වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

මීට වසර 67 කට ප්‍රථම ගම්පහ බෞද්ධ පිරිමි පාසලේ ඉගෙනීම ලැබූ එකොළොස් වැනි වියේ පමණ පසු වූ ශිෂ්‍යයන් දෙදෙනෙක් උත්සවයක විරුදු ගායනා කළෝය. ඒ 1951 වසරය. අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැමිණියේය. අගමැතිතුමා විරුදුවලින් සංග්‍රහ කොට පිළිගැනීමට තිබුණේ සෝමසිරි දෙහිපිටිය හා චිත්‍රා බාලසූරිය යන ශිෂ්‍යයන්ටය. ඔවුන්ට එදා අගමැතිතුමාගෙන් රන් පවුම බැගින් තෑගි ලැබුණි. පසු කලෙක විශිෂ්ට නළුවකු වීමට සෝමසිරිට ද, සිංහල සිනමාවේ විශිෂ්්ට චිත්‍රපට දෙකක් වුූ පරසතු මල් හා තුංමං හන්දිය නිෂ්පාදනය කිරීමට චිත්‍රාට ද හැකි වුණි.

එදා සේනානායක මහතා පිළිගැනීමට මුලින්ම විරුදුව කියා ඇත්තේ සෝමසිරිය. රබාන වාදනය කර ඇත්තේ චිත්‍රාය.

සෝමසිරි - සරල සිනා මල් වරුසා

දැන් හැම පැත්තෙන් හැලෙනවා

හිතල ගොතලා කවි කීමට

හොඳ දිනයක් බව පෙනෙනවා

ඊළඟ වාරය චිත්‍රාගේය. රබාන වැයුවේ සෝමසිරිය.

චිත්‍රා - බලපු බැල්මටම මෙන්න

බඹුවඟ කවි මල් පිපෙනවා

කලා රසික පිරිසක්

මෙහි සිටින බව ද මට පෙනෙනවා

එදා මේ විරුදු රචනා කර දී ඇත්තේ පාසලේ ගුරු භවතෙකු වූ එච්. වීරසිංහ මහතාය.

සෝමසිරි දෙහිපිටිය නාඩගම් මඩුවෙන් රංගනයට පිවිසි නළුවෙක් කීවොත් නිවැරැදිය. ඔහු තුළ කලාවට ආදරයක් ඇතිවන්නේ කොළඹ ඉපදී ගම්පහ පැමිණ උසාවියට යාබද චිත්‍රා පටු මඟේ නිවෙසේ පදිංචි වූවාට පසුවය. පුංචි සෝමසිරි නිදි වරමින් ගමේ නාඩගම් මඩුවේ නාටක නැරැඹුවේය.

‘මැටි ගොඩ ගසලා

කරළිය සදලා

මම තමයි - බහු බූත කෝලමා’

සෝමසිරි සම වයසේ ළමුන් හා වැඩිපුරම නාඩගම්වල දුටුවේ කඩු සටන්ය. ඔහුගේ සිංහාසනය වන්නේ කළු ගලකි. මිතුරෝ රජ වූ සෝමසිරිගේ අතවැසියෝ වූහ. කල්යත්ම ඔහු ගම්පහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනීමට එද්දී ගමේ මිතුරු පිරිස අතර රාජසිංහ රජු හා හැම්ලට් කුමරු වූ ඔහුට තිබූ ආභාසය නිසාම පාසල් වේදිකාවේ ද කැපී පෙනෙන්නට අවස්ථාව ලැබිණ. ‘දෛවයෝගය’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය සේනාධීර ලෙස රඟපෑ චරිතයට අන්තර් විද්‍යාලයීය නාට්‍ය තරඟයෙන් හොඳම නළුවා වීමට ඔහු භාග්‍යවත් විය. ඔහු ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දෙන්නේ ගම්පහ පළාතේම උපන් ගුවන් විදුලි නාට්‍ය රංගන ශිල්පියකු වූ ගැමුණු විජේසූරිය විසිනි. මේ වන විට නිෂ්පාදනයට සූදානම් කොට තිබූ පී. වැලිකලගේ ‘මැටි කරත්තය’ වේදිකා නාට්‍යයේ චරිතයක් රඟපෑ සෝමසිරි, වැලිකලගේ ‘රත්නාවලී, මහගම සේකරගේ ‘කුණ්ඩලකේශී’, ‘ස්වර්ණහංසි‘, මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘පබාවතී’, ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘මනමේ’, දයානන්ද ගුණවර්ධනගේ ‘ඉබිකට්ට්, ‘ඇමති පට්ටම්, නීල් ශ්‍රී විජයසිංහගේ ‘අනේ මස්සිනේ’ ආදි වේදිකා නාට්‍යවල රඟපෑවේය.

‘දිනක් දොස්තර ලීනස් දිසානායක හා සිරිල් වික්‍රමගේ ‘පබාවතී’ නාට්‍යයේ මම රඟපෑ මදු රජුගේ චරිතය ගැන පැහැදී වේදිකාව පසුපසට ඇවිත් චිත්‍රපටයක රඟපාන්න කැමැතිදැයි ඇසුවා. ඒ අනුව මාව ‘සත් සමුදුර’ චිත්‍රපටයට තෝරා ගත්තේ. මගේ ප්‍රථම රඟපෑම ඒ. එතැන් සිට වසන්ත ඔබේසේකරගේ ‘වෙස් ගත්තෝ’ චිත්‍රපටයේ හොරෙක් ලෙසයි. ‘සත් සමුදුර’ සමරු පොත සංස්කරණය කළෙත් මම. සෝමසිරි 1973 වසරේ ‘සරසවිය’ පත්‍රයට (අප්‍රේ්ල් 21) මා ලියූ විශේෂාංගයකදී කීවේය.

සෝමසිරි වඩාත් ප්‍රේක්ෂක අවධානයට යොමු වුණේ ටයිටස් තොටවත්තගේ ‘හාර ලක්ෂය’ රඟපෑ ලෑතර බාස්ගේ චරිතයෙනි. රත්නපුරයට සැතැපුම් හතරක් පමණ නුදුරින් පිහිටි හිදැල්ලන ග්‍රාමයේ කොළඹ රත්නපුර පාරේ කරපිංච පාලම අසල දී හොර මුලක් විසින් රථයක් නතර කරනු ලබයි. රථයේ සිටියේ වයිට් හවුස් මහතා සහ ඔහුගේ බිරිඳයි. වයිට් හවුස් මහතා තම වත්තේ පඩි ගෙවීමට බැංකුවෙන් මුදල් ගෙන එමින් සිටියදීය මෙය සිදු වන්නේ. හොර කණ්ඩායමේ නායකයා ලෑතර බාස්ය. ඔහු අතේ පිස්තෝලයකි. වතු පාලකයා කලබල වෙයි.

‘ගිව් මනී’

‘වෙයා මනී’

ලෑතර බාස් ගිගුරුවේය.

‘නෝ මනී’ වතු පාලකයා වෙව්ලමින් කියත්ම ලෑතර බාස් ‘නෝ මනී . . . අයි කිල් යූ’ කියමින් ඔහුට වෙඩි තැබුවේය.

මේ දර්ශනය සෝමසිරි රඟපෑ අයුරු ‘හාර ලක්ෂය’ නැරැඹූ අයට හොඳට මතක ඇති. සෝමසිරි ඉන්පසු එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නියමුවා විය. චිත්‍රපටය වෙනුවෙන් ‘අද දින’ නම් කෙටි පුවත්පතක් ද සකස් කළේය. තුංමං හන්දිය චිත්‍රපටයේ ඔහු ජේමිස් විය. අහස් ගව්වේ සෝමේ විය. වල්මත් වූවෝ හි සෝමදාස ද, දියමන්ති හි ගුණේ ද, දෙවියනි ඔබ කොහිද හි සෝබා ද, සරුංගලේ කරුණාරත්න ද, සිරිබෝ අයියා හි බන්දුහාමි ද, රිදී නිම්නයේ හෙලේනිස් ද, කරුමක්කාරයෝ හි තාත්තා ද, සිහසුනේ ගිරිගෝරිස් ද විය.

මට සෝමසිරි හඳුන්වා දුන්නේ චිත්‍රපට නිෂ්පාදක ලාල් දිසානායක. ඔහු එතැන් සිට මගේ හිතාදර මිතුරකු විය. කොළඹ ටොරිංටන් හි මහාමාර්ග දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරු කාර්යාලයේ සේවය කළ ඔහු මා නිතර හමු වූයේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ අවන්හලේදීය. හවස් යාමයට පතිරාජ, දයා අල්විස්, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස සමඟ ඔහු නිතර දක්නට ලැබෙයි. ලාල් දිසානායකගේ නිවසේ සිහසුන චිත්‍රපටයේ එක් දර්ශනයක් රූ ගත කරන විට මම එහි සිටියෙමි.

සෝමසිරිට තිබුණේ තම දියණිය ලෙස රඟපාන ශ්‍රියාණි අමරසේනට හා බිරිඳ ලෙස රඟපෑ චන්ද්‍රා කළුආරච්චිට යමක් කියන දර්ශනයක් ගැනීමටය.

‘සෝමේ මෙතැනදී කියන්න තියෙන්නේ ‘අර සාගරය මැද දූපතට යමු කියන දෙබස’ ටයිටස් රඟපාන අයුරු හා දෙබස් කියා දුන්නේය.

‘හරි ගමු’ ටයිටස් කීය.

‘දියණිය, අපි අර දුපත මැද තියෙන සාගරයට යමු’

ටයිටස් රැවුල කසමින් ‘පුදුමයි’ කියා බලා සිටියේය.

නැවතත් සෝමසිරි කීවේ ඒ දෙබසමය.

‘යකෝ දූපත මැද කොහෙද සාගරයක් තියෙන්නේ?’

‘සාගරය මැද දූපත’ මිසක්.

සෝමසිරිට ද සිනා ගියේය. වරද නිවැරැදි කොට ඔහු දෙබස හරියට කීවේය.

‘අනේ සෝමේ මම උඹව රජ කරන්න විඳින දුකක්’ ටයිටස් කියා සිනාසුණේය.

සෝමසිරි ‘සිහසුන’ චිත්‍රපටයේ රඟපැවේ රජ චරිතයකි. එය උන්මාදයෙන් පෙළෙන චරිතයකි.

ටයිටස් එවැනි විහිළු කරමින් වැඩ කරන විට විඩාබර නොදැනෙන බව ඔහු සමඟ වැඩ කරන කවුරුත් දනිති.

වරක් මම සරසවිය කර්තෘ ධර්මදාස බොතේජු හා කැමරා ශිල්පී බන්දු කොඩිකාර සමඟ ‘කරුමක්කාරයෝ’ රූ ගැන්වෙන බලංගොඩ කල්තොටට ගියෙමි. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකාරිත්වය පැවරී තිබුණේ සෝමසිරිටය. එපමණක් නොව ජංගම මත්පැන් හලද භාරව සිටියේ ඔහුය. මේ චිත්‍රපටය කළේ අරපිරිමසාගෙනය. නළුවන් නිදා ගත්තේ විශාල ශාලාවක බිම පැදුරු එලාගෙන එක පේළියකටය. විජය කුමාරතුංග, යූ. ආරියවිමල්, දයා අල්විස්, සිරිල් වික්‍රමගේ, දයා තෙන්නකෝන්, උපාලි අත්තනායක, ජී. ආර්. පෙරේරා, පියසේන අහංගම, ලයනල් වික්‍රම මේ අතර විය. එදා කොළඹින් ගිය අපි තිදෙනාට නවාතැන් දීම සෝමසිරිට ප්‍රශ්නයක් විය. ඔහු මා පසෙකට කැඳවීය.

‘මචං අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උඹලා තුන්දෙනාට නිදා ගන්න දෙන්නේ කොහොමද කියලා. අපි බොතේජු මහත්තයට ඇඳක් දෙමු. උඹලා දෙන්නා (මම හා බන්දුට) අපේ කට්ටියත් එක්ක පැදුරේ නිදා ගමුද?’

‘කිසිම ප්‍රශ්නයක් නැහැ’ මා කියත්ම විජය කුමාරතුංග එතැනට පැමිණ ‘මොකක්ද ප්‍රශ්නෙ’ කියා ඇසීය. සෝමසිරි ප්‍රශ්නය කිව්වේය.

‘කිසිම ප්‍රශ්නයක් නෑ. මුන් දෙන්නටම මගේ පැදුරේ දෙපැත්තේ නිදාගන්න පුළුවන්. එතැන හොඳට ඉඩත් තියෙනවා’ විජය කීය. එදා බන්දුත් මාත් විජය අසල දෙපැත්තට වී නිදා ගත් දිනය අපි දෙදෙනාටම අමතක නොවේ.

සෝමසිරි 1933 ජනවාරි 29 ඉපදී 1982 අප්‍රේල් 27 වෙනිදා මිය යන තෙක්ම චිත්‍රපට රැසක රඟපෑවේය. ඒ අතර පෙම්බර මධු, එයා දැන් ලොකු ළමයෙක්, චණ්ඩි පුතා, මරුවා සමඟ වාසේ, ආශා දෑසින්, සෙලිනාගේ වලව්ව, පුරන් අප්පු, බඹරු ඇවිත්, අනුපමා, පොඩි මල්ලී, පාර දිගේ, වාලම්පුරි, සොල්දාදු උන්නැහේ, සතර දිගන්තය, රෑ මනමාලි, සාගරයක් මැද, රිදී නිම්නය, යහළු යෙහෙළි, කරදිය වළල්ල ඉන් කිහිපයකි.

සොම්සිරි හැම නළුවකුගේම මිතුරෙකි. ඔහු හැකි හැම අයුරකින්ම හැමටම උදව් කළ හිත හොඳ පපුව හොඳ මිනිසෙකි.

සෝමසිරිගේ දියණිය නයනාංජලී පවසන්නේ තම පියා ගෙදරදී නිශ්ශබ්ද පුද්ගලයකු බවය. ආදරවන්ත පියකු බවය.

‘අපේ අම්මාගේ නම රූපා රණසිංහ. ගම අම්බලන්ගොඩ. අම්මා නැටුම් ගුරුවරියක්. ඇය චිත්‍රපට කිහිපයක නැටුම් දර්ශනවල ඉඳලා තියෙනවා. හතර මහා නිධානය, ළාදලු, සෝබන සිත, අබුද්දස්ස කාලේ චිත්‍රපටල. තාත්තාට හොඳට බටනළා වාදනය කරන්න පුළුවන්. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ බටනළා වාදකයෙක්ව හිටියා. තාත්තාට හොඳට සින්දු කියන්නත් පුළුවන්. තාත්තා ඉස්කෝලේ යන කාලේ හොඳ වොලිබෝල් ක්‍රීඩකයෙක්ලු. ගම්පහ පැත්තෙම හිටිය මහගම සේකර, සේනාධීර රූපසිංහ (චිත්‍රපට නළු) ඩේවිඩ් සිල්වා (චිත්‍රපට අධ්‍යක්ෂ රංජිත් ලාල්ගේ පියා) සමඟ වොලිබෝල් සෙල්ලම් කරලා තියෙනවාලු. ඒ වගේම ගලහිටියාව සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්න කාලේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් කියලා අම්මා කියලා තියෙනවා’ නයනාංජලී කීවාය.

සෝමසිරිගේ සොහොයුරු චන්ද්‍රසිරි දෙහිපිටිය ඇමරිකාවේ පදිංචිව සිටී. ඔහු ‘වෙස්ගත්තෝ’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයාය. බක්මහ දිගේ, මනමේ නාට්‍යවල ඔහු රඟපා ඇත.

සෝමසිරි පුතෙකු හා දියණියකගේ කරුණාබර පියෙකි. පුතා දමිත් ශ්‍රී ලාල්ය. දියණිය නයනාංජලීය. මේ දෙදෙනාගේ දූ පුතුන් බලමින් සෝමසිරිගේ බිරිඳ කාලය ගත කරන්නීය.