වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




විජයබා කොල්ලයට සැරසේ

විජයබා කොල්ලයට සැරසේ

පසුගිය දින සුවිශේෂී දවසක් විය. එදා සිනමාවට ආදරය කරන සියලු දෙනා එකතු වෙලා සිනමාවට අලුත්ම කතාවක් දායාදා කරන්නට සැරසුණා. එදවස හරියටම අපේ කතානාද සිනමාවට 71 වසරක් සපිරුණු දවසයි. මේ විදියට එදා සිනමාවේ පතාක යෝධයෝ බම්බලපිටියේ මථුරා අවන්හලට අතුරු සිදුරු නැතිව පිරී ගියහ.

පූරකවරිය කිවූ බසින්ම මම මෙය ලියන්නට සිතුවෙමි. මම ඒ විදියටම ලියන එකට චිත්‍රපට නිෂ්පාදක මඬුල්ල අමනාප නොවනු ඇතැයි සිතමි.

'මේ විදියට අපි සියලු දෙනා එකතු වන්නේ මහලු සිනමාවේ නාඹර තරුණයන් තිදෙනකු වන ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බුද්ධි කිර්තිසේන, සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න, සිනමා අධ්‍යක්ෂක විශ්වනාත් බුද්ධික කීර්තිසේන ලාංකේය සිනමාවට අලුත් චිත්‍රපටයක් දායාද කිරීමේ සමාරම්භක උලෙළ සඳහායි.'

නවකතා පාඨකයන් මුසපත් කළ ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ 'විජයබා කොල්ලය' නවකතාව ඇසුරින් නිර්මාණය කරන චිත්‍රපටයේ තිරපිටපත ලිව්වේ තිස්ස අබේසේකර ශූරීන්ය. ඒ තිස්ස අබේසේකරයන්ගේ අවසන් තිර පිටපතයි.

මෙම විශේෂ මුහුරත් උලෙළ සඳහා සහභාගී වූයේ චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතමයන් වන සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය, නන්දා මාලිනී, ශ්‍රියාණි අමරසේන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, තිස්ස අබේසේකරයන් වෙනුවෙන් අසංකා අබේසේකර, සීමාසහිත ෆිල්ම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් වන රංසිරි කීර්තිසේන මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සී. ඊ. එල්. චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලයේ සභාපති ජී. පද්මරාජා මහතා, ඊ. ඒ. පී. මණ්ඩලයේ විමලදාස යන මහත්වරු සහභාගී වූහ.

එහිදී තිස්ස අබේසේකරයන් ලියූ තිර පිටපත බුද්ධි කීර්තිසේන මහතා විසින් 'විජයබා කොල්ලයේ' අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පිරිනැමීම ද සුවිශේෂී සිදුවීමක් විය. එයට සමගාමීව 71 වසරක ලාංකේය කතානාද සිනමා කර්මාන්තය සැමරීම වස් පැමිණ සිටි සියලුම කලාකරුවෝ කේක් කපා මුහුරත් උලෙළ අවසන් කළහ. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.


ඇලඩින්ගේ පුදුම පහන සිනමාවට

සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ ප්‍රසාද් විජේසූරිය නිෂ්පාදනය කළ 'ඇලඩින් සහ පුදුම පහන' මාධ්‍ය දැක්ම පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

අරාබි නිසොල්ලාසය ඇසුරින් තිර රචනය කළ මෙහි ධනංජය සිරිවර්ධන හා උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත නිරූපණය කරයි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයක් සරසවිය කැමරා ඇසට හසු කර ගත් අයුරුයි.