වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




බොක්ස් ඔෆිස් මැද ගිනිගත් පද්මාවත්

බොක්ස් ඔෆිස් මැද ගිනිගත් පද්මාවතී

මේ දිනවල සිනමාවට ලැදි කවුරුත් වගේ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කෙරුණු පද්මාවති සිනමා නිර්මාණය නරඹන්න ලොකු උනන්දුවක් දක්වනවා. පසුගිය කාලයේ ඒ වෙත එල්ල වූ අවධානයත් සමඟින් ඉන්දියාව පමණක් නොව බ්‍රිතාන්‍යය ඇතුළුව විදෙස් රටවල් පවා පද්මාවති තිරගත කිරීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසු වුණා.

කෙසේ නමුත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමඟින් ජනවාරි 25 වැනිදා සිට ඉන්දියාව තුළ පද්මාවතී චිත්‍රපටය වෙනුවෙන් පැවති තහනම ඉවත්ව එය පද්මාවත් නමින් තිරගත කිරීම ආරම්භ කෙරුණා.

පද්මාවත් යනු බිහිසුණු බාධක රැසක් මධ්‍යයේ තිරගත කෙරෙන හින්දි සිනමාපටයක් බවට පත් වී අවසන්. ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා නම් කණ්ඩායමේ මූලිකත්වයෙන් යුතු විරුද්ධවාදීන් පවසා සිටියේ, පද්මාවතී චිත්‍රපටය තුළ පද්මිණි රැජනගේ කතාව විකෘති වී ඇති බවයි. ඔවුන් පවසන්නේ, ඓතිහාසික කතාවට අනුව සත්‍ය සිදුවීමේදී මෙම අලවුදීන් කිල්ජි නායකයාට යටත් නොවී පද්මිණි රැජන සිරුරට ගිනි තබා ගත් බවයි. නමුත් චිත්‍රපටයේ අලවුදීන් කිල්ජි නම් මුස්ලිම් නායකයා සමඟ පද්මාවති රැජනගේ සරාගි දර්ශන (අලවුදීන් කිල්ජිගේ සිහිනයක් ලෙසින්) ඇතුළත් වීම හේතුවෙන් මෙලෙස දරුණු විරෝධතා ඇති වූ බවට පසුගිය වසරේ අග භාගයේදී ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පද්මිණි රැජන යනු රාජස්ථාන් ප්‍රාන්තයේ රණකාමී වංශයක් වන 'රාජ්පුත්' වංශිකයන්ගේ ගෞරවය ලබන වීර චරිතයකි. පෞරාණික වෘත්තාන්තවලට අනුව අලවුද්දීන් කිල්ජි අධිරාජයා පද්මාවතී රැජනගේ සුරූපිබව අසා ඇය ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානය ආක්‍රමණය කරන ලද බව සඳහන්. එයිහිදී රාජ්පුත් ආරක්ෂක භටයෝ චිතෝර් බලකොටුව බිඳ වැටීමට පෙර මරණය තෙක්ම සටන් වදිමින් සිටියද අවසානයේ අත් වූ පරාජයෙන් පසු පද්මාවතී රැජන අලවුද්දීන් කිල්ජිගේ ගොඳුරක් නොවී සිය ගෞරවය රැක ගැනීම වෙනුවෙන් බලකොටුවේ සිටි සෙසු කාන්තාවන් ද සමඟ සියදිවි හානිකර ගත් බව කියවේ.

ඉන්දියාවේ ඉතා උණුසුම් දේශගුණයක් ඇති ප්‍රදේශයක් වූ රාජස්ථානයේ රාජ්පුත් පෙළපත ඉතාමත් ගෞරවයෙන් වාසය කළ බවත් පුරාවෘත්ත තොරතුරු ගෙන එයි. රාමායනයට අනුව මේවර්හි රාමගේ පුත්‍රයකු වන ලාවා අයෝධ්‍යාව අතහැර බටහිර පන්ජාබයේ ලාහෝර් නමින් නගරයක් ඉදිරිකර සූර්යවංශය පිහිටුවා ගත් බව කියවේ. පද්මිණි රැජනගේ සැමියා මේවර්හි රතන් සිං 1302 පමණ කාලයේදී චිතෝර්හි රජ වූ කුමාරයෙකි. ඔහුගේ පාලන සමය වසරකට සීමා විය. ඔහුගේ බිරිය ශ්‍රී ලාංකික කුමරියක වූ පද්මාවතී නම් වූවා.

පද්මිණි රැජන රාජ්පුත් වංශිකයන්ගේ පමණක් නොව ඉන්දියාවේ අනෙකුත් කුල පරම්පරාවලද දෙවඟනක් ලෙසින් සලකන්නේ ඇය පතිවත රැකි හේතුව නිසාම නොවන බවත් රණ බිමට පිවිස තම සැමියා රැක ගැනීම වෙනුවෙන් එඩිතරවීම නිසා බවත් කියවේ. මහාචාර්ය ලින්ඩ්සේ හාර්ලන් මහාචාර්යවරිය සිය Religion and Rajput Women කෘතියේ මේ බව සඳහන් කර ඇති අතර පද්මිණි රැජන තම කාන්තා චරිතය පසෙක දමා තම සැමියා බේරා ගැනීම වෙනුවෙන් අභීතව පුරුෂයකු මෙන් යුද පෙරමුණට යාම හේතුවෙන් ඇය වීර කාන්තාවක ලෙසින් පුද ලබන බවත් සඳහන් කර තිබේ.

සංජේ ලීලා බන්සාලි පද්මාවත් චිත්‍රපටයට මලික් මුහම්මද් ජේසී විසින් රචිත පද්මාවත් පද්‍ය කාව්‍යය පමණක් පාදක කර ගැනීමත් චෝදනාවට ලක් වී ඇත. පද්මිණි රැජන පිළිබඳ කතා පුවත එක් කතාපුවතකට සීමා නොවන බවත් එය ඓතිහාසික කතන්දර රැසක් සමඟින් බද්ධ වන බැවින් එක් කතන්දරකියන් පමණක් පද්මිණි රැජන පිළිබඳ සිනමා නිර්මාණයක් කිරීම ඇයට කරන්නා වූ විශාල අගෞරවයක් බව තවත් පිරිසකගේ චෝදනාව විය. සංජේ ලීලා බන්සාලි පද්මාවත් චිත්‍රපටයට පාදක කර ගෙන ඇත්තේ 1540 පමණ මලික් මුහම්මද් ජේසී විසින් පද්මිණි රැජන පිළිබඳ රචිත පද්මාවත් පද්‍ය කාව්‍යය (Padmavati) යි.

එහි සඳහන් වන්නේ, අතිශය රූමත් පද්මාවතී නම් සිංහල රජ කුමාරිකාවක් පිළිබඳ තොරතුරු ගිරවකු මඟින් අසා දැන ගන්නා චිතෝර්හි යුව රජ රතන් සිං, සිංහල දේශයේ හෙවත් ශ්‍රී ලංකාවට පැමිණ පද්මාවතිය දිනා ඇය ද සමඟින් යළි චිතෝර් බලා ගිය බවයි. සුරූපි පද්මාවතිය පිළිබඳ තතු දැන ගන්නා දිල්ලියේ සුල්තාන්වරයකු වූ අලවුදීන් කිල්ජි, චිතෝර් ආක්‍රමණය කරන්නේ ඇය ලබා ගැනීමටයි.

පද්මාවත් චිත්‍රපටය පද්මාවතී ලෙසින් නම් වී තිබියදි විකෘති කළ බවට චෝදනා නඟමින් එයට එරෙහිව පළමුවර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු වූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පවසා සිටියේ, සත්‍ය කතාපුවතකින් නිර්මාණයක් කිරීමේදී වුවද නිර්මාණයට අවැසි පරිදි යම් යම් අවස්ථා වෙනස් කිරීමේ නිදහස නිර්මාණකරුහට ඇති බවයි. අනතුරුව ප්‍රාන්ත රාජ්‍ය කිහිපයක් (මහාරාෂ්ට්‍ර, ගුජරාත්, උත්තර ප්‍රදේශ්, හර්යානා) කළ ඉල්ලීම වූයේ, තම ප්‍රාන්ත රාජ්‍යයන්හි රාජ් පුත් පරම්පරාවේ නියෝජනය සැලකිය යුතු ප්‍රතිශතයක් වන බැවින් මෙම චිත්‍රපටය තිරගත කළ හොත් කලබල ඇති විය හැකි නිසා තම ප්‍රාන්තයන්හි නීතිය හා සාමය රැකීම වෙනුවෙන් මෙම චිත්‍රපටය තහනම් කරන ලෙසයි. එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වූයේ, ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින් යම් සිනමා නිර්මාණයක් අකැමැති අයෙකුට නැරඹීමෙන් වැළකී සිටීමටත් කැමැති අයෙකුට නැරඹීමටත් නිදහස ඇති බවත් එහෙයින් මෙය වාරණය කළ නොහැකි බවයි.

මෙලෙසින් නිදහස ලද පද්මාවත් චිත්‍රපටය තිරගත කිරීම පසුගිය 25 වැනිදා සිදු වූ අතර මේ වන විට එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත කෙරෙන බවත් බොලිවුඩ් පුවත් ගෙන එනවා. ඉන්දීය රුපියල් කෝටි 190ක වියදමෙන් නිර්මාණය කෙරුණු පද්මාවත් චිත්‍රපටය තිරගත කර තෙදිනක් ඇතුළතදී ඉන්දීය රුපියල් කෝටි 129.83ක් වාර්තා කිරිමට සමත් වී තිබෙනවා. මුම්බායි, දකුණු ඉන්දියාව, බටහිර බෙංගාලයේ අති සාර්ථක අයුරින් තිරගත කෙරෙන බවත් දිල්ලි සහ පන්ජාබයේ එය මඳක් පසුබෑමකට ලක් වී ඇති බවත් වාර්තා වෙනවා. ඒ අතරම පද්මාවත් චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා සිටි ප්‍රාන්තයක් වූ ගුජරාතියේ ඇතැම් පිරිස් විසින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා. මේ නිසාම ඇතැම් සිනමා ශාලා ඉදිරිපිට දැඩි හමුදා රැකවල් යොදා ඇති බවත් සඳහන්.