වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




පිපුණු ඒ මල නමින් වතුසුදු

1943-2018

පිපුණු ඒ මල නමින් වතුසුදු

ආචාර්ය ධර්මසේන පතිරාජ පසුගිය ඉරිදා පාන්දරම සමුගත්තේය.ජීවත් වූ කාලය අවුරුදු 74 කි.1943 මාර්තු මස 28 වැනි දින උපත ලද ඔහු 2018 වසරේ ජනවාරි 28 වැනි දිවි සැරිය අත් හළේය.මේ සමුගැනීම අමුත්තක් නොවේ.පැමිණි සියල්ලම කවදාක හෝ යායුතු වුවත් පතිරාජයන් වෙන්ව යන බව කල්තියාම දැනිණ. ඔහු ජීවත් වු සමයේම පතිට පනහයි යනුවෙන් මෙයට මාස කිහිපයකට පෙරාතුව විශේෂ උත්සවයක් සම්පාදනය වූයේ එහෙයිනි.එවර සරසවිය ඔහු වෙනුවෙන් විශේෂ කලාපයක් නිකුත් කළේය.

ආචාර්ය ධර්මසේන පතිරාජයන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදියෙකි.ධර්මරාජයේ ඉගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිය ලබා ගත් ඔහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයන් ආචාර්ය උපාධිය දිනාගත්තේය.පතිරාජයන්ගේ සිනමාව මෙන්ම ඔහුගේ සිතුවිලි ද අපේ බහුතරයක හඳුනා නොගත් වගක් පළ වෙයි.සිනමාකරුවකු මතු නොව ඔහු කවියෙකි.පරිවර්තකයෙකි.නාටය්‍යකරුවෙකි.ගී පද රචකයෙකි. ඒ සියල්ලටම වඩා පරම්පරාවකට ගුරු වූවෙකි.ඇසි දිසි මාධ්‍යයෙහි පතිරාජ භූමිකාව අවිවාදිතය.

භෞතික වාදියෙක් වන ධර්මසේන පතිරාජයන් සිය මරණයෙන් පසු නිවන හෝ ස්වර්ගයට යෑම ප්‍රාර්ථනා නොකළේය.ඔහු අවබෝධ කොට නොගත්තෝ පතිරාජයන්ට නිවන් සැප ලැබේවා යැයි පැතූහ.ටෙලිවිෂනයේ කතා කළ එක් දේශපාලකයකුට අනුව නුවර උපන් පතිරාජයන් නුවරම හැදී වැඩී නුවර ජීවත් වී නුවර පිළිබඳ චිත්‍රපට හැදුවෙකි. ඔහුට අනුව සුගතපාල ද සිල්වා ගේ හන්තානේ කතාවෙන් සිනමාවට එක් විය.

හැත්තැව දශකය මෙරට ඉතිහාසයේ රැදෙන්නේ තරුණ ආකල්ප පිබිදීමක් කළ යුගයක් හැටියටය.එය හුදු ඕපාපාතික සිදුවීමක් නොවේ.එය දේශපාලනය වශයෙන් පමණක් නොව සියලු කලාවන්ගේ ද දැකිය හැකි ලක්ෂණයකි.ලෝකය උඩු යටකුරු කිරීමේ අභිලාසයෙන් සම්මතය අසම්මතයක් කර ගන්නට තරුණ කළ වෑයම එම යුගයේ ගැටවරයන්ව සිටි වත්මනෙහි වැඩිහිටියන් පවසන්නේ අතීත.කාමයෙන් මත් වීමෙන් පමනක් නොවේ.පතිරාජයන් අයත් වනුයේ එම යුගයටය.

එහෙත් අතීතකාමයෙන් දිවි නොගෙවූ හෙතෙම සර්වකාලිනයක් වූයේය.හැටේ දශකය අවසන් වන විට සිනමාව පිළිබඳ තරුණ උනන්දුව අධික විය.එය විශ්ව විද්‍යාලයේ මෙන්ම පාසලේ ද වැඩපොළේ ද කතාකරන පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාකරන සිනමාවක් විය.කොළඹ මෙන්ම පේරාදෙණි විශ්ව විද්‍යාලය ද සිනමා සංගම් පිහිටුවනු ලැබ අතර එම විශ්ව විද්‍යාල ද්විත්වය මගින් කෙටි චිත්‍රපට ද බිහි කරන ලදී.අද මෙන් නොව දළ සේයා පට උපයෝගී කොට චිත්‍රපට තනන එකල එය ඉතා දුෂ්කර කාර්යක් විය.

පාසල් මට්ටමින් රංජිත් ලාල් ප්‍රමුඛ ආනන්ද සිසුන් නිම් වළල්ල නිර්මාණය කළේය.රජයේ සේවකයකු වූ ජී.ඩී.එල් පෙරේරා කලා පෙළ බිහි කොට සිනමාකරණයට බටුයේය.සුගතපාල සෙනරත් යාපා බිහිවනුයේ ඒ හරහාය.ඔහු හන්තානේ කතාව ට මුළ පුරන්නේ පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිස සමඟය.පතිරාජයන් ඒ කණ්ඩායමේ නායකයාය.

අහස් ගව්ව මේ තරුණ සිනමාවේ කූටප්‍රාප්තියයි.පතිරාජයන්ගේ සිනමා නිර්මාණයන් සෙසු සියලු සමකාලින චිත්‍රපට අභිබවා නැගී සිටියි.අප වැන්නන් න අහස් ගව්ව අත් දකිනුයේ එය බිහි වූ සමයේ නොව එයින් වසර හය හතකට පසුවය.පතිරාජයන්ගේ චිත්‍රපටයක් අපට මුල් වරට අත් දකින්නට ලැබෙන් බඹරු ඇවිත්ය.

මේ මාහැගි චිත්‍රපටය කුඩා සිසුන් වු අපට දැක ගන්නට සැලසූ විද්‍යාල ගුරුවරුන් හා එහි සිනමා සංගම් මෙහෙය වූ පාසලේ ලොකු අය්යලා සිනමාකෘතිය පිළිබඳ සම්මනත්‍රණයක් ද එහි සංවිධානය කළහ. ධර්මසේන පතිරාජයන් මෙන්ම විජය කුමාරතුංගයන් ඇතුළු චිත්‍රපටයට සම්බන්ධ බොහෝ දෙනා එදා පාසලට පැමිණ සිනමාලෝලි පාසල් දරුවන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.

එකල හත් වැන්නේ සිටි මට නැගුණ ප්‍රශ්නය ට විජය කුමාරතුංගයන් දුන් පිළිතුර වූයේ ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට තරම් මා එකල ලොකු වැඩි බවයි. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සිනමාවට වසඟ වන මට ඔහු යළි මුණ ගැසෙන්නේ සරසවිය පුවත්පත හරහාය.ඒ කඩුල්ල ටෙලි නාට්‍යය විකාශය වන අතරතුර පුවත්පත වෙනුවෙන් සාකච්ඡාවක් කිරීමටය.එයින් .

තවත් වසර කිහිපයකට පසු ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් නගරයේ පැවැත් වූ ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළ ට මම සහභාගි වීමි.ඒ සරසවිය හිටපු කර්තෘ ඒ.ඩී රන්ජිත් කුමාර මහතා සමගය. ධර්මසේන පතිරාජයන් ද එයට සහභාගි විය.අප තිදෙනාම නැවතී සිටියේ එකම කාමරයකය.මහා සිනමාවේදියා සමග සිටි සොදුරු රසවතා මුලින්ම හදුනාගන්නේ එවිටය.ඒ වන විට ලංකාවේ සතර අත මුරකාවල්ය.

ත්‍රිවේන්දුම් වලදී අපි මෙරට නැති නිදහස භුක්ති වින්දෙමු.එවර සිනමා උලෙළේ එක් අවස්ථාවක් මගේ මතකයෙන් බැහැර නොයයි.ඒ විශිෂ්ට සිනමාකාරුවන් ලෙස පතළ අප්රාණා සෙන් ගේ හා අමොල් පලේකාර්ගේ චිත්‍රපට සිනමා උලෙළ මගින් ප්‍රතික්ෂේප කිරීමයි.චිත්‍රපට තේරිමේ කමිටුවේ ප්‍රධානියා වූයේ තවත් විශිෂ්ටයකු වන මනි කෞල්ය. මනිට එරෙහිව අවි අමෝරා ගත් අපර්ණා හා අමොල් හිතවාදි හු ජාත්‍යන්තර සිනමා උලෙළ පැවත් වූ සිනමාහල්වලට යාබද සිනමාහලක් වෙන් කොට ඔවුන්ගේ චිත්‍රපට විදෙස් අමුත්තන් සඳහා පෙන්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළහ.අපට ද ඒ සදහා ආරාධනා ලැබිණ.

චිත්‍රපටය අරඹා පැය භාගයක් ගත වන්නට මත්තෙන් මනි කෞල් ගේ නිවැරදි ආකල්පය සමග එක්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් මට නොවිය.එහෙත් මගේ වැඩිහිටියන් දෙපොළ චිත්‍රපටය නරඹනු දුටු මම ඉවසා සිටින්නට තැත් කළෙමි.පතිරාජයන් හෙමිහිට මගේ ඉරියව් වටහා ගත්තා සේය.මේක වාතයක්.අපි හීන් සැරේ යං

සිනමාව හා කලා ව පිළිබඳ අපූරු දේශනයක් එයින් පසු ගෙවුණු සැදෑවේ පතිරාජයන් වෙතින් මම අසා සිටියෙමි. අපට සිනමා රසාස්වාදනය විඳගත් ඉහළම පාඩමක් ලැබුණේ එහෙමය.

ආචාර්ය ධර්මසේන පතිරාජයන් පිළිබඳ බොහෝ ගුණ කථන ද විමර්ශන ද මේ සතිය පුරා පැතිරණ.පතිරාජයන්ගේ සිනමා කෘතියක් හෝ රස නොවිඳී බොහෝ දෙනා ද ඒ අතර වූ බැව් කිව යුතුය.ඒ ප්‍රතිචාරය ජීවත් ව සිටි සමයේ ලැබිණි නම් ඔහුගේ අවසන් සිනමාකෘතිය වන ස්වරූප එයට වඩා කතිකාවතක් මෙරට තුළ ගොඩ නගන්නේය.පතිරාජයන්ගේ සිනමාව කියැවීම දුෂ්කර බන්ධනයක් ලෙස සැලකූ බවක් ඇතැම් විචාරක මතවාද ඇතුලේ ගැබ්ව ඇති සෙයකි.

එහෙත් ධර්මසේන පතිරාජයන්ගේ සිනමාව යනු බොහෝ විචාරකයන්ට වඩා ඉදිරියෙන් සිටි සිනමාවකි.අවාසනාව නම් පතිරාජයන්ගේ සිනමාව පිළිබඳ මෙරට විශ්ව විද්‍යාලයන්ගේ පවා උගන්වනුයේ ඒ පිළිබඳ දැක්මකින් පමණක් නොව නැරඹිමකින් ද තොරවය. සිනමාව පිළිබඳ මුල් වතාවට හදාරන්නට සැලසුම් කරන ලද්දේ පතිරාජයන් විසිනි.ඒ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේය.ඒ මෙයට වසර පහළොවකට පමණ ඉහතය.මේ වයායාමය විවිධ හේතුන් නිසා කඩාකප්පල්වූ වග පමණක් මම දනිමි.ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතරින් ප්‍රේක්ෂකයාට දැක ගන්නට ලැබුණේ කිහිපයකි.

ඒ අහස් ගව්ව,එයා දැන් ලොකු ළමයෙක්,බමරු ඇවිත්,පාරදිගේ,පොන්මනී,සොල්දාදු උන්නැහේ,මතු යම් දවස,සක්කාරම්, සහ ස්වරූප පමණකි.සිර කඳවුරු,ෂෙල්ටන් සහ කාන්ති,වාසුළි කිසි දිනෙක තිර ගත වූයේ නැත.ඔහු ටෙලිවිෂනයේ නිර්මාණය කරන සමයේ එය කලා නිර්මාණ කළ හැකි මාධ්‍යයක් යැයි ප්‍රතික්ෂප කළ අවධියයි.පතිරාජයන් සාමාන්‍ය ජනයා අතරට වඩා සමීප වූයේ ද ඒ හරහාය.කඩුල්ල එකල තිර ගත වූ මෙරට සිනමා කෘතින් ටවඩා ප්‍රෙක්ෂකයන් ආකර්ෂණය කළා පමනක් නොව විදග්ධ ටෙලිවිෂන කලාවක් කරා ද සාමාන්‍ය ජනතාව යොමු කළ දුර්ලබ අවස්ථාවක් විය.

එය එවර අනුග්‍රහය දැක්වූ බැංකුව එම වසරේ වඩාත්ම ආකර්ශණීය බැංකුවක් බවට පත් වූවා පමණක් නොව එහි පාළනාධිකාරිවරයෙක් වෙනත් බැංකුවකට සේවය ගිය විට කළ මුල්ම කාර්‍යක් වූයේ පතිරාජයන් හරහා තම අලුත් සේවා ස්ථානයේ අනුග්‍රහය යටතේ ලබාගත් ටෙලි නට්‍යයක් නිර්මාණය කිරීමය.එවර පතිරාජයන්ගේ නිර්මාණයට පාදක වනුයේ එමලි බ්‍රොන්ටේ ගේ වදරිං හයිට්ස් කෘතියයි.

ඔහුගේ මුල්ම ටෙලි වෘත්තාන්තය වූයේ ගගුළෙන් එගොඩටය.අවසාන ටෙලි වෘත්තාන්තය වූයේ කම්පිත විලය.ඒ 2009 වසෙර්ය.ඔහු විසින් නිර්මාණය කරන ලද ඉන් සර්ච් ඔෆ් ජැෆ්නා නොඅනුමානවම මෙරට බිහි වූ ඉහළම ඝනයේ අර්ධ වෘතාත්තයක් ලෙස සැළකිය යුතුය. මෙරට මුල්ම අන්තර්ජාතික සිනමා උලෙළවන කොළඹ සිනමා උලෙළ ආරම්භ කළේද ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ප්‍රධානත්වයෙනි. දැනට නතර වී ඇති මෙම සිනමා උලෙළ යළි ඇරැඹීම පතිරාජයන් වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවයක් ලෙස එහි සංවිධායකයන් වූ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට දන්වනු කැමැත්තෙමි.

පසුගිය සරසවිය සිනමා සම්මාන උලෙළේ දී තරුණ සිනමාකරුවන් උදෙසා අලුතින් හදුන්වා දෙන ලද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය සඳහා විනිශ්චය මණ්ඩලයේ සභාපතිවූයේ ආචාර්ය ධර්මසේන පතිරාජය.එහි සෙසු සාමාජිකයන් වූයේ ද මෙරට විශිෂ්ටයැයි සම්මත තරුණ සිනමාකරුවන්ය.එවර ආචාර්ය ධර්මසේන පතිරාජයන් හා ප්‍රමුඛ විනිශ්චය මන්ඩලයේ නිර්භීත තෝරා ගැන්ම වූයේ විශාකේශ චන්ද්‍රසේකර නම් තරුණ සිනමාකරුවාගේ සය පෙති කුසුමය.සරසවිය අලුතින් හදුන්වා දුන් තරුණයන්ගේ සිනමා සම්මානයට නිසි ගෞරවය ලබා දෙන්නට එමගින් ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට හැකි විය.අපේ සිනමාව කියැවීම නම් ආචාර්ය ධර්මසේන පතිරාජ සිනමාව ගැන කියැවීම අත්‍යාවශ්‍ය සාධකයකි.

මහා සිනමාවේදියාණෙනි ඔබට සමස්ත සිනමාව වෙනුවෙන් සරසවිය සිය ගෞරවය පුද කර සිටියි.