වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මට එයාගේ රැකියාව අදාළ නැහැ

මට එයාගේ රැකියාව අදාළ නැහැ

රිතූ ආකර්ෂා

මම ආදරවන්තියක් නොවෙයි

ජාතික රූපවාහිනියේ විකාශය වූ චන්දන ධර්මප්‍රියගේ ‘චුට්ටේ’ ටෙලි නාට්‍යය කා අතරත් ජනප්‍රියයි. ඒ කුණු අඳීන චුට්ටේ නම් තරුණයකුට ආදරය කරන නගරාධිපතිගේ දියණිය නිසා. ඒ දියණියට පණ පොවන්නේ නවක නිළියක් වන රිතූ ආකර්ෂා. රිතූගේ නමින්මයි ඒ චරිතයත් නම් කරලා තිබෙන්නේ. ඒත් තාත්තා ඈට කතා කරන්නේ සමනලී කියලා. සමනලීගේත්, චුට්ටෙගේත් මේ දවස්වල ගලාගෙන යන ආදර අන්දරය ගැන දැන ගන්න අපි රිතූට කතා කළා.

* රිතූ කියන නම ඔබට තියන්නේ කවුද?

‘චුට්ටේ’ කතාවේ මගේ අම්මයි මට රිතූ කියලා නම තියන්නේ. ඒ ඈට වුවමනා මට පොෂ් නමක් තියන්නයි. ඒත් තාත්තා මට කතා කරන්නේ සමනලී කියලයි.

* මේ කාලයෙත් එක්ක ගත්තට පස්සේ සමනලී කියන්නේ වෙනස් විදියේ තරුණියක්?

සමනලී ලොකු පවුලක හැදුණත් සාධාරණයට වැඩ කරන තරුණියක්. ඈ නගරාධිපතිගේ දුව වුණත් වැඩකරන්නේ සාධාරණයටයි.

* ඒ වගේ ම සමනලීගේ නිවෙසත් පරිසරය බොහොම වෙනස් නේද?

සමනලීගේ අම්මයි මුළු නිවෙසෙම පාලනය කරන්නේ. සමනලීට මල්ලි කෙනෙක් ඉන්නවා. ඔහු හැදෙන්නේ අම්මා විදියටයි. ඒත් සමනලී හැදෙන්නේ එයාගේ තාත්තා විදියටයි. අම්මා කරන අකටයුතු වැඩ නිසා සිදුවන හානිය බොහොමයි. මේ වගේ කතාවක් අද සමාජයට බොහෝ ආදර්ශ ගෙනෙනවා. ඒ ලැබෙන ආදර්ශයයි වඩාත් වැදගත් වන්නේ.

* සමනලී ඔබට රඟපෑමට ලැබුණු ආදර චරිත අතරින් වෙනස් චරිතයක්ද?

මේ චරිතය අනෙක් ප්‍රේම චරිත අතරින් වෙනස් වන්නේ සමනලී කියන්නේ නගරාධිපතිගේ දියණිය වුණත් ඈ මාධ්‍යවේදිණියක්. නිතරම සමාජයේ සිදුවන අසාධාරණයට එරෙහිවයි නැඟී සිටින්නේ. ලියන්නේ. ඒ නිසා මෙතෙක් මා රඟපෑ චරිත අතරින් වෙනස් වූ චරිතයක් විදියටයි මා සමනලීව දකින්නේ.

සමාජයේ කොහේ හෝ ගිහින් නමක් මතක් කළ ගමන් ම අපේ සිතට පිවිසෙන්නේ ඒ පුද්ගලයාගේ නරක පමණයි. ඔහු කළ හොඳ දේවල්, ඔහුගේ ගතිගුණ අපි කියන්නේ නැහැ. ඒ නිසා දේශපාලනඥයෝ වේවා, පොලිසිය, නළු නිළියන්, මාධ්‍ය වගේ මේ කියන සෑම ක්ෂේත්‍රයකම ගත්තොත් මේ ක්ෂේත්‍රවල හොඳ සහ නරක අය දෙගොල්ලොම ඉන්නවා. ඒත් කතාබහට ලක්වන්නේ නරක පමණයි. මේ නිසා මේ අය අතර ඉන්න හොඳ අය ගැනත් කියන්න ඕනෑ.

* සමනලී ආදරය කරන්නේ කුණු ට්‍රැක්ටරයක වැඩ කරන චුට්ටේටයි?

ඈ මුලින්ම චුට්ටේ වැඩ කරන්නේ කුණු ට්‍රැක්ටරයේ කියලා දන්නේ නැහැ. චුට්ටේ හෙවත් විරාජ් ඈට කියන්නේ ඔහු සී.අයි.ඩී. නිලධාරියෙක් කියලා. ඒත් එක්තරා ස්ථානයකදි සමනලී දැන ගන්නවා විරාජ්ගේ රැකියාව මොකක්ද කියලා.

* ඇත්තටම සමනලී වගේ තරුණියක් කුණු ලොරියක වැඩ කරන තරුණයකුට ආදරේ කරයිද?

ආදරේ කියන්නේ අප ආදරය කරන කෙනාගේ වාසගම, තරාතිරම, වයස බලලා ඇතිවන දෙයෙක් නොවෙයි. මුලින්ම සිදුවන්නේ දැකීමයි. ඊට පස්සේ කතා කරන්න ගන්නවා. ඊළඟටයි ගෙදරට කියන්නේ. මේ අය අතර තමන්ට ගැළපෙනවාද බලලා ආදරය කරන කොට්ඨාසයකුත් ඉන්නවා. තවත් සමහරු ආදරයට ආදරය කරන අයත් ඉන්නවා. ඒත් මේ වගේ සිදුවීමක් විය හැකියි. ආදරයත් එක්ක මේ වගේ දේවල් සිදුවිය හැකියි.

* ඔබ ආදර වන්තියක්ද?

මම ආදරවන්තියක් නොවෙයි.

* ඒත් ඔබටත් එවැනි කෙනෙක් ආදරෙයි කියලා කිව්වොත් ඔබ කරන්නේ මොකක්ද?

මුලින්ම බොරුවක් කිව්ව නිසා මට එයත් එක්ක තරහක් ඇතිවෙයි. ඒත් මට එයා ආදරය කරන්න කලින් කිව්වොත් මම වැඩ කරන්නේ කුණු ට්‍රැක්ටරයක කියලා මම ආදරෙයි නම් ආදරය කරයි. ඒ වගේ ම එයත් මම බලාපොරොත්තු විදියට මට ආදරය කරනවා නම් අනිවාර්යයෙන්ම මම ආදරේ කරයි. එතැන ආදරයත් තියෙන නිසා.

* ඒ කියන්නේ ඔබට ඔහුගේ රැකියාව අදාළ නැහැ කියන එකද?

ඇත්ත කියලා ඔහු කුමන රැකියාවක් කළත් මම ආස කරන ආදරයක් ඔහු ළඟ තිබුණොත් ඔහුට මා ආදරය කරයි. මා කවදාවත් ආදරයේදි ඔහුගේ රැකියාව, පවුල, සල්ලි තියෙනවාද කියලා බලන කෙනෙක් නොවෙයි.

* ඔබ ඔය පවසන්නේ සත්‍යයමද? නැත්නම් පුවත්පතකට නිසාද මෙලෙස පවසන්නේ?

කොහොමත් මම සාමාන්‍ය විදියට ඉන්න කැමැති කෙනෙක්. ඒ වගේ ම මම විවාහ වෙන්න කැමැති සාමාන්‍ය කෙනෙක් එක්කයි. බොහෝ සල්ලි තිබෙන අය සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක, වේදනාව ගැන දන්නේ නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් මේ සියල්ලම විඳලා තිබෙන නිසා දුක, වේදිනාව, සතුට, සැප ගැන දන්නවා. ඒ නිසා මම කවදාහරි විවාහ වුණොත් සාමාන්‍ය කෙනෙක් සමඟයි විවාහ වන්නේ.

* ඒ කියන්නේ ඔබ කිසිම දවසක නළුවකු විවාහ කරගන්නේ නැහැයි කියලද?

එහෙම කියන්නත් බැහැ. ආදරේ කියන එක කොතැනක ඇතිවේවිද කියලා අපට කියන්න බැහැ. ඒ නිසා මම දැනට මේ කිසිම දෙයක් ප්ලෑන් කරලා නැහැ. මෙතෙක් මට නළුවකු සමඟ කිසිම සම්බන්ධයක් ඇතිවෙලා නැහැ. ඒ වගේ ම මම ඔයාට මේ වෙලාවෙදි කිව්වොත් නළුවකු බඳීන්නේ නැහැයි කියලා කවදහරි එහෙම වුණොත් ඔයා මට චෝදනා කරාවි. ඒ නිසා ආදරය ඇති වෙන්නේ කොහොම කෙනෙක් එක්කද කියලා මම තාම දන්නේ නැහැ. තවම මගේ හිත කිසිම කෙනෙකුට ගිහින් නැහැ.

* ඔබ කිසිම දවසක ආදරේ කරලා නැති බවද ඔබ ඔය පවසන්නේ?

අනේ නැහැ. මම ආදරය කරලා තිබෙනවා.

* ඒ ආදරය ගොඩක් දුර අරගෙන එන්න බැරිවුණේ ඇයි?

මුලින්ම අපි කෙනෙකුව දැකලයි ආදරයක් ඇති වන්නේ. ඊට පස්සේයි කතාබහ කරන්නේ. කාලයක් යද්දි ඒ කෙනොගේ මුලින්ම තිබෙන ඒ ගතිගුණ පස්සේ ඔහුගේ ජීවිතයේ නැති වන විට අපට තේරෙන දෙයක් තමයි ඔහු මට ගැළපෙන්නේ නැහැයි කියන කාරණය. අදහස් ගැළපෙන්නේ නැහැයි කියන එක. ඒ නිසා ඒ වගේ දේවල් දුරදිග යන්න කලින් මඟින් නතර කර ගැනීමයි සිදුවිය යුත්තේ. ඒ මගේ ආදරයටත් වුණේ එහෙම දෙයක්.

* ඒ වුණාට දැන් විවාහ වෙන්න කාලය හරියි නේද?

අපේ ගෙදරින් ඒ ගැන දැන් දැන් කතා කරනවා. අම්මා, තාත්තා විමසන්නේ ඒ අය ගෙනෙන යෝජනාවකට කැමැති වෙනවාද කියලයි. නැත්නම් මගේ හිත ගත්ත කෙනෙක් ඉන්නවාද කියලත් ඔවුන් විමසනවා. මේ දවස්වල නම් ටිකක් විවාහය ගැන අහලා කරදරයි.

* සමනලීගේ චරිතය රඟපෑමට ඔබගේ පෙම්වතා චුට්ටේගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?

චුට්ටේගේ චරිතය රඟපාන්නේ සුරාජ් අයියා. ඔහුගෙන් මගේ චරිතය රඟපෑමේදි බොහෝ උදව් ලැබුණා. අපි දෙන්නා බොහෝ වෙලාවට කතා කරගෙනයි රඟපෑවේ. ඒ වගේ ම ඔහුත් සමඟ මා රඟපාන්නේ පළමුවතාවටයි. ඔහු ඇත්තටම විරාජ්ම තමයි. විහිළුවෙන්මයි දර්ශන තලයේදි කාලය ගත කරන්නේ. ඒ කාලය ඇතුළත අපි හැමදාම අච්චාරු කෑවා. චුට්ටේ ටෙලි නාට්‍යයේදි ආරම්භයේ පටන් අවසානය දක්වාම අච්චාරු කන එක පුරුද්දක් බවට පත්වුණා. නගරසභාවේ රූගත කිරීම් සිදුකළ නිසා එතැන තිබෙන අච්චාරු කඩෙන් හැමදාම සුරාජ් අයියා මුළු සෙට් එකටම අච්චාරු අරන් දුන්නා.

* මාධ්‍යවේදිනියකගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන විට ඔබ සමනලීගේ චරිතයට එකතු දේවල් මොනවාද?

සාමාන්‍ය ජීවිතයේදි මාධ්‍යවේදිනියන්ව දැකලා තිබෙනවා. සමනලී නිතරම වැරැද්ද හෙළා දකින තරුණියක්. පවුලේ අය කළත් වැරැද්ද වැරැද්දමයි. මේ වගේ චරිත අද සමාජයේ ඕනෑතරම් ජීවත් වෙනවා. මම ඇත්ත ජීවිතයේදි වුණත් සමනලී වගේමයි. මම වැරැද්දක් දැක්කොත් ඒක වැරැද්දක් කියලා කියන්න අමතක නොකරන තරුණියක්. මගේ අම්මා, තාත්තාට වුණත් වැරැද්දක් කරනවා නම් ඒක කියන්න දෙවරක් සිතන්නේ නැහැ. මගේ මල්ලි වැරැද්දක් කළත් මම මගේ අම්මාට කියලා තිබෙන්නේ මල්ලිව සුද්ධ කරන්න එපා කියලා.

* ඔබ හා සමනලී ළඟ තිබෙන තවත් සමානකම් මොනවාද?

සමනලී කවදාවත් තාත්තා නගරාධිපති කියලා ඒ මාර්ගයෙන් රැකියාව ලබා ගත්තේ නැහැ. මමත් ඒ වගේමයි. මගේ තිබෙන සමහර හඳුනාගැනීම් මාර්ගයෙන් කිසිම දවසක මා මුකුත් කර ගන්න කැමැති නැහැ. මම දෙයකට ගියානම් ඒ හැමදෙයක්ම කළේ මගේ මහන්සියෙන්. රඟපාන එක වුණත් ඒ වගේමයි.

* ඔබගේ පවුලේ අය ඔබ රඟපානවාට කැමැතිද?

මට ඉන්නේ අම්මා, තාත්තා, අයියා හා මල්ලියි. අයියා ඉන්නේ විදේශ ගතවෙලා. මා රංගනයට පිවිසෙන්නේත් මගේ තාත්තා නිසයි. ඔහු පොලිස් නිලධාරියෙක්. ඒ වගේ ම ඔහු කලාවට බොහොම ආදරය කරන කෙනෙක්. ඒ කාලයේ පටන් ඔහු ගාමිණී ෆොන්සේකා මහතාගේ හොඳ රසිකයෙක්. ඔහුගේ චිත්‍රපට සියල්ලම වගේ එකතුවක් ඔහු ළඟ තිබෙනවා. ඒ පසුබිම හරහායි මා කලාවට පිවිසෙන්නේ. මගේ රඟපෑමේ අඩුපාඩු සියල්ල කියන්නේ ඔහුයි.