වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මසේන පතිරාජ සිනමා විමසුම - අවසාන කොටස

ධර්මසේන පතිරාජ සිනමා විමසුම - අවසාන කොටස

ස්වරූපයේ යථාරූපය

ඒ අනුව පතිරාජගේ සිනමා මතකය 'සක්කාරං' වෙතින් අවසන් නොවී 'ස්වරූප' මඟින් රඳවා තබා ගන්නට හැකි වීම ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ට සිනමාකරුවාට ඇලුම් කරන්නවුන්ගේ අමන්දානන්දයට හේතු වන බව 'ස්වරූප' පිළිබඳ ලියැවුණු පුවත්පත් ලිපි මඟින් තහවුරු වුණා.

2017 වසරේදී තිරයට පැමිණි 'ස්වරූප' යනු ෆ්‍රාන්ස් කෆ්කාගේ මෙටමෝෆෝර්සිස් කෙටි කතාව ඇසුරු කොට අද්‍යතන ලාංකික සමාජය හා ගළප්පමින් නිමැ වූ අපූර්ව චිත්‍රපටයක්.

ධනවාදය මඟින් මිනිසාට කෙතරම් විපරීත මෙන්ම පීඩාකාරී ජීවිතයක් උදා කොට දෙන්නේ ද යන්නත් ඒ හැම නූතන පවුල කවරාකාර අභාග්‍ය සම්පන්න ජීවිතයක් අත් පත් කොට ගන්නේ ද යන්නත් ආදරය, කරුණාව වැනි මානව වටිනාකම් එමඟින් සිඳී යන ආකාරයත් අභූත හා විකාරරූපී ආකාරයකින් ගෙන හැර පා 'ස්වරූප' පශ්චාත් යටත් විජිතවාදී ලාංකික පවුලක ඛේදය නිරූපණය කරනවා.

'ස්වරූප' චිත්‍රපටය ප්‍රේක්ෂකයා සමඟ සංවාදගත වන්නේ එහි ප්‍රධාන චරිතය රූපාන්තරණයට ලක්වීමත් සමඟයි. අද සමාජයේ අප බොහේ විට අත් විඳින්නේ කිසිදු මිනිස් ගනුදෙනුවකට අවකාශ සලසන්නේ නැතිව හැල්මේ දුවන අති ධාවනකාරී සමාජයකුයි.

අන්තර්ගතය, ආකෘතිය, ආඛ්‍යාන රටාව හා සිනමා භාෂාව හැසිරවීම යන කාරණා ගැන සලකා බැලීමේදී 'ස්වරූප' යනු පතිරාජගේ සිනමා දිවියේ කූටප්‍රාප්තිය වන්නාසේම සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ද වෙනවා. එය සැබවින්ම ධර්මසේන පතිරාජගේ දේශපාලන සිනමාව ද රූපාන්තරණයකට ලක් වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. මින් ප්‍රකට වන්නේ වසර තිහක සිනමා ගමන් මඟෙහි විවිධාකාර අරුත් මැවිමේ ශක්‍යතාව පෙන්නුම් කරන සමාජ විග්‍රහයෙහි අස්වැන්නයි.

ධර්මසේන පතිරාජගේ සිනමා භාවිතාව හා කලා දිවිය විමසීමේදී ඔහු නිර්මාණය කළ එහෙත් විවිධ හේතූන් නිසා ප්‍රදර්ශනය නොවූ චිත්‍රපට කෙරෙහි ද අවධානය යොමු කිරීම වටිනවා.

1977 වසරේදී එනම් 'එයා දැන් ලොකු ළමයෙක්' තිරගතවීමෙන් පසු පළමු වරට නිෂ්පාදනය සැලසුම් කළ ද නිමා කළ නොහැකි වු පසුව 80 දශකයේ මුල් භාගයේ දී යළි නිමා කළ 'ෂෙල්ටන් සහ කාන්ති' සරල ආඛ්‍යාන රීතියකින් කළ නිර්මාණයක්.

පතිරාජගේ අන් චිත්‍රපටවල මෙන් නොව 'ෂෙල්ටන් සහ කාන්ති' හි ගීත හතක් අඩංගු වන අතර එච්. ආර්. ජෝතිපාල හා එම්. එස්. ප්‍රනන්දු යන ජනප්‍රිය චිත්‍රපට ධාරාවේ ගී ගැයූ ගායක දෙපළකගේ ගීත අඩංගු වීම මඟින් වඩාත් පුළුල් ප්‍රේක්ෂක අවධානයක් දිනාගත හැකි ජනප්‍රිය තාලයේ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පතිරාජ උත්සුක වූයේ යැයි උපකල්පනය කළ හැකිය.

'සොල්දාදු උන්නැනහෙ' චිත්‍රපටයෙන් පසුව පතිරාජ රූගත කළ චිත්‍රපටය වන්නේ 'සිර කඳවුර'යි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කළ 'සිර කඳවුර' චිත්‍රපටයේ සැර පරුෂ ලොරි රියදුරකු, ඔහුගේ බිරිඳ හා ඔවුන්ගේ කුටුම්භය අතරට එන එළිමහන් සිර කඳවුරක රැඳවියකු වටා දිවෙන්නක්.

නිවස නම් වූ සිර කඳවුරේ සිර වූ ගැහැනියක හා එළිමහන් සිර කඳවුරේ වෙසෙන තරුණයෙකු අතර ඇතිවන අතිශය මානුෂීය සම්බන්ධතාව මුල් කොට එළිමහන් සිර කඳවුරක ජීවිතය ද විග්‍රහ කරන්නට පතිරාජ ගත් උත්සාහය මඟින් මිනිසුන් සිරගත කළ ද සිතුවිලි සිරගත කළ නොහැකිය යන ධර්මතාව ද පසක් වෙනවා.

නිෂ්පාදන කටයුතු අවසන් කොට තිබූ 'ෂෙල්ටන් සහ කාන්ති' මෙන්ම රූගත කිරීම් අවසන් කොට පසු නිෂ්පාදන කටයුතු සඳහා කල් යල් බලමින් සිටි 'සිර කඳවුර' යන චිත්‍රපට 1983 ම්ලේච්ඡ ජාතිවාදී සංහාරයේදී සිංහල ජාතිවාදීන් විසින් 'විජය' චිත්‍රාගාරයේ ගිනි තබා විනාශ කිරීමේදී අපට අහිමි වූවා.

අනතුරුව 1994 වසරේදී ධර්මසේන පතිරාජ තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒ ගීතා කුමාරසිංහ නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතය රඟපෑ 'වාසුළි' චිත්‍රපටයයි. සංචාරක කර්මාන්තයත්, ළදරු ජාවාරමත් එහි කෲර හා අමානුෂික පාර්ශවයත් පාදක කොට ගත් 'වාසුළි' චිත්‍රපටයේ එකදු රූප රාමුවකින්වත් පතීගේ අනන්‍යතාව දිස් නොවන බව විචාරකයන් පවසා තිබෙනවා. මා දන්නා පරිදි 'වාසුළි' ප්‍රදර්ශනය කොට ඇත්තේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පිහිටුවා තිබූ පස්වැනි ප්‍රදර්ශක මණ්ඩලයට චිත්‍රපට තෝරන කමිටුව ඉදිරියේ පමණයි.

මුළුමනින්ම නිෂ්පාදන කටයුතු අවසන් කළ 'වාසුළි' චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීමේ තීන්දුව ගන්නේ එහි ප්‍රධාන චරිතය රඟපෑ නිෂ්පාදිකාවයි. ඊට හේතුව 'වාසුළි' දුර්වල චිත්‍රපටයක් වීම බවට සැකයක් නැහැ.

'අඳුරෙන් එළියට', 'වෙරළ' හා තවත් වාර්තා චිත්‍රපට කිහිපයක් ද පතිරාජ අධ්‍යක්ෂණය කොට ඇත.

වේදිකා නාට්‍ය හා සිනමාව හැරුණු කොට ධර්මසේන පතිරාජ සාර්ථකව ජයගත් ක්ෂේත්‍රයක් වන්නේ රූපවාහිනී නාට්‍යයි. සිනමාවේ නිහඬව සිටි කාලය තුළ පතී ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කළේ පුංචි තිරයේ සීමාවන් අතික්‍රමණය කරමිනුයි. 'ගඟුලෙන් එතෙරට', 'මායා මන්දිර', 'ඇල්ල ගාව වලව්ව' වැනි පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍යවලින් ඇරැඹි ගමන 'කඩුල්ල', 'සුබ අනාගතයක්', 'නාඳුනන පුත්තු' හරහා නව ඉසව් සොයා ගියා. 'පුර සක්මන', 'දුර්ගාන්තය','කම්පිත විල්' ද ඒ ගමනේ ලද අස්වැන්නයි.

ලංකාවේ දකුණු පළාතෙන් බිහි වූ දේශීය ධනපති පංතියේ පුරාවෘතය මනාව චිත්‍රණය කළ 'කඩුල්ල' ටෙලි නාට්‍ය මාලාව නිර්මිත වූයේ සිනමාව ඇසුරු කිරීමෙන් පරිචයක් ලද සිනමාකරුවෙකුගේ පැසුණු සම්භාව්‍ය ආඛ්‍යාන රීතියකිනුයි. හූයක ඇමිණූ මුතු පටක් සේ ලාංකික සමාජ ඉතිහාසය විනිවිද යමින් මිනිසුන්ගේ සැබෑ සිතුම්,පැතුම් හා අභිලාෂයන් ඉතිහාසවාදී නොවී ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම 'කඩුල්ල' ටෙලි නාට්‍යයේ අපූර්වත්වයයි. මේ ඉදිරිපත් කිරීමේදී තිලක් ජයරත්නගේ වියමන පතිරාජට ඉමහත් රුකුලක් වූ බව නිසැකයි.

සීමිත ගීත ගණනාවක් රචනා කළ ද ගීත රචනයේලා පතිරාජගේ නිර්මාණශීලී බව මනාව පෙන්නුම් කරන නිර්මාණ ලෙස 'පාර දිගේ' චිත්‍රපටයට ඔහු ලියූ 'අහසේ මැවුණත් - ඉර වට සැදුණත්' ගීතය මෙන්ම 'හංස විලක්' චිත්‍රපටයට රචනා කළ 'හිමින් සැරේ පියා විදා' ගීතයත් පමණක් සඳහන් කිරීමම ප්‍රමාණවත්.

වාර්තා චිත්‍රපට නිර්මාපකයෙකු, සිනමා තිර නාටක රචකයකු හා අධ්‍යක්ෂවරයකු, විකාර රූපී නාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මතු නොව කෙටි කතාකරුවකු, පරිවර්තික නවකතා රචකයෙකු මෙන්ම විචාරකයෙකු ලෙස කලාවේ විවිධ භූමිකා රඟ දැක් වූ ධර්මසේන පතිරාජ අන් සියලු ෂානරයන් සිනමාකරුවෙකුගේ යෝධ සෙවණැල්ලෙන් වසා ගත් සිනමාවේ දැවැන්තයෙක්.

මගේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා තෝරා ගත් මාතෘකාව වුයේ 'ලාංකික සිනමාවේ දේශපාලන සිනමා භාවිතය'යි. එකී අධ්‍යයනය මා රැගෙන ගියේ ධර්මසේන පතිරාජගේ සිනමාව වෙතයි.

මුලික අධ්‍යයනයේදී පමණක් නොව ඒ අනුසාරයෙන් 'ලාංකික සිනමාවේ පතිරාජ ලකුණ' ග්‍රන්ථය රචනා කිරීමේදී ද පතී හමු වී සාකච්ඡා කිරීමට හෝ ඔහුගේ අත්දැකීම්වලින් පෝෂණය වන්නට අවකාශ නොලැබුණේ ඔහුගේ අවිවේකී බව නිසාමයි. පතිරාජ හමුවීමට කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පැය ගණන් රස්තියාදු වෙන්නට සිදු වුණා.

එක් අතකින් ඒ අවස්ථාවලදී පතී මඟ හැරී යාම යෙහෙකැයි මා කල්පනා කරන්නේ පතිරාජයන්ගෙන් ස්වායත්තව පතිරාජ දැකීමට ඉන් ඉඩ හසර විවර වූ හෙයිනුයි.

මුද්‍රිත කෘතියේ පිටපත් දෙකක් රැගෙන පතිරාජ හමුවන්නට රජයේ චිත්‍රපට අංශය වෙත මා ගියේ 'ලාංකික සිනමාවේ පතිරාජ ලකුණ' පර්යේෂණ ග්‍රන්ථය නිකුත් වී සති දෙක තුනකට පසුවයි.

'මම ඔයාගේ පොත කියෙව්වා. මගේ යාළුවෙක් බුක් ෂොප් එකක තියෙනවා දැකලා මට පිටපතක් ගෙනැවිත් දුන්නා. එකක් මා ළඟ තියෙනවානෙ. ඔය දෙකෙන් එකක් දීලා යන්න'

ඒ තමයි ධර්මසේන පතිරාජය.

බොහෝ කලකට පසු මා පතීට දුරකතනයෙන් ඇමතුවේ 'ස්වරූප' චිත්‍රපටය ගැන මගේ අදහස් පවසන අතරතුර දුක සැප විමසන්නටයි. ඒත් අසනීප තත්ත්වය ගැන කතා කරනවාට වඩා පතී උනන්දු වූයේ සිනමාව හා තමන්ගේ නිර්මාණශාවන් ගැන කතා කරන්නටයි.

අවසානයේ රෝහල් ගත වී සිටි පතී දැක බලා කතාබහ කරන්නට සති කිහිපයකට පෙර මහනුවර පෞද්ගලික රෝහලකට ගිය විට දී අපහසුවෙන් තරමක් වෙලා කතාබහ කරමින් සිටි පතිරාජ 'හොඳයි හෙන්රි, මට කතා කරන්නත් අමාරුනෙ. බලන්න ආවට ගොඩක් ස්තූතියි. දැන් ඔයා යන්න' කීවේ සුහද සිතින්මයි.

ඒ තමයි ධර්මසේන පතිරාජ.