වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනදාට නැති ආරක්ෂාවක් දැන් දැනෙනවා.

වෙනදාට නැති ආරක්ෂාවක් දැන් දැනෙනවා.

දෙදහස් දහඅට ආරම්භ වනවාත් එක්කම අප නිළියන් කිහිප දෙනෙකුට මංගල සීනු හැඬ වුණා. කාලයක් තිස්සේ සිත තුළ තිබුණු බලාපොරොත්තු මල්ඵල ගන්වමින් එලෙස පතිකුලයට පිවිසුණු තැනැත්තියන් අතරට අංජුලා රාජපක්ෂත් එකතු වී අවසානයි. බෙහොම කෙටි කලකින් විවාහය ප්ලෑන් කළ නිසා ඇයගේ විවාහය බොහොම හදිසියේ සිදු වූ එකක් යැයි ඇතැමුන් සිතුවා. කෙසේ වෙතත් විවාහ දිවියේ සුන්දරත්වය විඳින අතරතුරදී අංජුලා තම කටහඬ අවදි කළා. ඒ තුළ වෙනදාටත් වඩා ආදරණීය බවක් ගැබ් වෙලා තිබුණා කියලා නම් නොකියාම බැහැ.

අංජුලා මාසයක්ම නිවාඩු ගත්තා නේද ඔබේ විවාහය වෙනුවෙන්?

ගිය මාසේ අපේ විවාහය සිදු වුණේ. ඒ හින්දා මං ජනවාරියේ කිසිම වැඩක් බාර ගත්තේ නැහැ. ආයෙ රඟපාන්නේ මේ මාසෙ ඉඳන්.

කොහොමද විවාහ දිවියේ සුන්දරත්වය ඔබට දැනෙන්නේ?

කියාගන්න බැරි මොකක්දෝ සුන්දරත්වයක් දැනෙනවා. වෙනදාට වැඩිය නිදහසක් දැනෙනවා. වෙනදාට වැඩිය ආරක්ෂාවකුත් දැනෙනවා. මේ ජීවිතය මං ගොඩක් කාලකෙ සිට බලාපොරොත්තුවෙන් සිටි එකක්.

ඔබේ සැමියාගේ නම කියමු බලන්න?

රංග වීරකෝන්.

කලා පරම්පරාවක පුරුකක්?

ඔව්. රංගගේ පියා තමයි නැසීගිය රංගන ශිල්පී ක්වින්ටස් වීරකෝන්.

රංග ගැන තවදුරටත් විස්තර කළොත්?

එයා ඩාන්සර් කෙනෙක්. වේදිකා නාට්‍යකරුවෙක්. ටවර්හෝල් රංගන ශිල්පියෙක්.

මේ දවස්වල රංග ඉන්න නූර්තියක් වේදිකා ගතවනවා නේද?

ඔව්. ඒක තමයි ටවර්හෝල් ආයතනය මඟින් ඉදිරිපත් කරන රාමායණය. එහි රාමාට රඟපාන්නේ රංග.

අංජුලා කැමැතිද රංග දිගින් දිගටම රඟපානවාට?

එයා හැම මාධ්‍යයේම රඟපාන කෙනෙක් නෙවෙයි. නූර්ති ශෛලියට තමයි වඩාත් ප්‍රිය. ඔහුගේ නිදහසට මං බාධා කරන්නේ නැහැ. මොකද ඔහු මගේ නිදහසටත් බාධා කරන්නේ නැති නිසා.

ඒ කියන්නේ අංජුලා රංගනය සීමා කරන්නේ නැහැ?

කොහෙත්ම නැහැ. මගේ කලා කටයුතු මේ වුණා වගේම සිද්ධ වේවි.

කෝ ඉතින් අංජුලා කිව්වේ නැහැනෙ රංගව මුණ ගැහුණු විදිහ?

කලා කටයුත්තකදීම තමයි ඔහුව මුණ ගැසුණේ. එදා කතාබහ කළා. ඊට පසුව වැඩිය හමු වුණේ නැහැ.

යාළුවො විදිහට ආශ්‍රය කළේ නැතිද?

කිව්වට විශ්වාස කරන්න අපි එහෙමවත් හිටියේ නැහැ. ටික දවසක් ගත වුණා. ඉඳහිට රංග කතා කළා. ඔය අතරේ එයාට මං ගැන විශේෂත්වයක් ඇති වෙලා තියෙනවා. දවසක් මට කෙළින්ම කතා කරලා ආදරේ ප්‍රකාශ කළා. මං පිළිතුරක් දුන්නේ නැහැ. කිව්වේ ගෙදරටම ඇවිත් අහන්න කියලා.

ඔහු එහෙම කළා?

ඔව්. කෙළින් ගෙදරට ආවා. ඇවිත් වැඩිහිටියන්ගෙන් අවසර ගත්තා. මං ගොඩක්ම කැමැති වුණේ ඔහුගේ ඒ කෙළින් වැඩ කරන ගති ගුණයට.

රංගව ඔබට ගැළපෙනවමයි කියලා තීරණය කළේ කොහොමද?

මෙහෙමයි ඉතින්. සියයට සියයක්ම ගැළපෙන සහකරුවෝ නැහැනෙ. එහෙම ඉන්නවා කියනවා නම් ඒක බොරුවක්. රංග හරිම තැන්පත්. මට හුඟක් ආදරෙයි. ඉතින් තවත් මොනවද?

ඔබ නම් හරිම දඟකකාරයි නේද?

ඒක නම් එහෙම තමයි.

අංජලා බඳින්න පරක්කු වැඩි වුණා කියලා හිතෙන්නේ නැතිද?

අපොයි නැහැ. මේ තමයි හොඳම කාලේ.

රංගගෙන් ලැබුණු පළමු තෑග්ග මොකක්ද?

ම් ම් ම් මාලයක් ලැබුණේ.

දෙන්නා කොහෙද දැන් පදිංචි වෙලා ඉන්නේ?

කෝට්ටේ තමයි.