වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ගලිවර් ලෝකයේ ලිලිපුට්ටන් වන මිනිසා

ඇලෙක්සැන්ඩර් පේන් අධ්‍යක්ෂණයක්

ගලිවර් ලෝකයේ ලිලිපුට්ටන් වන මිනිසා

මිනිසා යනු ලොව වෙසෙන අපූරුජනක වූ සත්ත්වයෙකි. මිනිසුන් තම බාහිර පෙනුමේ ස්වරූපය වෙනස් කිරීමට ඉමහත් කැමැත්තක් දක්වන්නෝ වෙති. සිරුරේ පැහැය වෙනස් කිරීම, හිස කෙස් ස්වරූපය වෙනස් කිරීම, වර්ණ ගැන්වීම, විවිධාකාර ඇඳුම් මෝස්තර අත්හදා බැලීම සේම තවත් පිරිසක් තම හැඩ බැලීම වෙනුවෙන් පැය ගණන් කණ්ණාඩි ඉදිරිපිට කාලය ගත කරති. මේ සම්බන්ධයෙන් ඔබගේ දැක්ම කෙසේ වෙතත් සුවිශේෂ ආර්ථික වාසි සමඟින් සිරුරේ ප්‍රමාණය කුඩා කිරීමට අවස්ථාවක් ලැබුණ හොත් ඔබ ගන්නා තීරණය කුමක්ද?

උස අඟල් පහක් දක්වා මිනිස් සිරුර කුඩා කිරීමේ ක්‍රමවේදයක් විඳ්‍යාඥයන් විසින් සොයා ගැනෙන්නේ දිනෙන් දින ඉහළ යන ජනගහන වර්ධනයට විසඳුමක් ලෙසිනි. මෙලෙසින් සිදුවන ජනගහන වර්ධනය සමඟින් පෘථිවියේ පවත්නා සම්පත් ප්‍රමාණය අවම වීමට කදිම විසඳුමක් ලෙසින් ඉදිරිපත් කෙරෙන මිනිසුන් කුඩා කිරීමේ ක්‍රමවේදය ජනප්‍රිය වන අතර පෝල් සැෆ්රන්ක් සහ ඔහුගේ බිරිය ඇන්ඩ්‍රියා සැෆ්රන්ක් ද එයට එකඟත්වය පළ කරයි.

මෙලෙසින් මිනිසුන් උස අඟල් පහක් දක්වා කුඩා කිරීම සමඟින් පෘථිවිය මුහුණ දී සිටින අධික ජනගහනයට විසඳුම් ලැබෙන්නා සේම එලෙසින් කුඩා ප්‍රමාණයට ලක් වන පුද්ගලයන්හට ද සුවිශේෂ ආර්ථික වාසි රැසක් සමඟින් සුපිරි දිවි පෙවතක් ගත කිරීමට අවස්ථාව උදා වේ. ආර්ථික වාසි සේම පරිසරය සුරැකීම වෙනුවෙන් තම දායකත්වය ද ලබාදීමට ලොව විවිධ රටවල වෙසෙන තවත් බොහෝ දෙනා මෙම වෙනසට මුහුණදීමට එකඟත්වය පළ කරයි.

කෙසේ නමුත් මෙලෙසින් අඟල් පහක ප්‍රමාණයට සිරුර කෙටි කළ පසු යළිත් කිසිම දිනෙක මුලින් සිටි තත්ත්වයට පත්වීමට නොහැකි වුවද අඟල් පහක් උසින් යුතු වූ මෙම පිරිසට නොසිතූවිරූ අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු වේ. මෙම අවස්ථාවට මුහුණදීමට සුදානම් වූ පෝල් සහ ඇන්ඩියා අතරින් අවසන් මෙහොතේ ඇන්ඩ්‍රියා මෙම අවස්ථාව ප්‍රතික්ෂේප කරයි. එතැනින් පසු පෝල් සහ ඇනඩ්‍රියාගේ ජීවිතවලට කුමක් සිදු වේ ද?

මෙම සිදුවීම් දාමය ගෙන එන්නේ, ඇලෙක්සැන්ඩර් පේන් විසින් අධ්‍යක්ෂණය කළ Downsizing චිත්‍රපටය යි. හාස්‍යජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කර ඇති Downsizing ප්‍රථමවරට තිරගත තෙරුණේ පසුගිය වසරේ අගෝස්තු මස පැවති 74 වැනි වැනිස් අන්තර්ජාතික සිනමා උලෙළේදීය. එය ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය දෙසැම්බර් 22 වැනිදා සිට ය. මැට් ඩෙමෝන්, ක්‍රිස්ටොෆ් වෝල්ට්ස්, හොන්ග් චාව්, ක්‍රිස්ටීන් විග් ඇතුලු පිරිසක් Downsizing හි රංගනයෙන් දායක සිටිති. මෙහි තිරරචනය කර තිබෙන්නේ, අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් පේන් සහ ජිම් ටේලර් විසිනි.

Downsizing චිත්‍රපටය IMDb  දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 5.8/10ක් ලබා ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක මනාපය 50%ක් ලබා ගෙන තිබේ. මේ වෙනුවෙන් බොහොමයක් විචාරකයක් සෘණ ප්‍රතිචාර දක්වා ඇති බව පෙනේ. දක්ෂ නළු නිළි පිරිසක් යොදා ගෙන හොඳ අදහස් සමූහයක් පාදක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය නරඹන්නන් අතරින් යම් පිරිසක් සතුටු කළ ද එහි අවසානය දෙස බැලීමේදී එම සතුටුදායක ප්‍රමාණය මඳ බව රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය පවසා සිටියි.

ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්හි විචාරක පීටර් රේනර් පවසන්නේ, මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා සිතන අවසානයට ගමන් නොකිරීම එක් අතකින් හොඳ නමුත් එම බලාපොරොත්තු කඩවීම බරපතළ අයුරින් සිදු වීම නම් එතරම් හොඳ දෙයක් නොවන බවයි. දි ඇට්ලන්ටික් හි විචාරක ඩේවිඩ් සිම්ස්ගේ අදහස වන්නේ, චිත්‍රපට ප්‍රභේදයන්හි එකතුවක් ලෙසින් මෙය නිර්මාණය වූවා නම්, මීට වඩා සුපිරි ගණයේ සිනමා නිර්මාණයක් විය හැකි බවයි. නමුත් චිත්‍රපටයේ රචකයාගේ සංකල්පය (මිනිසුන් කුඩා කිරීම)  විචාරක පැසසුමට ලක් වී ඇත.