වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




1943-2018 විප්ලවීය සිනමා චින්තනයක පෙර ගමන්කරු

1970 දශකයේදී නව විකල්ප සිනමාවක ආරම්භය සිදු වෙයි. එහි පුරෝගාමියා වන ධර්මසේන පතිරාජ නව සිනමාවට නව චින්තනයක් මතවාදී ආස්ථානයක් මෙන්ම විකල්ප සිනමා රීතියක් ද හඳුන්වා දුන්නේය. 1970 දශකය ඇරඹෙන්නේම 1971 තරුණයන්ගේ සන්නද්ධ නැඟිටීමත් සමඟය. 1960 දශකයේ අවසන් අදියරේ සිට රැකියා වියුක්තියත් එහි ප්‍රතිඵල ලෙස තරුණ පරම්පරාව තුළ මෝදු වූ අසහනයත් කෙමෙන් සමාජ අර්බුදයක් පමණට වර්ධනය වන්නට විය.

71 කැරැල්ල නව වාමවාදී චින්තනයක පිහිටා සිටි තරුණ පිරිසක් මේ සමාජ අර්බුදය කෙරෙහි තම ප්‍රතිචාරය මුදාහළ ආකාරයයි. මෙරට දේශපාලන චින්තන ව්‍යුහයේ පරිවර්තනයට එකඟ වූ හා නොවූ සියලු කණ්ඩායම් පිළිගත් එක් පොදු නිගමනයක් වූයේ ධනවාදී ආර්ථික ව්‍යුහයේ ප්‍රතිඵල ලෙසින් සමාජ සංස්කෘතික දේහය බරපතල කඩා වැටීමක් කරා යොමු වෙමින් තිබූ බවයි. බිහිවෙමින් පැවති තරුණ පරම්පරාව මුහුණ දුන් සමාජ ගැටලු හමුවේ තරුණ පරම්පරාවේ දේශපාලනමය ප්‍රතිචාර පමණටම කලා සංස්කෘතික ප්‍රතිචාර ද සම්ප්‍රදායන්ට හා පැරැණි මතවාදයන්ට එල්ල කළේ තියුණු අභියෝගයකි.

මේ නව පරම්පරාවේ සමාජ ජීවිතය තවදුරටත් පැරැණි සිනමාවෙන් කියැවිය හැකි ආකාරයේ සරල වූවක් නොවීය. ඔවුන්ගේ ජීවිතය, චේෂ්ටාවන් හා චර්යාවන් ප්‍රකාශනය සඳහා නව විෂය ප්‍රදේශ කරා පිවිසීම අනිවාර්ය විය. මේ ප්‍රකාශනය පැරැණි සිනමා රීතියෙන් හසුකර ගැනීමට තරම් සරල නොවූ හෙයින් නව සිනමා ප්‍රකාශනයක අවශ්‍යතාව ද පැන නැඟිණි. පතිරාජ සමනය කරන්නේ මේ රික්තයයි.

1960 දශකයේ අවසන් අදියරේදී ඔහු සිනමාවට එක්වන විට ද වාමවාදී දේශපාලන ආස්ථානයකින් පන්නරය ලබා සිටියේය. ඔහු කැරැල්ලට මූලික වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය ධර්ම හා සම්බන්ධව නොසිටිය ද වාමවාදී දේශපාලනයේ වඩා තියුණු වූත් නව්‍ය වූත් මතවාදයකින් පෝෂණයව කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූවෙකි.

මෙරට දේශපාලන සංස්කෘතික ව්‍යුහයේ අර්බුදයත් ඒ ප්‍රකාශනයේදී පැරැණි සිනමාවේ සීමාවනුත් මනාව අවබෝධ කරගෙන සිටි පතිරාජ මේ අරගලයටම මුහුණ දුන් බටහිර හා ආසියානු නව සිනමාකරුවන් ද නව ප්‍රවණතාවන් ද පිළිබඳ දැනුවත් භාවයකින් ද යුක්ත විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිනමා අධ්‍යක්ෂණයට එක්වන සිව්වැන්නා වන පතිරාජ පේරාදෙණිය ගුරු කුලයේ සාහිත්‍ය, නාට්‍ය හා සිනමා ප්‍රකාශනයන්ට වඩා වෙනස් ආස්ථානයක පිහිටන්නේ මේ ජාත්‍යන්තරව කලාවන් තුළ සිදුවන වාමවාදී පරිවර්තනයන්ගෙන් පෝෂණය වන හෙයිනි.

එක් අතකින් 1950 දශකයේ අවසන් අවදියෙන් ඇරැඹී 1960 දශකය පුරා දීප්තිය විහිදුවන ප්‍රංස නවරැල්ල ආසියානු නව සිනමාකරුවන් කෙරේ ඉමහත් බලපෑමක් ඇති කළේය. ප්‍රංස තරුණයෝ පැරැණි සම්භාව්‍ය සිනමාවට එරෙහිව යමින් තම පරම්පරාවේ චේෂ්ටාවන් මාක්ස්වාදී ආස්ථානයක පිහිටා ප්‍රකාශ කිරීමට පෙරමුණ ගත්හ. ඔවුන් එහිදී භාවිත කළ ශිල්ප රීතිය ද ඉඳුරා විප්ලවීය විය.

මේ ලක්ෂණවලින් මිදෙන්නට ආසියානු තරුණයන්ට හැකි නොවීය. 60 දශකයේ බිහිවන තුන්වන සිනමාව (Third Cinema) මේ ප්‍රංස නව සිනමාවෙන් උත්තේජනය ලැබුවකි. 1969 දී ආර්ජන්ටියානු සිනමාවේදී ෆර්නැන්ඩෝ සොලනාස් හා ඔක්ටේවියෝ ගෙටීනෝ "තුන්වන සිනමාව කරා (Towords the Third Cinema) ප්‍රකාශනය ඉදිරිපත් කරමින් විරෝධාකල්ප සිනමාව (Counter Cinema) මඟින් සංස්කෘතිය යටත්විජිත ගැතිබවින් මුදාගැනීම අවධාරණය කළේය. මේ සිනමාව අත්‍යන්තයෙන්ම දේශපාලනිකය. "මට ඔක්ටේවියෝ හා ගෙටිනෝගේ ලිපි ලේඛන කියවන්න ලැබුණා. ඔවුන් ලතින් ඇමරිකාවේ ප්‍රබල සිනමාකරුවන්. තුන්වන ලෝකයේ සිනමාව ගැන, දේශපාලන සිනමාව ගැන බොහොම පළල් මතවාද ඔවුන් දක්වලා තියෙනවා.

සොලනාස් වරක් කියලා තියෙනවා ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයට රූප රාමු 24 ක් වෙඩි තැබිය හැකි තුවක්කුවක් කියලා. මේ වගේ සංකල්ප මා තුළ විශාල සංකර්ෂණයක් ඇති කළා." සදිසි - 2000 අප්‍රේල් ජූනි කලාපය - සුනිල් මිහිඳුකුල හා සංවාදය. මෙයට අමතරව ග්ලෝබර් රෝෂා ප්‍රමුඛ බ්‍රසීල සිනමාකරුවන්ගේ උත්තේජනය ද පතිරාජ ලබන්නට ඇත. ඔවුන් යටත් විජිතවාදී සංස්කෘතික ආක්‍රමණයත්, ඉඩම් අහිමි ගොවීන්ගේ ඛේදයත් දේශාපාලන දැක්ම සමඟ මුසු වූ ජනප්‍රිය සිනමා රීතියකින් විග්‍රහ කිරිමට තැත් දැරූ සිනමාකරුවන්ය.

උතුරු ඉන්දියාවේ ශ්‍යාමි බෙනගල්, ගෞතම් ගෝෂ්, මනි කෞල්, කේරළයේ අදූර් ගෝපාල ක්‍රිෂ්ණන්, අරවින්දන් මේ සිනමාවන්ගෙන් ලැබූ උත්තේජනය ඔවුන්ගේ සිනමා කෘතිවල නොමඳව දිස්වේ. ශ්‍රී ලංකාවෙන් තුන්වන සිනමා සංකල්පයට ඇතුළත් වන එකම සිනමාකරුවා පතිරාජයි.

ඔහුගේ සිනමා දැක්ම වාමවාදී දේශපාලන චින්තනයකින් පෝෂණය වූවකි. සමාජ, ආර්ථික, දේශපාලන දේහය විසින් පිටස්තරයන් බවට පත් කරනු ලැබූ තරුණ පරම්පරාව 1970 දශකයේ ඔහුගේ මූලික විෂය ක්ෂේත්‍රය විය. පරගැති චින්තනයේත් යටත් විජිත මානසිකත්වයේත් තහංචි බිඳ දමමින් මෙරට ජීවිතය විවෘත මනසකින් ද දේශපාලන ආස්ථානයකින් ද විනිවිදීම ඔහුගේ සිනමා භාවිතාව විය. මේ අර්ථ ප්‍රකාශනය සඳහා පවතින සිනමා ආකෘතිය ප්‍රමාණවත් වුයේ නැත.

ලෝකයේ සෑම රටකම නව ආකෘති ගවේෂණය සඳහා තරුණ සිනමාකරුවන් යොමු වූවේ පැරැණි සමාජය හසුකර ගැනීම සඳහා භාවිත වූ සිනමා රීතීන් තම යුගයේ ප්‍රකාශන සඳහා යල්පැන ගිය ඒවා ලෙස සැලකූ බැවිනි. පතිරාජාගේ රූප රචනයේ සුවිශේෂතා මත රූපණ මෙහෙයවීම තුළ සංස්කරණය භාවිත කරන ස්වභාවය මත සංගීතය හසුරුවන ආකාරය තුළ මේ විකල්ප රීතියේ හැඩ දැකිය හැකි වෙයි. මේ රීතිය 70 දශකයේ තරුණ ප්‍රේක්ෂකයන් වසඟ කර ගැනීමට සමත් වූවක් බව කිව යුතුය.

අහස් ගව්ව මෙරට සිනමාවේ දෙවන සුසමාදර්ශ මාරුව ලෙස - දෙවන කැරැල්ල ලෙස - සිනමාවංශය තුළ සනිටුහන් වන්නේ එහෙයිනි. අහස්ගව්ව සමඟ සමාජ යථාර්ථ රීතිය ස්ථාපනය කළ පතිරාජ විරෝධාකල්පවලින් පිරිපුන් සිනමා භාවිතාවක් මඟින් එය සිනමාව හා ඓන්ද්‍රීයව බද්ධ කළේය. වාමවාදී දේශපාලන දැක්මෙන් පිරිපුන් සිනමා භාවිතාවක පිහිටා මෙරට ජන ජීවිතයේ විවිධ පැතිකඩ විනිවිදින නිර්මාණ මඟින් දේශීය සිනමාව සාම්ප්‍රදායික චින්තනයෙන් මුදා ගත්තේය.

මෙහෙයින් 1960 දශකය අයත් වුයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට නම් 1970 දශකය අයත් වන්නේ ධර්මසේන පතිරාජටයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙන්ම පතිරාජ ද ජාත්‍යන්තර සිනමාව මෙරටට ගෙන ආවක් මෙන්ම මෙරට සිනමාව ජාත්‍යන්තරයට ද ගෙන ගියේය. ඉන්පසු බිහිවන නව සිනමා භාවිතාවන්හි සැරිසරන්නට රුචි කළ තරුණ සිනමාකරුවන්ගේ පරමාදර්ශය බවට පත් වන්නේ පතිරාජයි.

පතිරාජගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ හන්තාන කතාවේ සම තිර රචකයා ලෙසිනි. බර්ටි ජයසේකර හා බර්ටි ගුණසේකර සමඟ එම තිර රචනය සම්පාදනය කළ පතිරාජ එහි නිර්මාණ කාර්යයට ද සම්බන්ධ විය. ඉන් පසු ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කරන විට පතිරාජගේ කණ්ඩායම ලෙස හැඳින්විය හැකි කලාකරුවන් පිරිසක් ද ඔහු වටා ඒකරාශි විය.

මේ තරුණ කලාකරුවන් ද සිනමාවේ නවමං ගවේෂණයේලා ප්‍රෝත්සාහි වූ, චින්තනයෙන් ද පතිරාජට සමගාමී වූ පිරිසක් වූ හෙයින් ඔහුගේ නිර්මාණ භාවිතාව වඩා ශක්තිමත් විය. ඔහු තම නව සිනමා චින්තනයේ ප්‍රකාශකයා බවට පත්කර ගන්නේ විජය කුමාරතුංගයි. හන්තානෙ කතාවෙන් සිනමාවට එක්වන විජය පසුව විනෝදාත්මක සිනමාවේ වීරයකු බවට එක් වෙතත් පතිරාජගේ සිනමා නිර්මාණ තුළ ඔහු ඉටු කළ කාර්යභාරය ඔහුගේ සිනමා ජීවිතයේ පලදායී අස්වැන්න බවට පත් විය.

අහස් ගව්ව චිත්‍රපටයේ කෙටි එහෙත් ප්‍රමුඛ චරිතයක් නිරූපණය කළ විජය එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, පාර දිගේ චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළේය. අහස් ගව්වේ කෙටි චරිතයක් නිරූපණය කළ මාලිනී ෆොන්සේකා ඉන්පසු ඔහුගේ මුල්කාලීන චිත්‍රපටවල ප්‍රධාන භූමිකා රඟපෑවාය.

දයා තෙන්නකෝන්, විමල් කුමාර් ද කොස්තා, පියසේන අහංගම, අමරසිරි කලංසූරිය, ඩබ්. ජයසිරි, නීලවතුර විජේවර්ධන, සිරිල් වික්‍රමගේ මෙන්ම ඩොනල්ඩ් කරුණාරත්න, සරච්චන්ද්‍ර සමරක්කොඩි හා ප්‍රේමසිරි කේමදාස ද පතිරාජගේ විකල්ප සිනමාවේ සක්‍රීය දායකයන්ය.

හන්තානෙ කතාවෙන් පසු පතිරාජ ඉයුජින් අයනෙස්කෝගේ ද චෙයාර්ස් නාටකය පුටු නමින් සිංහලට පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළේය. විකාරරූපී නාට්‍ය සම්ප්‍රදාය නියෝජනය කළ එම නාටකයේ රඟපෑවේ විමල් කුමාර් ද කොස්තා, දයා තෙන්නකෝන් හා මාලනී වීරමුණිය. සහාය නිෂ්පාදනය පියසේන අහංගමගෙනි.

නිෂ්පාදන සහාය ඩබ්. ජයසිරිගෙන්. සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි. මේ ඔහුගේ කණ්ඩායම ආරම්භ වූ ස්වරූපයයි. ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ කොරා සහ අන්ධයා පිටපත රචනා කළේ ද පතිරාජයි. එහි රඟපෑවේ ද කොස්තා හා දයාය. 1969 දී පතිරාජ සතුරෝ කෙටි චිත්‍රපටය නිර්මාණය කළේය. එහි ප්‍රස්තුතය රැකියා විරහිත තරුණයකු වටා කේන්ද්‍රණය විය.

කොස්තා ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර ඩොනල්්ඩ් කරුණාරත්න කැමරාව අධ්‍යක්ෂණය කළේය. පතිරාජ තම අවසන් නිර්මාණය ස්වරූප අධ්‍යක්ෂණය කරන විට ද ඩබ්.ජයසිරි, දයා තෙන්නකෝන්, විමල් කුමාර් ද කොස්තා මෙන්ම ඩොනල්ඩ් කරුණාරත්න ද එයට දායක වූහ. මේ වන විට පතිරාජගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටියේ නැත.

1987 දී විශිෂ්ටම සිනමාකරුවන් දස දෙනා තෝරන විට පතිරාජ ඒ අතර විය. 1997 දී හොඳම චිත්‍රපට 10 තෝරන විට බඹරු ඇවිත් සිව්වන ස්ථානය දිනා ගත්තේය. අවසන් වටයට තෝරාගත් චිත්‍රපට 26 අතර පතිරාජගේ චිත්‍රපට 05 ක් විය. ඒ ගෞරවය ලැබූ අනෙක් එකම සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඔහුගේ ද චිත්‍රපට 05 ක් ඒ සඳහා සුදුසුකම් ලැබීය.

ප. ලි.

කථනාද සිනමාවේ ඉතිහාසය විමසීමේදී ප්‍රධාන සිනමා රීතීන් දෙකක් හමුවේ. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගොඩනැඟූ යථාර්ථ රීතියත්, පතිරාජ ගොඩනැඟූ සමාජ යථාර්ථ රීතියත්ය. මේ දෙදෙනාම කලාත්මක සිනමාවේ පුරෝගාමීන්ය.

එහිදී වඩා දේශපාලනික දැක්මක පිහිටා සිටි පතිරාජ නව සිනමා රීති ගවේෂණයේලා ප්‍රෝත්සාහී වන තරුණ සිනමාකරුවන්ගේ පරමාදර්ශය බවට පත් විය. වර්තමානයේ ද දැකිය හැකි වන්නේ මේ සිනමාකරුවන් දෙදෙනා බිහි කළ සිනමා රීතීන්හි විවිධ වර්ධනයන්ය. අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ, සොල්දාදු උන්නැහේ මෙරට සිනමා වංශයේ අමරණීය මතකයන්ය. මේ නිර්මාණ නිසා ධර්මසේන පතිරාජ නාමය කිසිදා මිලාන වන්නේ නැත.

මුද්‍රණයට සූදානම් කෙරෙමින් පවතින දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩයේ ධර්මසේන පතිරාජ පරිච්ඡේදයෙන් උපුටා ගැනුණි.