වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අලියාද වටින්නේ මිනිසාද වටින්නේ ‘සොමි ළමයා’ අසයි

අලියාද වටින්නේ මිනිසාද වටින්නේ ‘සොමි ළමයා’ අසයි

දිනෙන් දිනම උග්‍ර වෙවී තියෙන ප්‍රශ්නයක්
විසඳන්නට මැදිහත් වෙන් නෑ කිසිම කෙනෙක්
මේ කොහොම වුණත් නැති වෙන්නේ මිනිස් ප්‍රාණයක්
අලි මිනිස් ගැටුම් අදටත් ඇති ලොකුම ප්‍රශ්නයක්

අලියාද වටින්නේ - මිනිහා ද වටින්නේ
කවදද කොහොමද බං මෙය විසඳන්නේ

අලියෙක්ව මරා දැම්මොත් නීතියක් තියෙනවා
ඩයකුත් ගහනවා නැත්නම් හිරේ දානවා
ජීවත් වෙන්නට තියෙනා නිදහස අහුරා
මහ එවුන් හොරෙන් හොරෙන් කැලේ කපනවා
ඒ පාපෙට නැති බැරි අපි වන්දි ගෙවනවා
අලි නොඑන්න විදුලි වැටක් ඇදලා තියෙනවා

එනමුත් එනවා මුළු රෑ බියෙන් ඉන්නවා
හේන කුඹුරු ගේ දොරවල් විනාශ කරලා
උන්හිටිතැන් අහිමි වෙලා අසරණ වෙනවා
බලධාරින් නිහඬ වෙලා බලන් ඉන්නවා
යක් පුරා එළිවෙනකම් කැලේ ඉන්නවා
දෙමවුපියන් දූ දරුවන් ගිනි උහුලනවා
විසඳුමක් නොමැති එකම ප්‍රශ්නෙ මෙය ද හිතෙනවා
හෙට දවසෙත් තව ජීවිතයක් බිලිවෙනවා
මැරුණට පසු වනජීවී එකෙනුත් එනවා.

මේ අලුත් ගීතය ගයමින් වේදිකාවට ගොඩ වන්නේ "සොමි ළමයා" හෙවත් දිනේෂ් ම් .

දිනේෂ් ම් ප්‍රසංග වේදිකාවේදී පණ දෙන 'සොමි ළමයා' මේ වන විට රටේ බහුතරයකගේ අවධානයට ලක් වූ එහෙත් තවමත් විසඳුමක් නොමැති අලි - මිනිස් අරගලය ශ්‍රාවක ප්‍රේක්ෂක අවධානයට යොමු කරවමින් ඔහුගේ නවතම ගී නිර්මාණය ඔබ වෙත තිළිණ කිරීමට සමත් වී සිටී.

රොහාන් රූපසිංහගේ පද රචනයෙන් හැඩ ගැන්වුණ, ප්‍රවීණ සංගීතඥ අර්නස්ට් සොයිසාගේ සංගීතයෙන් රස ගැන්වුණ මෙම ගීතය ඉකුත් දා අන්තර් ජාලයට මුදා හැරුණි. ඒ ආරංචිය රැගෙන සරසවියට පැමිණි දිනේෂ් අප සමඟ පැවසූ ඔහු පිළිබඳ තොරතුරු පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස සටහන් තබමි.

දිනේෂ් අධ්‍යාපනය ලැබුවේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයෙනි. පාසල් අවදියේ පටන් සංගීතයට මහත් සේ ඇලුම් කළ දිනේෂ් සංගීතය හැදෑරුවේ විශාරද නන්දා මාලිනියගේ සංගීත ආශ්‍රමයේදීය. එහිදී ගායන හැකියාව වැඩි දියුණු කරගත් දිනේෂ්ට තම හැකියාව වඩාත් ඔප් නංවා ගන්නට ඔහුගේ සීයා වූ ප්‍රවීණ සංගීතඥ ටියුලින් ජයරත්න අත දුන්නේය. ගායනයට අමතරව දිනේෂ් ඩ්‍රම්ස් වාදනයේ ද දක්ෂයෙකි.

ඒ සියලු අතදීම් හා ශක්තීන් මත පියවරෙන් පියවර ගායන ලොවට පිවිසෙන දිනේෂ් හෝමාගම 'ෆ්ලෑෂ් බොයිස්' සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියාද විය. එම සංගීත කණ්ඩායම සමඟ ප්‍රසංග සඳහා සහභාගි වන දිනේෂ් ඔහු වඩාත්ම ප්‍රිය කරන මෙන්ම ඔහුට වඩාත් නිවැරැදිව හොඳින් ගායනා කළ හැකි ගීත සැම විටම ගායනා කළේය. ඒ සඳහා ඔහු බොහෝ විට තෝරා ගනු ලැබුවේ ප්‍රසංග වේදිකාවේ "පොඩි ළමයා" යනුවෙන් ජනාදරයට පත් දීපාල් සිල්වා විසින් ගායනා කළ ගීතය. සිරස "ප්‍රසංග වේදිකාව" සහ හිරු "සිංදු කාමරේ" යන වැඩසටහන් ඔස්සේ දිනේෂ් ඉදිරිපත් කළ ගායනා ඔස්සේ ශ්‍රාවක ප්‍රේක්ෂක සමූහයා අතරට වඩාත් පහසුවෙන් ඔහුව ගෙන ගියේය. එම වැඩසටහන්වල දිනේෂ් කළ ගායනය රසවිඳි දිනේෂ්ගේ කුලුපඟ මිතුරෙකු ඔහු වෙත කළ යෝජනාවකට අනුව ඔහු "සොමි ළමයා"ට පණ දෙමින් ප්‍රසංග වේදිකාවට නවමු ප්‍රාසාංගික අත්දැකීමක් එක් කිරීමට සමත් විය. කෙසේ වුවද මා ඔහුගෙන් විමසුවේ අතුරු පැනයකි. ඔබ සැබවින්ම "පොඩි ළමයා" හෙවත් දීපාල් සිල්වා යන ශිල්පියාව අනුකරණය කරනවා නේද? යන මගේ පැනයට දිනේෂ් සෘජුවම පිළිතුරු සැපයීය.

"මම දීපාල් සිල්වාගේ ගී ආර අතිශයින් ප්‍රිය කරන්නෙක්. කිසියම් සමාජමය වැදගත්කමක් සහිත දර්ශනයක්. නොඑසේ නම් සමාජමය ගැටලුවක් පිළිබඳ අවධානය යොමු කරවීම සඳහා වඩාත් තීව්‍ර ලෙස එය යොදාගත හැකිවනවා සේම ඒවායේ ඇති සරල බව නිසා ශ්‍රාවකයින්ට, ප්‍රේක්ෂකයින්ට විතරක් නෙවෙයි එම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම එකී පණිවුඩ ජනගත කිරීමට මහත් රුකුලක් වෙනවා. දිපාල් සිල්වා වේදිකාවට කැඳවාගෙන ආ "පොඩි ළමයා" එවන් වැදගත් චරිතයක්. ඒ සෑම දේකටම වඩා මම ඔහුව හොඳින් හඳුනාගෙන හිටියා. දිපාල්ගේ වියෝවෙන් පසු ප්‍රසංග වේදිකාවේ ඔහුගේ ගී ආර සම්බන්ධයෙන් පැවතියේ රික්තකයක්. මා කිසි විටෙකත් ඔහුගේ ගී මතින් ප්‍රසංග වේදිකාවට ගොඩවන්නට උත්සාහයක නිරත වන්නේ නෑ. ප්‍රේක්ෂක ඉල්ලීම් මත මා ඔහුගේ ගීත ගායනා කළ ද එසේ ගයන්නේ නිර්මාණ අයිතීන්ට අගතියක් නොවන ආකාරයෙන් තමයි. මට දීපාල් සිල්වා වෙන්නට හැකියාවක් නෑ. මම එසේ වන්නට උත්සාහ දරන්නෙත් නෑ" ඔහුගේ පිළිතුර විය.

එදා දීපාල් සිල්වා නම් ඒ සොඳුරු ශිල්පියාට ගීත රචනා කළ අසේල ඉන්ද්‍රලාල් සහ ස්වර රචනා කළ සරත් ද අල්විස් වැනි ශිල්පීන් ද දිනේෂ්ගේ මෙම ගමනට අත්වැලක් වන්නට නිර්මාණ දායකත්වය ලබා දී ඇත. ඔහුගේ නිර්මාණ සඳහා සමාජ කතිකාවකට ලක්වන සමාජ සංසිද්ධීන් බොහෝ විට පාදක වී ඇත.

දිනේෂ් විවාහකයෙකි. ඔහු දරුවන් දෙදෙනකුගේ සෙනෙහෙබර පියෙකි. නිවසේ සියලු වගකීම් දරමින් ඔහුගේ සංගීත ගමනට සවියක් වන දයාබර බිරිඳ, දෙමව්පියන් මෙන්ම ඥාතීන් නිබඳවම ලබාදෙන ශක්තිය ඔහු සෙනෙහෙබරව සිහිපත් කරයි. එලෙසම ඔහුට අතදෙන ඔහුගේ සේවා ස්ථානයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ දනන්සූරිය මහත්මා, සම්පත් හේවා පැලැන්දගේ යන අය ද සිහිපත් කළේ කෘතවේදීවය. එලෙසම ප්‍රදේශයේ සියලු සංගීත කණ්ඩායම් නිරතුරුව ඔහුට සහයෝගය ලබාදෙන බව ද දිනේෂ් සඳහන් කළේය.