වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




18-8 A/L සඳහා සැරසෙමු

18-8 A/L සඳහා සැරසෙමු

නාට්‍ය පෙළ (නාට්‍ය පිටපත)

* රඟ දැක්වීම සඳහා සකස් කරන ලද ලිඛිත ගද්‍යමය හෝ පද්‍යමය ප්‍රබන්ධයක් නාට්‍ය පෙළක් ලෙස හැඳින්වේ.

* එය රචකයාගේ මනසේ පහළ වූ නිර්මාණාත්මක ලිඛිත ප්‍රකාශනයකි.

* නාට්‍ය පෙළක් කතා වස්තුවක් මූලික කරගෙන රචනා වී ඇත. නමුත් කථා වස්තුවක් මූලික කර නොගත් නාට්‍ය පිටපත් ද දක්නට ලැබේ.

* ඒ අනුව කථා වස්තුව තේමාව කතා වින්‍යාසය, භාෂාව, රංග විධාන, චරිත, සිද්ධි, අවස්ථා, ජීවන දෘෂ්ටිය, සංකේත, නාට්‍ය පෙළක දක්නට ලැබෙන මූලික ලක්ෂණ වේ.

* නාට්‍යයක් නිර්මාණය කළ හැකි විභව ශක්තියක් නාට්‍ය පෙළ තුළ ඇත.

* නාට්‍ය පෙළ කියවීමෙන් වුවද රසාස්වාදයක් ලැබිය හැකිය. නමුත් එම රසය නාට්‍ය නැරැඹීමෙන් ලබන රසයට වඩා හාත්පසින් වෙනස් වේ.

නාට්‍ය අධ්‍යක්ෂක

අජීවී නාට්‍ය පෙළ නළු නිළියන්ගේ රංග කාර්්‍යයන් සහ ආනුශාංගික ශිල්පීන්ගේ කාර්යන් යොදවා ඒවා නිශ්චිත අරමුණකට අනුව මෙහෙයවමින් සජීවී නාට්‍ය නිර්මාණයක් ගොඩ නංවන පුද්ගලයා නාට්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස හැඳින්වේ.

* අධ්‍යක්ෂණය සඳහා නාට්‍ය පිටපතක් තෝරා ගැනීමේදී අධ්‍යක්ෂවරයා සැලකිල්ලට ගත යුතු කරුණු

1. නිර්මාණාත්මක වස්තුවක් ඇතුළත්ද?

2. නාට්‍ය පෙළෙහි අන්තර්ගතය අර්ථකථනය කළ හැකිවේද?

3. සංස්කෘතියට සහ සදාචාරයට ගැළපේද?

4. ප්‍රේක්ෂක රස වින්දනය උදෙසා ඉවහල් වේද?

5. සමාජ, ආර්ථික, දේශපාලන සාධකවලට

6. මූල්‍යමය පහසුකම් සපයා ගත හැකිද?

7. සාර්ථක නාට්‍ය නිර්මාණයක් ගොඩ නැංවිය හැකිද?

* නාට්‍ය පෙළක්, නාට්‍ය නිර්මාණයක් බවට පත් කිරීමේදී අධ්‍යක්ෂවරයා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග (පිළිවෙළින්)

* පෙළ හොඳින් කියවා අවබෝධ කර ගැනීම

* පෙළ පිළිබඳ අධ්‍යනය කිරීම (පොතපතින්, අන්තර් ජාලයෙන්, බාහිර සමාජයෙන්)

* නිෂ්පාදනයට සුදුසු ආකාරයට පෙළ සංශෝධනය කරගැනීම

* නිෂ්පාදන පෙළ සකස් කරගැනීම

*නළුවරණය

* ආනුශාංගික ශිල්පීන් තෝරා ගැනීම

* පුහුණුවීම් සිදු කිරිම

* ආනුෂංගික අංග සම්බන්ධ කිරීම

* සවේශ (රංගාලෝකය, අංග රචනය,රංග වස්ත්‍ර, පුහුණුව, රංගභූමි අලංකරණ සමඟ කෙරෙන පුහුණුව)

* මංගල දර්ශනය

* නාට්‍ය අධ්‍යක්ෂවරයා සියලුම ශිල්පීන් සමඟ සුහදව කටයුතු කරන, ඔවුන්ගේ අදහස්වලට අවධානය යොමු කරන නමුත් තමන්ගේ දෘෂ්ටිය (නිවැරැදි) යටපත් කිරීමට ඉඩ නොතබන පුද්ගලයකු නිසා සුගතපාල ද සිල්වා අධ්‍යක්ෂවරයා 'සොඳුරු ආඥාදායකයකු' ලෙස හඳුන්වා දී ඇත.

* ඇතැම් විට නාට්‍ය අධ්‍යක්ෂවරයා නාට්‍යය නිෂ්පාදනයට මුදල් වියදම් කරන්නෙකු (අර්ථපති) කෙනෙකු යොදා ගනු ලබයි.

* ශ්‍රී ලංකාවේ බොහෝ විට රචකයා, අධ්‍යක්ෂවරයා, අර්ථපති එක් අයෙකුම වේ.

රංග භූමිය

වේදිකා නාට්‍යයක් රඟදක්වනු ලබන ඕනෑම ස්ථානයක් රංග භූමියක් ලෙස හැඳින් විය හැක.

රංග පීඨය, රඟ මඬලය, කරළිය ආදී නම්වලින් ද හඳුන්වනු ලබයි.

මුලින් වෘත්තාකාර රංග භූමියක් වශයෙන් යොදා ගත් අතර ක්‍රමයෙන් එය පිංතුර රාමු වේදිකාව දක්වා විකාශය විය.

* රංග භූමිය තිබිය යුතු මූලික ලක්ෂණ

* රඟපෑම සඳහා ප්‍රමාණවත් අවකාශයක් තිබීම

* සමතලා භුමියක් වීම

* ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් නැරැඹීමට හැකිවන ලෙස පිහිටා තිබීම

* නළු නිළියන්ට අවශ්‍ය අවම පහසුකම් සපයා තිබීම

* රංග භූමි අලංකරණ, රංග භාණ්ඩ ගබඩා කර තැබිය හැකි වීම

නළු නිළියන්

පිටපතේ ඇති අජීවි චරිත අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම මත ලෙයින් මසින් පිරි සජීවි චරිත බවට නිර්මාණය කරන්නේ නළු නිළියන් විසිනි (රූපණය පිළිබඳව පසුව සාකච්ඡා කරනු ලබයි)

රංගභූමි අලංකරණ

නාට්‍ය පෙලෙන් කියවෙන පසුබිම අර්ථවත් කිරීම සඳහා වේදිකාව සකස් කිරීම රංග භූමි අලංකාරණය හෙවත් වේදිකා පසුතල නිර්මාණය යන නමින් හඳුන්වනු ලබයි.

* නාට්‍ය පෙලෙහි පසුතලය පිළිබඳව දක්වා ඇති විස්තරය රංග භූමි අලංකරණයේ මූලික පදනම වේ.

* නාට්‍යයේ ශෛලිය අනුව රංග භූමි අලංකරණය වෙනස් වේ. ලෝක ධර්මී නාට්‍යවලට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර නාට්‍ය ධර්මි නාට්‍යවල බොහෝ විට රංග භූමි අලංකරණයක් දක්නට නොලැබෙයි. නාට්‍ය ධර්මි නාට්‍යවල සංවාදයෙන් හෝ ගීතයෙන් පසුතලය වර්ණනා කෙරෙයි.

* පසුතල නිර්මාණ සකස් කිරීම හා විචිත්‍රත්ව සඳහා විවිධ උපකරණ, තිර, දර්ශන ආදිය යොදා ගනු ලබයි.

* නූතන තාක්ෂණික භාවිතය සමඟ ගගනිකාව ඇසුරින් විවිධ පසුතලයන් නිර්මාණය කරගත හැක.

* ස්ථානය මතු කර දැක්වීම, අවස්ථාව තීව්‍ර කිරීම අදාළ දේශය සහ කාලය මතුකර දැක්වීම, තේමාව සහ අන්තර්ගතය සංකේතාත්මකව ප්‍රකාශ කිරීම, නළු නිළියන්ගේ රංග කාර්යයට පහසුවක් වීම, විචිත්‍රත්වයක් ඇති වීම, රස වින්දනය තීව්‍ර වීම වේදිකා පසුතල නිර්මාණවල ඇති උපයෝගිතාවයන් වේ.

* පසුතල නිර්මාණයේදී ඉක්මනින් සවි කිරීමේ සහ ගැලවිමේ හැකියාව, වර්ණ සංයෝජනය, රංගාලෝකය සමඟ මනාව සම්මිශ්‍රණය වීම, ප්‍රවාහන පහසුව, රංග කාර්යයට බාධාවක් නොවීම බහුකාර්ය සඳහා යොදාගත හැකිවීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

වේශභූෂණ නිර්මාණය

(රංග වස්ත්‍ර නිර්මාණය)

නාට්‍ය පෙළෙහි ඇති චරිතයන්ට සහ එම චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන නළු නිළියන්ට ගැළපෙන ආකාරයට රංග වස්ත්‍ර සහ ආභරණ නිර්මාණය කිරීම වේශභූෂණ නිර්මාණය නමින් හැඳින්වේ.

* නාට්‍යයේ තේමාව, ශෛළිය සංස්කෘතික පසුබිම යුගය සහ කාලය චරිතයේ බාහිර සහ අභ්‍යන්තර ස්වභාවය සරලවීම, පහසුවෙන් භාවිතයට ගත හැකි වීම, රඟපෑමට පහසු වීම, වර්ණ සංයෝගය සහ රංගාලෝක භාවිතය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

අංග රචනය (Make - Up)

නළු නිළියන්ගේ මුහුණ ප්‍රමුඛ කොටගත් රංග වස්ත්‍රවලින් නොවැසුණු ශරීර අංග අදාළ චරිතයට ගැළපෙන ආකාරයට සකස් කිරීම අංග රචනය නමින් හඳුන්වනු ලබයි.

* චරිතයේ බාහිර සහ අභ්‍යන්තර ස්වභාවය, නාට්‍යයේ ශෛලිය, යුගය සහ කාලය, රඟපෑමට පහසුවීම, වර්ණ සංසේචනය සහ රංගාලෝක භාවිතය පිළිබඳව අංග රචනයේදී සැලකිලිමත් විය යුතුයි.

* අංග රචනයේදී නළල, ඇස්, නාසය, මුඛය, කම්මුල්, නිකට ලෙස මුහුණ ප්‍රධාන කොටස් 6 කට බෙදා දක්වනු ලබයි.

* අංග රචනයේදි පෑන් කේක් (Pan Cake) ග්‍රීස් පේන්ට් (Greas Paint), ලයිනින්ග් කලර්ස් (Lining Colours) මේකප් පෙන්සිල්ස් (Make-up Pencils), බ්‍රෂස් සහ ස්පෝන්ච් (Brushes, Sponge), පවුඩර් පෆ් (Powder Puff)), නෝස් පොටි (Nose Potty), Crape Hair (ක්‍රේප් හෙයාර්), ස්ප්‍රීට් ගම් (Spirit Gum), ටූත් එනමල් (Tooth Enamle), රිමුවින්ග් ක්‍රීම් (Removing Cream) ආදී ද්‍රව්‍ය භාවිතයට ගනු ලබයි.

රංගභූමි ආලෝකකරණය

වේදිකා නාට්‍යයකදී වේදිකාවේ රඟපාන නළු නිළියන්, පසුතල, රංග වස්ත්‍ර ආදිය සූක්ෂම ලෙස හා අර්ථාන්විත ආකාරයෙන් ආලෝකමත් කිරීම රංගභූමි ආලෝකකරණය ලෙස හැඳින්වේ.

* මේ සඳහා රංගාලෝක සැලසුමක් මෙන්ම රංගාලෝක සැලසුමක් ද අවශ්‍ය වේ.

* රංගාලෝකයේ භාවිතයට ගනු ලබන පහන් වර්ග

1. ගලා යන එළිය යන අර්ථය දෙන 'ධාරා පහන් හෙවත් ෆ්ලඩ් ලාම්පු' (Flood Light)

2. ඉලක්කය වෙත විහිදී යන අර්ථය දෙන 'යොමු පහන්' (Spot Light)

3. තීරු ලාම්පු යන අර්ථය දෙන ස්ට්‍රිප් ලාම්පු (Strip Light / Batten Light)

4. විවිධ වර්ණ ලබා ගත හැකි කලර් වීල්ස් (Colour Wheels)
 

ප්‍රේක්ෂාව (Spectacle)

ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ ප්‍රේක්ෂාව හඳුන්වා දී ඇත්තේ 'වේදිකාවේ දෘෂ්ටිගෝචර බව' ප්‍රේක්ෂාව ලෙසයි.

නාට්‍යයක් නරඹන විට ප්‍රේක්ෂකයා ඉදිරියේ රංග භූමිය මත මොහොතින් මොහොත මැවෙන දර්ශනය 'ප්‍රේක්ෂාව' ලෙස හඳුන්වා දිය හැකිය.

ප්‍රේ්ක්ෂාව මැවීම සඳහා රංගභූමි අලංකරණ, වේශභූෂණ, රංගාලෝකය, අංග රචනය, නට්‍යෝපකරණ, රූපණ ශිල්පින්ගේ රංගනය උපකාරී වේ.

ප්‍රේක්ෂකයා

වේදිකා නාට්‍යයක් නරඹා රස විඳින පුද්ගලයා නාට්‍ය ප්‍රේක්ෂකයා ලෙස හැඳින්වේ.

වේදිකා නාට්‍යයක සාර්ථකත්වය ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තීරණය වේ. ඒ අනුව ප්‍රේක්ෂකයා වේදිකා නාට්‍යයකට අත්‍යවශ්‍යම පුද්ගලයෙකි.

නාට්‍යයකට අත්‍යවශ්‍යම අංග වූයෙන් (පෙළ, නළුවා, ප්‍රේක්ෂකයා) එක් සාධකයක් ලෙස ප්‍රේක්ෂකයා සලකනු ලබයි.

ප්‍රේක්ෂකයා යනු රසිකයකු පමණක් නොව විචාරකයකු, විනිශ්චයකරුවෙකු ද වේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නාට්‍යයේ වෙනස්වීම් පවා සිදුවේ.

රංග වින්‍යාසය (Choreography)
 

නාට්‍යයක කිසියම් අවස්ථාවකට හෝ සිදුවීමකට අවශ්‍ය පරිදි චලන හා රිද්ම මනාව පෙළ ගැස්වීම 'රංග වින්‍යාසය' හෙවත් 'රංග රචනය' යනුවෙන් හැඳින්වේ.

රංග වින්‍යාසය මුලින්ම පෙළ ගැස්වෙන්නේ නාට්‍ය රචකයාගේ නිර්මාණාත්මක චින්තනයේය.

* රංග වින්‍යාසය යනු නර්තන නිර්මාණය පමණක්ම නොවේ. එසේම එය නාට්‍ය ධර්මි නාට්‍යවලට පමණක් සීමා වූ එකක් ද නොවේ.

* ඕනෑම සම්ප්‍රදායකට අයත් නාට්‍යයක මිනිස් ක්‍රියාවන් සංචලනය (Movement) පදනම් කොටගෙන වේදිකාවේ අවකාශය මනා ලෙස භාවිත කරමින් ආනුශාංගික කලාවන් ද අපූර්වත්වයෙන් යුතුව සුසංයෝග කරමින් වඩාත් නිර්මාණාත්මක රංග වින්‍යාසයක් සිදු කළ හැක.