වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මල් පිබිදෙන එක වසන්ත සමයක...

මල් පිබිදෙන එක වසන්ත සමයක...

පුබුදු-මාෂි එකම කැදැල්ලකට පිවිසෙති

මටත් හොඳට උයන්න පුළුවන්. ඒ වගේ ම අයියාටත් හොඳට උයන්න පුළුවන්
අප දෙදෙනාම සිටියේ එකම නිවාස සංකීර්ණයේ

පුබුදු චතුරංග. අපට ඉන්න දක්ෂතම තරුණ නළුවෙකි. ඒ විතරක් නොවෙයි හේ පිටපත් රචකයෙකි. ඔහු සිය රංගන ජීවිතය පසෙකින් තබා මේ දවස්වල සූදානම් වන්නේ අලුත් ම භුමිකාවකට මුල පිරීමට ය. ඒ මෙපමණ කල් ජීවන රඟමඬලේ රඟපෑ පෙම්වතාගේ චරිතයට සමුදී සැමියාගේ චරිතයට පිවිසීමට ය. ඒ වෙනස කිරීමට ඔහුට හවුල්වන යුවතිය මාෂි සිරිවර්ධනයි. පුබුදුගෙත්, මාෂිගෙත් ජීවිතවල ඒ වෙනස සිදුවන සොඳුරු දිනය උදා වන්නේ හරියටම අද (15) වැනිදා ය. විවාහ දිවියට පත්වන ඒ සොඳුරු දිනය ගැන දැන ගැනීමට හමුවුනු මොහොතේ, ඒ දිනය පිළිබඳත්, ඔවුන්ගේ ජීවිත පිළිබඳත් කිසිවකුටත් නොකිව්ව කතා බොහොමයක් අප සමඟ පවසන්නටද ඔවුහු අමතක නොකළහ. මේ ඒ කතාබහේ පෙළගැස්වීමත්, සරසවිය පුවත්පතේ මුල් පිටුවත් අප ඉදිරිපත් කරන්නේ පුබුදු - මාෂි යුවළගේ විවාහ දිවියට දෙන අපූරු තෑග්ගක් වශයෙනි.

උදාවන අද දවස ගැන මොනවගේ හැඟීමක්ද තිබෙන්නේ?

පුබුදු - ජීවිතේ තවත් පියවරක් ඉදිරියට තබන බවකුයි හැඟෙන්නේ. සිනමාවට පිවිසීමට ගත්ත තීරණය වගේ ම විවාහ දිවියට පත්වීටත් ගත්ත තීරණය මගේ ජීවිතයේ විශාල පෙරළියක් ඇති කරයි කියලා මා විශ්වාස කරනවා.

මාෂි - අනෙක් රසිකයෝ වගේ පුබදු අයියාට මා කැමැත්තක් දක්වන්නේ ඔහු රඟපාන කාලයේ පටන්. ඔහුගේ නිර්මාණ රැසක්ම මා නරඹලා තිබෙනවා. ඔහුව මා මුලින් ම දැක්කේ ‘රන් සමනලයෝ’ ටෙලි නාට්‍යයෙන්. එදා නම් කවදා හරි ඔහු මගේ සැමියා වේවි කියලා සිතුණේ නැහැ. කොහොම වුණත් පසු කාලයේදි අපගේ හමුවීම අප ව තව තවත් ළං කළා. ඒ සොඳුරු මතක අතරට ආදරයෙන් පිරුණු අද දිනයත් එකතු වෙවි.

ඔබ දෙදෙනා ව දුටු ඒ සොඳුරු දවස මතකද?

පුබුදු -අප දෙදෙනාම සිටියේ එකම නිවාස සංකීර්ණයේ. වසර ගණනක් ගතවුණත් අප දෙදෙනා මුණ ගැසී තිබුණේ නැහැ. අහම්බයෙන් දවසක් මාව රැගෙන යන්නට යහළුවකු පැමිණෙනතුරු මා වැව අසලට වී බලාගෙන සිටියා. එවිටයි මට එතැන පසුකර ගෙන යන සොඳුරු යුවතියව දකින්නට ලැබෙන්නේ. ඈ සිටියේ අම්මත් එක්ක. එක්වරම ඈ දුටුමනතින් ම මට කියැවුණේ මේ තරම්ම ලස්සන ගැහැනු ළමයෙක් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ තරමට ම විශේෂ වූ රූපයකුයි ඈට තිබුණේ. එක්වරම මගේ සිතට පිවිසුණේ මේ වගේ ළමයකුව චිත්‍රපටයකට රඟපාන්න ගන්න පුළුවන් නේද? යන්නයි. එහෙම අදහසින් යුතුවයි මා ඇගේ අම්මාගේ දුරකථන අංකය ඉල්ලා ගන්නේ. එවේලේ මා ඒ අංකය සේව් කර ගත්තේ මාෂි නංගි ලේක්ක්‍රසන්ට් යනුවෙන්.

මාෂි - ඒත් කිසිම දවසක පුබුදු අයියා මට ඒ අංකයට කතා කළේ නැහැ. ඒත් දවසක් අපේ පාසලේ අවසානයේ තිබෙන බැජ් පාටි එකට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට ආරාධනා කළේ පුබුදු අයියාටයි. ඒ ආරාධනා පත්‍රය දෙන්නට ගියේත් මමයි, යහළුවකුයි. අවසානයේ බැච් ක්වින් ලෙස මට කිරුළ පැලඳුවේත් ඔහුයි. හැමෝම ඔහුත් එක්ක සේයාරූ ගත්ත විදිය මට මතකයි. ඒත් මට තිබුණේ ඔහු මට කිරුළ පලඳන විට ගත්ත පින්තූරය පමණමයි.

ඒ කටයුතුවලින් පසුවද ඔබ දෙදෙනාගේ හිතවත්කම දුරදිග ගියේ?

පුබුදු - ඒ කටයුතුවලින් පසුව අපේ පවුල් දෙක අතර හිතවත්කමක් ඇතිවුණා. ඒ හරහායි ඈ ගැන බොහෝ දේවල් දැන ගැනීමට ලැබුණේ. මුලින් ම මා ඈට ආකර්ෂණය වුණේ ඇගේ ගතිගුණවලටයි. ඈ ඇගේ පවුලේ අයට දක්වන සෙනෙහස, ආදරයට මගේ සිතේ ඇතිවුණේ පුදුම කැමැත්තක්. මා සිතන්නේ මනුෂ්‍යයකු තමන්ට, තමන්ගේ පවුලට, අසල්වැසියන්ට, ඥාති - හිතමිත්‍රාදින්ට ආදී සියල්ලන්ට ම ආදරය කරන්න ඉගෙන ගන්න ඕනෑ. සමහරු ලෝකයේ සියල්ලන්ට ම ආදරය කරන බව පැවසුවත් ඒක බොරු කතාවක්. එසේ වීමට නම් මුලින් ම ඔබ කළ යුත්තේ ඔබගේ පවුලේ අයට, නිවෙසේ ඇති කරන සුරතලාට ආදරය කිරීමට ඉගෙන ගැනීමයි. ඊට පසුවයි ඕනෑ ම කෙනෙක් අනෙක් මිනිස් ප්‍රජාවට ආදරය කරන්න ඉගෙන ගන්නේ. ඒ විදියට ම පවුලේ අයට මාෂිගේ හදවතේ පිරී ඉතිර ගිය ආදරය මා දුටුවා. ඇගේ මහ සාගරයක් තරම් ආදරයෙන් දිය දෝතක් මට අතට ගන්න පුළුවන් කියලා සිතුණා. ඒ වගේ ම මා වඩාත් කැමැත්තක් දක්වන ඇගේ තවත් ගතිතුණයක් නම් ජීවිතයේ වගේ ම විවිධ ප්‍රශ්න සම්බන්ධ අවස්ථාවලදි කොන්ද කෙළින් තියාගෙන ඉන්න තරුණියක් වීමයි. ඒ වගේ ම අයුක්තිය, අසාධාරණය දුටුවිට කෙළින් ම කතා කරන කෙනෙක් වීමයි. කවුරු, කුමන තරාතිරමක කෙනෙකු අයුක්තියක්, අසාධාරණයක් කළත් ඒ අයට ඒ ගැන කෙළින් ම කියන්න ඈ මැළි වන්නේ නැහැ. එමෙන් ම ජීවිතයේදි එදිනෙදා සිදුවන සෑම දෙයක් ම මාත් සමඟ කියවනවා පමණක් නොවෙයි ඇගේ තිබෙන සත්‍යවාදි බවටත් මම බොහොම කැමැතියි. මෙවැනි ගතිගුණ රැසක් මාෂිට තිබෙන නිසා ඇගේ ඒ ගතිගුණවලට මා බොහොම කැමැතියි.

මාෂි - පුබුදු අයියාගේ මිත්‍රදාන සංගමයට අපේ පවුලේ අයත් සහභාගි වුණා. ඒ හරහා විවිධ සමාජ සේවා කටයුතු කළා. අපේ පවුලේ අයත් එවැනි කටයුතුවලට බොහොම කැමැත්තෙනුයි සහභාගි වුණේ. මොකද අක්කා, නංගි හා මල්ලි, අම්මා, මමත් ඒ වනවිටත් බෞද්ධ ආගමික කටයුතුවල නිරතවයි සිටියේ. අපි සියලුදෙනා ම දහම් පාසල් ගියා. ඒ කලායේ සෑම පෝයකට ම සිල් ගත්තා. අදටත් ලැබුණු හැමවිටකදි ම පෝයට සිල් ගන්න මා අමතක කරන්නේ නැහැ. පුබුදු අයියා වුණත් බොහොම ආගමට දහමට ළැදි කෙනෙක්. තුන් සූත්‍රය ම ඔහුට කටපාඩමින් කියන්න පුළුවන්. ඒ දේවල්වලට ළැදි වගේ ම ඔහුගේ ජීවිතයෙත් ඒ ගුණාංගවලින් සරිකර ගත්ත කෙනෙක්. ඒ වගේමයි ඔහු මගේ පවුලේ අයට බොහොම ආදරෙයි.

පුබුදුගේ ආදරය මාෂිට පවසන්නේ එවැනි සත්කාර්යයක් අතරතුරදී නේද?

පුබුදු - එක් දවසක් කළුතර බෝධිය ළඟ බෝධි පූජාවක් කළා. ඒ කටයුතු අවසන් වූ පසුවයි මගේ සිතේ තිබෙන අදහස මා මාෂිට පැවසුවේ. එවැනි ස්ථානයකදි ආදරය ප්‍රකාශ කිරීමෙන් මට හැඟුණේ මගේ සිතේ තිබෙන ආදරයේ පිරිසිදු බව ඔප්පු වේවි ය යන්නයි. ඒ නිසා එහි තිබෙන පවිත්‍රත්වයයි මා එහිදි ප්‍රකාශ කළේ.

මාෂි - එදා නත්තල් දවසක්. එහි පැවත්වුණු බෝධි පූජා කටයුතුවලින් පස්සෙයි අයියා මට ආදරෙයි කියලා කිව්වේ. මාව විවාහ කරගෙන එතැනට ම එක්කගෙන එනවා කියලත් ඔහු මට පැවසුවා. ඒත් අයියා කළ ඒ ප්‍රකාශය ගැන මට අදහගන්නට නොහැකි වුණා. මම ගල් ගැහිලා වගේ බලාගෙන සිටියා. මොකද ඒ වනවිට බොහෝ පිරිමි ළමයි මට ආදරය ප්‍රකාශ කරලා තිබුණත් ඒ කිසිම අදහසකට මා එකඟ වුණේ නැහැ. ඒත් කෙළින් ම ඒ වගේ කතාවක් කිව්ව කෙනා වන්නේ පුබුදු අයියයි. පුබුදු අයියයි මගේ පළමු ආදරය වන්නේ. මගේ ආදරයටත් පළමුව ඔහු මගේ නිවෙසේ අයගේ ආදරයයි දිනා ගත්තේ. අදටත් නංගි හා මල්ලිත් එක්ක එයා බොහොම එකතුයි. එවැනි අයකුයි මගේ ජීවන සහකුරුවා විදියට මා සෙව්වේ. ඒ සහකරුවා මට මුණ ගැසුණා.

දෙදෙනාත් සමඟ ම රංගන කටයුතුවල නිරත වීමටද සිතාගෙන සිටින්නේ?

පුබුදු - රඟපෑමට වඩා ව්‍යාපාර කළමනාකරණය හා ප්‍රවර්ධනය වැනි ඈ ඉගෙන ගත් අංශ හරහා ඉදිරියට යන්නටයි මාෂිගේ වැඩි කැමැත්තක් තිබෙන්නේ. නිර්මාණවලින් හොඳ නිර්මාණයකටත් දායක වීමට ඇගේ කැමැත්තක් තිබුණා. ඒත් ඒ අනුව ඈ මාත් සමඟ චිත්‍රපටයක රඟපෑවා. එහි කොටසක රූගත කිරීම් කරලා අවසානයි. ඉතිරි කොටසේ රූගත කිරීම් කරන්නේ අපේ විවාහයෙන් පස්සේ. ඒ චිත්‍රපටය ලබන වසරේදි පමණ සිනමා ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ලැබේවි. ඒ වගේ ම ඇගේ ඒ රඟපෑම නැරැඹුව සියලු දෙනා ම පැවසුවේ බොහොම විශිෂ්ට විදියට ඒ චරිතය රඟපාලා තිබෙන බවයි. එහි තිරරචනය මගේ. අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය මහත්තයාගේ.

මාෂි - මා රඟපෑමට සම්බන්ධ නොවුණත් වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වන්නේ කුඩා කාලයේ පටන්මයි. ඒ නිසා ඉදිරියේදි ඒ කටයුතුත්, හොඳ නිර්මාණ කිහිපයකට පමණක් දායක වෙමින් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කළ යුතුයි. අයියා ඔහුගේ නිර්මාණ කටයුතුවල දිගටම නිරත වේවි.

ඔබ දෙපළගේ විවාහය සිදුවන ආකාරයත් සිහිපත් කරමු

පුබුදු - අපේ ඒ සුන්දර දවස සඳහා නෑදෑ හිතවතුන්, කලා ලෝකයේ සියල්ලන් ම එකතු වන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයටයි. අප දෙදෙනාටම උවමනා වුණේ බොහොම නිර්මාණශීලි විදියට, චාම් ආකාරයෙන් මංගල උත්සවය සංවිධානය කරන්නයි. ඒ අනුව එදින තීම් එක විදියට තෝරා ගත්තේ ‘සිනමා’ යන්නයි. එහිදි සෑම විවාහ උත්සවයක ම තිබිය යුතු චාරිත්‍ර - වාරිත්‍ර සියල්ලක් ම ඒ අයුරින් පැවැත්වන බව කිව යුතුයි.

මාෂි - මා කොතරම් වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණත්, කොයිතරම් මුදල් දුන්නත්, මනාලියක් වනතුරු මනාලියක් විදියට අඳීන්නේ නැහැ කියන මතයේයි සිටියේ. ඒ නිසා මනාලියක් වීම කියන මගේ සිහිනය අද දිනයේ සැබෑ වෙනවා. මා සැරැසෙන්නේ උඩරට මනාලියක් විදියටයි. මට අන්ඳවන්නේ සැලෝන් චන්දිමාල් ජයසිංහයි. මගේ ඇඳුම් නිර්මාණය චරිත් විජේසේකරයි. අපේ මංගල ඡායාරූප ගන්නේ ධනුෂ්ක සේනාධීරයි. අයියාගේ ඇඳුම මාල් ප්‍රනාන්දු සකසන අතර ම කොණ්ඩා සැකසුම ධනුෂ්ක චතුරංගයි. එදිනට මල් සැරසිලි චමත්කාර ෆ්ලෝරා වෙතින් මහේෂ් බඳුරලියයි. අපේ වෙඩින් කේක් එක නිර්මාණය කරන්නේ චෙප් මාටිනස්. ෆී ෂුට් එක සඳහා ඇඳුම් නිර්මාණය කළේ හිරාන්. එදිනට ඒ අවස්ථාව සරසන සංගීතය ඩොක්ටර් බෑන්ඩ් මඟිනුයි සිදුවන්නේ. මල්කුමරෙකුත්, කුමරියන් දෙදෙනෙකුත්, මගේ යෙහෙළියන් විදියට මගේ නංගි නිසලිත්, මගේ යෙහෙළියන් වන ශනුද්‍රි පියසාද්, මනීෂා, සඳනි පතිරණත් සහභාගි වනවා. ඒ වගේ ම අයියාගේ යහළුවන් විදියට සුරාජ් මාපා, ජනිත් වික්‍රමගේ, සජිත අනුත්තර, සූර්යායි සහභාගි වන්නේ.

විවේකය ගත කරන්න යන්න සිතාගෙන සිටින්නේ කොහේද?

පුබුදු - විවාහ උත්සවය තිබුණු දිනයට පසුවදා ම ළඟ ම රටවල් කිහිපයකින් එකකට යන්නයි අප දෙදෙනා සිතාගෙන ඉන්නේ. එහි විවේකයෙන් සතියක් පමණ ගත කළාට පස්සේ යළිත් මව්බිමට පැමිණීමට නියමිතයි.

මාෂි - ඊට පසුව අප දෙදෙනා නැකැතකට අනුව පුබුදු අයියාගේ ගාල්ලේ නිවෙසෙට යන්න සිතාගෙන ඉන්නවා. එහි අම්මා ඇතුළු පිරිසත් සමඟ ටික දිනක් කාලය ගත කළාට පස්සේ යළිත් සුපුරුදු විදියට කොළොම්පුරවරයට පිවිසීමටයි සිතාගෙන ඉන්නේ. එතැන් පටන් සුපුරුදු විදියට මගේ අධ්‍යාපන කටයුතුත්, අයියාගේ රඟපෑම් කටයුතුවල වැඩත් නිසා අප දෙදෙනා ම බොහෝ කාර්යබහුල වේවි.

කොළොම්පුරවරයට පැමිණි පසුව ඔබ දෙදෙනාට ම වෙන්වූ අලුත් කැදැල්ලක නවාතැන් ගැනීමටද සිතාගෙන ඉන්නේ?

පුබුදු - කාලයක් යනතුරුම අප දෙදෙනාගේ නිවෙසේවල කාලය ගත කරන්නයි අප අදහස් කරගෙන ඉන්නේ. දෙදෙනා ම වැඩකටයුතුවල සිටින නිසාත්, නිවෙසේ දෙක ආසන්නයේ ම තිබෙන නිසා අප දෙදෙනාට කොහේ සිටියත් එකයි.

මාෂි - ටික දවසක් අපේ නිවෙසෙත්, ටික දවසක් පුබුදු අයියලාගේ නිවෙසෙත් ඉන්නයි අප දෙදෙනා අදහස් කරගෙන ඉන්නේ. අපේ තාත්තා ලංකාවට ඇවිත් ඉන්නේ ටික දවසක් නිසා ඔහුත් සමඟ කාලය ගත කළ යුතුයි. ඒ නිසා අපි මුලින් ම අපේ නිවෙසෙයි නවාතැන් ගන්නේ. ඒ කොහොම වුණත් බිරියක් විදියට පුබුදු අයියාට මගෙන් ඉටුවිය යුතුකම් කරමින් සාර්ථකව ජීවිතය ගෙනයෑමටයි මා සිතාගෙන සිටින්නේ.

මාෂි අධ්‍යාපන කටයුතුවලට වගේ ම දක්ෂ ගෘහිණියක් ද?

මාෂි - මටත් හොඳට උයන්න පුළුවන්. ඒ වගේ ම අයියාටත් හොඳට උයන්න පුළුවන්. ඔහු අපේ ගෙදර ආවට පස්සේ අපි දෙන්නාම එකතුවෙලයි කෑම හදන්නේ. මටත් වඩා ඔහු කැමැති වෙනස් විදියේ කෑම රසට හදන්නයි. ඒ කෑමවල පෙනුම ලස්සනට තිබීමත් විශේෂයි. විවිධ වර්ගයේ දේවල් දමලා පුබුදු අයියා හදන කෑම බොහොම රසයි. එක් එක් විදියට වර්ණ ගන්වලා හදන කෑම හදලා අවසන් වුණාට පස්සේ ඔහු මට පවසන්නේ “බබුව් බබුව් මේ කෑම එක පින්තූරයක් ගන්න. මම ලස්සනට කෑම හැදුවා” කියලයි. ඒත් කෑම හදලා අවසන් වුණාට පස්සේ අස්පස් කරන්න වෙන්නේ නම් මටයි. කොහොම වුණත් ඔහුට අපූරු අත්ගුණයක් නම් තියෙනවා. ඒ තරමට ම ඔහු හදන කෑම රසයි. මම එවිට පවසන්නේ “අපරාදේ ඔයාට තිබුණේ චෙප් කෙනෙක් වෙන්න” යනුවෙන්. මේ විදියට ගෙවෙන අපේ සෙනෙහස අපේ කැදැල්ල සොඳුරු කරාවි.