වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රථම සිංහල ඩයලොග් විනෝදේ App චිත්‍රපටය අද සිට රීගල් මණ්ඩලයේ

ප්‍රථම සිංහල ඩයලොග් විනෝදේ App චිත්‍රපටය අද සිට රීගල් මණ්ඩලයේ

දුරකතන ජාලයන් ඔස්සේ 'ඇප්' එකක් මඟින් නැරැඹිය හැකි ලෙස මුල්වරට නිපද වූ ශ්‍රී ලාංකේය චිත්‍රපටය වන එක දවසක අපි අද සිට කොළඹ රීගල් ඇතුළු සී. ඊ. එල්. සිනමාහල් 40 ක ප්‍රදර්ශනය වනු ඇත.

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නවතම සිනමා නිෂ්පාදනය වන එක දවසක අපි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කෙරුණකි. එක දවසක අපි සිනමාපටයේ පුබුදු චතුරංග සහ නයනතරා වික්‍රමආරච්චි චරිත රංගනයේ යෙදෙති. යෞවනයේ පැන නැඟී ඇති එක්තරා සමාජමය ප්‍රශ්නාවලියක් කේන්ද්‍ර කර ගනිමින් නිෂ්පාදනය වූ එක දවසක අපි සිනමාපටයේ වීණා ජයකොඩි, මේධා ජයරත්න, රොහාන් රණතුංග සෙසු චරිතයන් රංගනයෙහි යෙදෙයි.. ප්‍රියන්ත එස්. වන්නිනයක අංග රචනා ශිල්පියාය. සසික හේරත් සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය. චින්තක සෝමවීරගේ කැමරා අධ්‍යක්ෂණයකි. සංජීව කරුණාරත්න කලා අධ්‍යක්ෂවරයාය.

එය ඩයලොග් විමෝදේ තුළින් ද පේ‍්‍රක්ෂකයන්ට නැරැඹිය හැකිය.


අල්ලපු ගෙදර ආයෙත් තැනේ

මෙරට බිහි වූ අතිශය නිර්මාණශීලී මෙන්ම ජනප්‍රියතම සිනමා කෘතියක් වන අල්ලපු ගෙදර නව නිෂ්පාදනයක් ලෙසින් රිදී තිරයට එක් වනු ඇත. එනමින්ම තැනෙන නව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ කීර්ති බණ්ඩාර විසිනි.

අල්ලපු ගෙදර සිනමාපටයේ කතා සාරය රැගෙන කාලයට අනුරූපීව අධ්‍යක්ෂවරයා නව තිර රචනය සකස් කොට තිබේ. එදා ජෝ අබේවික්‍රම කළ කපිල මල්කිරණ මෙදා නිරූපණය කරනුයේ නිරෝෂන් විජේසිංහ විසිනි. ක්ලැරිස් ද සිල්වා කළ චරිතය අනූෂා දමයන්ති, සන්ධ්‍යා කුමාරි කළ චරිතය ගයාත්‍රි ඩයස්, ඇන්තනි සී. පෙරේරා රඟන චරිතය ගිවන්ත අර්ථසාත්, හියුගෝ ප්‍රනාන්දුගේ චරිතය විජේරත්න වරකාගොඩ අල්ලපු ගෙදර නව නිෂ්පාදනයේ රංගනයේ යෙදෙති. සෙසු චරිතයන් චාන්දනී මල්ලිකා, ඩී. බී. ගංගොඩතැන්න, කේ. ඩී. සිරිපාල, උපාලි සිල්වා, සැනට් දික්කුඹුර, සුගත් ශාන්ත මොරගහකුඹුර, උපුල් වීරසිංහ, ගාමිණී කුලසේකර, නිහාල් ගමගේ ආදීහු නිරූපණය කරනු ලබති.

අල්ලපු ගෙදර නව සිනමාපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ද කිර්ති බණ්ඩාර විසිනි. සම නිෂ්පාදකවරුන් ලෙසට රන්ජිත් නවරත්න සහ සම්පත් දායක වෙයි. ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. කරුණරත්න විධායක නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණය චන්දන ධර්මප්‍රියගෙනි. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. කුමාර ඩී. රාහුබද්ධ කලා අධ්‍යක්ෂවරයාය. නිශ්චල ඡයාරූප ගාමිණී කුලසේකර සහ හේමක බණ්ඩාරගෙනි.

අල්ලපු ගෙදර මුල් නිෂ්පාදනය පරිවරි බාශ් නම් බෙංගාලි චිත්‍රපටයක් වන අතර එය ඇසුරෙන් අඩුක්ක වීඩු පෙන් නමින් දෙමළ බසින් ද, පඩෝසන් නමින් හින්දි බසින් ද චිත්‍රපට තැනුණි. පසුව වේදිකා නාට්‍යයක් ලෙස ද නිර්මාණය විය.


ජිනදාස නියතපාල මියයයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමා සඟරාව වූ 'තරුව' ප්‍රධාන සංස්කාරක ජිනදාස නියතපාල මහතා අභාවප්‍රාප්ත විය.

1952 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ 'තරුව' පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස ඔහු මීට වසර 66 කට පෙර කටයුතු කළේය.

එකල සිංහල සිනමාව තුළ චිත්‍රපට නැරැඹීමට උනන්දුව තිබුණ ද සිනමා තොරතුරු ගවේෂණය කිරීම හා කියවීම, තොරතුරු රැස් කර ගැනීමට සිනමා පුවත්පතක් හෝ සඟරාවක් ඒ වන විටත් නොතිබුණි. එහි වගකීම ඔහුගේ කරමතට ගෙන කටයුතු කළ ගෞරවය අදටත් ඔහුට හිමි වේ.

පොල්තුටුව ආරච්චිගේ ජිනදාස නියතපාල 1930 අප්‍රේල් 20 වැනිදා උපත ලබා තර්ස්ටන් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පසුව පෙම්රොක් ඇකඩමිය හා රජයේ අභ්‍යාස ගුරු විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තරුණ වියේදීම එක්සත් ජාතික පක්ෂයට බැඳී කටයුතු කළ තරුණ සංවිධායකයෙකි. ලේඛන කලාවට, පුවත්පත් කලාවට පෙම් බැඳි ඔහු එවකට එක්සත් ජාතික පක්ෂ නිල පුවත්පත වූ 'සියරට' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය. අභාවප්‍රාප්්ත ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්ගෙන් පසුව එහි ඉංග්‍රීසි නිල පුවත්පත වූ 'සිලෝන් ගාඩියන්' හා දමිළ පුවත්පත වූ 'පාවී' පුවත්පත්වල ද කර්තෘවරයා ද ඔහුම විය. 1960 මාර්තු මැතිවරණයෙන් කෝට්ටේ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඔහු ඉන් පසු එහි ජය ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1989 මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.

වර්තමාන ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වන සිතේන්ද්‍ර සේනාරත්න මහතාගේ මාමණ්ඩිය ද වන්නේ ඔහුය. ඔහුගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.


රුවන් හේවගේ රෝහලේ

චිත්‍රපට රංගන ශිල්පී රුවන් හේවගේ දැඩි ලෙස රෝගාතුරව ජාතික රෝහලේ 55 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. හිත හොද කොල්ලා. විශ්මය, රණ දෙරණ ආදී චිත්‍රපට රැසක චරිත මැවූ හෙතෙම පුංචි එවුන් සූරයෝ චිත්‍රපටය සමඟින් අධ්‍යක්ෂණයට පිවිසියේය. රුවන් හට ඉක්මන් සුවය සරසවිය ප්‍රාර්ථනා කරයි.


රත්න ශ්‍රී විජේසිංහගෙන් වස්සානෙන් පසුව

ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහගේ නවතම කාව්‍ය කෘතිය 'වස්සානෙන් පසුව' නමින් දැන් නිකුත් වී ඇත. කේවල කාව්‍ය නිර්මාණ 41කින් සමන්විත වස්සානෙන් පසුව කෘතිය අග කවියා විසින් වරින්වර විශේෂ පුද්ගල චරිත කිහිපයක් සිහිකොට ලියූ කාව්‍ය නිර්මාණ 11ක් උපග්‍රන්ථයක් ලෙස එක් කොට තිබේ. රත්න ශ්‍රී විජේසිංහ විසින් 1985 වසරේදී ලියූ ප්‍රකට වස්සානේ කවිය නියෝජනය කළ සමාජ පරිසරය අද වන විට යළිත් නව අරුතකින් සෝදා පිරිසිදු කොට ගත යුතු බව මේ කෘතිය නම් ලද'වස්සානෙන් පසුව' කවි පංතියෙන් දැක්වෙයි. එපමණ නොව වත්මන් සමාජ ස්නායු ධාරා ඔස්සේ කවියා කම්පනය වුණු බොහෝ තැන් මේ කෘතිය තුළ නවමු අත්දැකීම්වලින් යුක්තව දක්නට ලැබේ. වස්සානෙන් පසුව සන්ථව ප්‍රකාශනයකි.