වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




නුවන්ගේ සරසවි බැල්මෙන් සතර සවියට

නුවන්ගේ සරසවි බැල්මෙන් සතර සවියට

සරසවිය නියෝජ්‍ය කර්තෘ, ප්‍රවිණ කලා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් රචිත සරසවි බැල්මෙන් සතර සවියට නම් වු අභිනව ශාස්ත්‍රිය විචාර ග්‍රන්ථය පසුගිය (ජනවාරි)29 වැනිදා කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි ජනගත කෙරිණි. මංජුල ලියනඅරච්චිගේ නිර්මාණශිලිත්වයෙන් www.nuwannayanajithkumara.lk.  නමින් ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ වෙබ්අඩවිය ද මෙදින ජනගත කෙරිණ. ආචාර්ය නුවන්ගේ ගුරුතුමියක වු අභාවප්‍රාප්ත එස් .කේ.පතිරගේ ගුරු මැණියන් අනුස්මරණය කොට ඇගේ දුදරුවන් වන විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය, විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා, වෛද්‍ය පද්මලාල් පතිරගේ මහතා හා ප්‍රකට ව්‍යාපාරික නිහාල් පතිරගේ මහතා යන ආදින්ට මෙහිදි පොත් පිළිගැන්විණ.


නෙලා මාසේ මැද

බෙනට් රත්නායකගේ නෙලා සිනමාපටය මෙම මාසයේ මැද සිට තිරගතවීමට නියමිත බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය. ස්පාඤ්ඤ නවකතාවක් ඇසුරෙන් ඉන්දාණි රත්නසේකර පරිවර්තනය කළ නෙලා ග්‍රන්ථය කේන්ද්‍ර කර ගනිමින් බෙනට් මෙම සිනමාපටය නිර්මාණය කොට තිබේ. උදාර රත්නායක, ශලනි තරකා, තාරුකා වන්නිආරච්චි මෙහි ප්‍රධාන චරිත රඟති. පාලිත සිල්වා, රොෂාන් පිලපිටිය, සේමිණී ඉද්දමල්ගොඩ, තුමිඳු දොඩම්තැන්න, අනුර ධර්මසිරිවර්ධන, උදාරි පෙරේරා නෙලා හැඩ කරන අනෙක් නළු නිළියන්ය. සුරේෂ් මාලියද්ද නෙලා සංගීතවත් කරනු ලබයි. කසුන් කල්හාර සමඟ ශ්‍රියා කාරියවසම් ගැයුමෙන් එක් වූහ. සමන්මලී හේවාමාන්න, එච්. ඩී. ප්‍රේමසිරි, ඩිලාන් ප්‍රනාන්දු, චරිත් නාගොඩවිතාන සමඟ අතුල මහවලගේ නෙලා නිෂ්පාදනය කොට තිබේ. තිර රචනය බෙනට් රත්නායකගෙනි.


පෝරිසාදයා දවසේ ආචාර්ය එඩ්වින් ආරියදාස සූරින්ට සම්මානයක්

පසුගිය දින බී.සිරිතුංග පෙරේරාගේ පෝරිසාදයා සිනමාපටයේ මාධ්‍ය දර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. එහිදී ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාට සිනමාපටයේ නිෂ්පාදක මඬුල්ල එහිදී ඇගයීමකට ලක් කළ අතර එම ඇගයීම් සම්මානය චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා විසින් පිරිනැමූ අයුරුයි.


සිනේ මාට පැසසුම්

පසුගිය සිකුරාදාවේ වෛද්‍ය කපිල සූරියආරච්චි විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ අපූරු සිනමාපටයක් තිරගත විය. එය නම් කොට තිබුණේ සිනේ - මා යනුවෙනි.

සිනමා ක්ෂේත්‍රය තුළ සිදුවන විවිධ අකටයුතු සෘජුවම මේ තුළින් ඉදිරිපත් කිරීමට වෛද්‍ය කපිල උත්සාහ ගෙන තිබුණි. ඒ අතරින් සිනමාකරුවකු වන්නට වෙර දරන අයකුගේ උත්සාහයත් මෙන්ම ඊට සැබැඳෙන යොවුන් ආදර කතාවකුත් මෙතුළ ගැබ්ව තිබුණි.

එදින සිනේ-මා නැරැඹූ බොහෝ දෙනකු වෛද්‍යවරයාට සුබපැතුම් එක් කළේ කාලයකට පසු අර්ථවත් සිනමාපටයක් නැරැඹීමෙන් මතු වූ උද්දාමය හේතුවෙනි. සිනේ - මා වෛද්‍ය කපිලගේ දෙවැනි සිනමාපටයයි.

රොබින් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, ඩග්ලස් රණසිංහ, බිමල් ජයකාඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, නයනතරා වික්‍රමආරච්චි, චාන්දනී සෙනෙවිරත්න, ඉසුරු ලොකුආරච්චි, ජගත් බෙනරගම ආදීහු චරිත මවන ලදි. සිනේ මා චම්පික ජයනන්දනගේ නිෂ්පාදනයකි.


යුග තුනක රිද්මය අබුඩාබි යයි

අබුඩාබි කාන්තා සංගමය සංවිධානය කරන "යුග තුනක රිද්මය" සංගීතමය සැඳෑව අද අබුඩාබි තියටර්හිදී රාත්‍රී 8.00 ට පැවැත්වේ. සෝමතිලක ජයමහ, ජානක වික්‍රමසිංහ, උපේකා නිර්මාණි එහි ගීතවත් වේ. සංගීතය නාලක අංජන කුමාර සමඟ අකනිටාය. කථනය දිනූෂ පියදාස. නර්තන වින්‍යාශය මේෂාන් දිසානායක රංගායතනයෙනි.