වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




හදිසියේ බැන්ඳට උත්සවය මැයි මාසයේ

හදිසියේ බැන්ඳට උත්සවය මැයි මාසයේ

- බුවිනි චාපා දියලගොඩ

දියලගොඩ පරම්පරාවේ දෙන්නෙක් රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. එක් කෙනෙක් වත්සලා දියලගොඩ. අනෙක් කෙනා බුවිනි චාපා දියලගොඩ. වත්සලා අක්කා, බුවිනි නංගා. වත්සලා හරි හරියට රංගනයේ යෙදුණා. බුවිනිත් අක්කගේ අඩි පාරෙම ගියා. ජනප්‍රියත්වය ඉහළම තලයක තිබියදී වත්සලා විවාහ වුණා. ඇය දැන් මවක්. අක්කට හොඳ නම් මට නරක මක්කටදැයි කියලා වත්සලාගෙම පස්සේ ගිය බුවිනිත් විවාහ දිවියට ඇතුළත් වුණා. ඇය ද තම ජීවිතයේ යුග දිවි පිවිසුම සිදු කළේ ජනප්‍රියත්වය විඳිමින් සිටින මොහොතකයි. බුවනිගේ ජීවිතයේ සනිටුහන් වූ නවමු පරිච්ඡේදය ගැනයි ඇයත් එක්ක මෙසේ කතාබහ කරන්නේ.

පළමුව ඔබට සුභ මංගලම් කියා පවසනවා?

තෑනක්ස් ඔයාලට.

හොරෙන්ම බැන්දා කියලා යාළුවො චෝදනා කරන්නේ නැද්ද?

හොරෙන්ම නෙවෙයි අනේ හදිසියේම බැන්දේ. ලොකුවට උත්සවයක් මැයි මාසයේ විතර ගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා.

ඔබේ ස්වාමි පුරුෂයාගේ නම එහෙම කියමු බලන්න?

කසුන් දේවින්ද.

ඔහු මොනවා කරන කෙනෙක්ද?

කසුන්ටම කියලා ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරිකයකු හැටියට ඔහු ස්ථාවරයි. කලාවට නම් කිසිම සම්බන්ධයක් නැහැ.

ඔහු ඔබගේ රඟපෑම් දැකලා තියෙනවාද?

ආදරබර රඟපෑම් ද (බුවිනි සිනාසෙයි) ඒවා කසුන් ගාව විතරයි.

මං ඇහැව්වේ කැමරාව ඉදිරියේ කරන රඟපෑම් ගැන?

ඔව්. නමුත් එයාට ඒවා එච්චර වැදගත් නැහැ.

කසුන්ව කොහොමද හමු වුණේ. මා දන්නා පරිදි ඔහු කොළඹ කෙනෙක් නෙවෙයි?

කසුන් මැදිරිගිරියේ. නමුත් පදිංචිය අපේ ගෙවල් ගාව. ඔහු මාව බොහෝ කල් සිට ෆලෝ කරලා තියෙනවා.

ඔබ දන්නේවත් නැහැ?

නැහැ. මගේ නිළිකමට නෙවෙයි එයාට මං ගැන ආදරයක් හිතිලා තියෙනවා. ඒත් මම දැනුවත් වෙලා හිටියේ නැහැ. කාලයකට පසුව අපි දෙන්නා මිතුරෝ වුණා. මාසයක් දෙකක් එහෙම ආශ්‍රය කළා.

කවුද ආදරය ප්‍රකාශ කළේ?

කසුන් තමයි.

එදා ඔබ මොනවද කිව්වේ?

මං ඔහුට කැමැති වුණා. ටික කාලයක් අපි දෙදෙනාගේ ආදරය ගලා ගියා.

මව්පියන් දන්නේ නැතුව?

ඔව්. පසුව දෙදෙනාම තීරණය කළා මව්පියන්ට කියන්න. අපිට දෙපාර්ශවයෙන්ම ආශිර්වාද ලැබුණා.

ඇයි ඔබ කසුන්ට කැමැති වුණේ?

ඒකට කාරණා කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානම හේතුව ඔහුගෙන් මට ලැබෙන ආදරය. තරුණියක් විදිහට මට ඔහුගෙන් ආරක්ෂාවකුත් හිමි වෙනවා. ඉතින් මං ඇයි ඔහුට අකැමැති වන්නේ.

විවාහයෙන් පසුව ඔබේ වෘත්තීය ජීවිතයට මොනවා වේවිද?

හිතට එකඟව මට ඉස්සර වගේ රඟපාන්න බැරි වේවි. මං දැන් මූලිකත්වය දෙන්නේ මගේ පවුල් ජීවිතයට. ඉදිරියේදී ඉඩකඩ ඇති පරිදි රංගනයේ නියැළීමට බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ කසුන් බුවිනි රඟපානවට කැමැති නැහැ?

එයා නිතරම කියන්නේ මං ආදරේ කළේ බුවිනි කියන නිළියට නෙවෙයි, බුවිනි කියන අසල්වාසී සාමාන්‍ය කෙල්ලට කියලා. ඒ කතාවෙන් පැහැදිලියිනෙ ඔහු මං දිගටම රඟපානවාට කැමැත්තක් නැහැ කියලා.

බුවිනි ඔහුගේ ව්‍යාපාරවලට සම්බන්ධ වේවිද?

එහෙම වේවි. ඉදිරියේදී මාව වඩාත් දැකගන්නට ලැබෙන්නේ ව්‍යාපාරිකයකු හැටියටයි.