වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්

රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්

One Star Rider

ලක්පති විජේසේකර නවතම  සිනමා නිර්මාණය

ඇන්ඩෘ යනු පුද්ගලයන් සිනහ ගැන්වීමට විහිළුකාරයෙක් වීමට කැමැත්තෙන් සිටින තරුණයෙක්. ඔහු ලොස් ඇන්ජලීස් සමාජ ශාලාවක ඔහුගේ ප්‍රදර්ශනයට ගෙන්වාගත හැකි එකම පුද්ගලයා වන්නේ ඔහු සමඟින් නවාතැන් ගෙන සිටින ජේකොබ් පමණි.

ඇන්ඩෘ මුළු දවස පුරා ඌබර් ටැක්සි රියදුරකු ලෙසින් සේවය කර අතරේ උත්සාහ කරන්නේ විවිධාකාර මිනිසුන් තම රථයට නංවා ගැනීමටයි. දිනකට ගමන් වාර හතළිහක යෙදුණ විට ඔහුට ඩොලර් 150ක බෝනස් මුදලක් උපයාගත හැකි බැවින් ඔහු ලොස් ඇන්ජලීස් නගරය පුරා ගමනේ යෙදේ.

මේ අතර විසිහත් හැවිරිදි සුන්දර තරුණියක වන එමා ද ඔහුගේ රථයට නැඟෙන්නේ, තම නිවෙස හැර යනවා ද? නැත ද යන දෙගිඩියාවෙන්. සතියකින් හමු වී ප්‍රේමයෙන් බැඳී විවාහ ජීවිතයට එළැඹුණු එමා, මැදපෙරදිග තරුණයකු වන සිය සැමියාගෙන් සති කිහිපයකට දුරස් වන්නට සැරසේ. එමාගේ පුංචි රහසත් ඇන්ඩෘගේ අරමුණත් ලොස් ඇන්ජලීස් නගරයේ මෙම රාත්‍රිය ගෙවෙන අතරතුර හෙළි වන්නට පටන් ගනී.

මෙම කතා පුවත ගෙන එන්නේ, ලක්පති විජේසේකරගේ One Star Rider චිත්‍රපටය යි. ලක්පති විජේසේකර යනු කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා මේ වන විට ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිනමාකරණය පිළිබඳ හදාරන ශිෂ්‍යයෙකි.  Falsehood  සහ Behind the Scenes ලක්පති විසින් මීට පෙර කළ සිනමා නිර්මාණ වේ. ඔහුගේ නවතම චිත්‍රපටය One Star Rider ලෙසින් නම් කර ඇත.