමාර වීදියේ රාජේශ්වරී මුද්‍රණාලයේ මුද්‍රිත මේ සඟරාව තොටළඟ හැරිසන් ටේලස් සහ සමාගමේ ප්‍රකාශනයකි. මේ සමාගම ධර්ම ශ්‍රී කල්දේරාගේ පියාට අයත් එකක් බව මා අසා තිබේ.

‘තරු කැළුම්’ සඟරාවේ හින්දි නළු නිළියන්ගේ රස කතා ද පළව තිබුණි. මේ නිම්මි ගැන පුවතකි.

ප්‍රථම වරට නිම්මිගෙන් හාද්දක් ගැනීමට තරම් සමත් වූ නළුවා කවුද? ‘ආමර්’ චිත්‍රපටයේ චරිත නිරූපණයෙහි යෙදී සිටියදී නිම්මිගෙන් ප්‍රථමවරට හාද්දක් ගත් අපූරූ නළුවා ගිරවෙකි. කථා ශරීරයට අවැසි ගිරවාත් නිම්මිත් ඇතුළත් එම ජවනිකා ගැනීමට එහි නිෂ්පාදක අධ්‍යක්ෂ මෙහෙබුබ් තරමක් වෙහෙසුණේය. එහි ප්‍රධාන නළුවා ඩිලිප් කුමාර්ය. ‘ආමර්’ චිත්‍රපට නඟනවා බැලීමට නාර්ගීස් ද දිනක් එහි ගියාය.

‘තරු කැළුම් අගය කරමින් ලියු කවි පන්ති ද මෙහි පළ වී තිබුණි. ඇහැලියගොඩ කවීශ්වර ලියූ එක් කවකි මේ.

සොම්නස - සතුට වැඩි වැඩියෙන් ලබා දිදී

‘සිනමා’ දෙව්ලොවට ඔබ කැඳවනා විදී

කොතරම් වැඩද? රස මිණි කැට බෙදා දිදී

ඔබ සුර පුතෙකු කරවයි! මෙය සිතා රැඳී

ශ්‍රී ලංකාවේ මුලින්ම සිංහල හා ඉංග්‍රීසි දෙබසින් සංස්කරණය කළ සඟරාව ලෙස ඉතිහාසයට එක් වන්නේ ඉබපච-ර්‍ථඪජ හා ‘තරු කැළුම්’ බව මගේ අදහසය. මෙයට කලින් එවැනි සඟරාවක් ඇත්නම් කරුණාකර අප දැනුම්වත් කරන්න. එයට ඉඩ ‘සරසවිය’ පත්‍රයෙන් ඉඩ තිබේ. සිනමාවට අසීමිත ලෙස ආදරය කරන මා මෙන්ම ඔබේ ද මේ දත්ත ඉතා වැදගත්ය. එය නිවැරැදි සිනමා සාහිත්‍යයක් ගොඩ නැඟීමට ඉවහල් වෙනු නොඅනුමානය. අප කවුරුත් සියල්ල දත් අය නොවේ. ‘පරිපූර්ණ මිනිසුන් ලොවේ නැත’ නම් බටහිර කියමන මට මතක් වේ.

‘තරු කැළුම්’ සිනමා සඟරා අතිරේකය සංස්කරණය කළ ධර්ම ශ්‍රී කල්දේරා ‘චිත්‍රපටි’ නම් අර්ධ මාසික පත්‍රයක් නිකුත් කරන බව පූර්ව නිවේදනයක් ‘තරු කැළුම්’ සඟරාවෙත් පළ කර තිබුණි. ඒ චිත්‍රපටි පුවත්පත සඳහා අත්දැකීමක, පූර්වාදර්ශයක් ‘තරු කැළුම්’ තුළින් ලබන්නට ඇති. මේ අනුව ‘චිත්‍රපටි’ අර්ධ මාසික ප්‍රථම පත්‍රය 1953 ජුලි මස 01 වෙනිදා නිකුත්ව ඇත. ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියකු, නාට්‍ය රචකයකු, චිත්‍රපට කතා රචකයකු, චිත්‍රපට නළුවකු, චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරයකු වූ ධර්ම ශ්‍රී කල්දේරා සිනමාව පැත්තෙන් මහා චරිතයකි. ඔහු ගැන අපි පසුව සලකා බලමු.