වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

0728384283 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.

ආදරය සොයන්නන්ගේ සංගීතමය නවාතැන සරිගම

ඉදිරියේදී එළඹෙන පෙබරවාරි මාසය ලෝකයම ආදරය, ප්‍රේමය කතිකාවට ලක් කරන සමයකි. ආදරය බාහිරව සැලකූ විට සුන්දර වන්නකි. එහි අභ්‍යන්තරය කිසි දිනක නොපෙනෙන ගැඹුරකි. ලෝකයක් තනන්නට ද, වනසන්නට ද ආදරයට හැකිය. සුන්දර ආදරයක් මානසික චිකිත්සාවකි. පසුගිය වකවානුවේ තිරගත වු සරිගම චිත්‍රපටයේ අතීතාවර්ජනයෙන් ආදරයේ මානසික චිකිත්සාව අත්විඳිමු.

මෙලොව උපදින සෑම මිනිසෙකුම තවත් කෙනෙකුගේ අවධානය අපේක්ෂා කරති. ලැබූ අවධානයට ආදරය, ප්‍රේමය, සෙනෙහස ලෙසින් නාමයන් පටබැඳේ. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ සරිගම චිත්‍රපටය අවධානය සොයන්නන්ගේ මානසික කැලඹීම විදහා දක්වන්නකි. කැලඹුණ මනසේ ස්වභාවය සංගීතයේ ස්වර රටා ඇසුරින් සිනමා ආඛ්‍යානක් වී තිබේ.

වර්ෂ 1949 දී ර්චපඪච ඍධද ඊපචනන විසින් ඊඩඥ ඍධද ඊපචනන ජ්චථඪතර ඉඪදඨඥපඵ නමින් ග්‍රන්ථයක් රචනා කරන ලදී. සරිගම චිත්‍රපටයේ මූලකෘකිය එයයි. පැය 2 යි විනාඩි 14 යි තත්පර 04 ක කාලයකදී ආදරය, ප්‍රේමය, සෙනෙහස සොයන්නන්ගේ මනස ස්පර්ෂ කිරීමට එහිදී පේ‍්‍රක්ෂකයාට හැකිවනු ඇත.

පූජා උමාශංකර්ගේ රංගනයෙන් මරියා චරිතය ගොඩ නැඟේ. සිනමාපටයහි මරියා සහ ඇයට හමුවන සෙසු පිරිසක් සිටී. මරියා ඔවුන් සමඟ ගනුදෙනු කරනු ලබන ආකාරය ඇසුරින් ආදරයේ මානසිකභාවය හඳුනාගත හැකි වේ. දඟකාර, කටකාර, සුන්දර යුවතියක් වන මරියා ආදරය අපේක්ෂා කරන්නියකි. ඇය කිතුණු පූජකවරියක් විමට අපේක්ෂා කළ ද, ආගමික ජීවිතයේ බරපතල බව හෝ ගිහි ජීවිතයේ වගකීම් සහගතභාවය ද නොවැටහේ. ආගමානුකූල කටයුතු අතැර තාප්පයෙන් පැන යෑම ඇගේ දෛනික පුරුද්දකි.

මිනිසා සමාජ සත්වයෙකි. තනිව පැවැත්මක් නැත. නිරන්තර අරගල කරන සිතුවිලි ඇසුරින් යම් සමාජ ස්ථරයකට ඇතුළත්වීමට මිනිසා උත්සාහ දරයි. වයස් භේදයක් ද නැත. කුටුම්භය, සමාජය ආදී නානාවිධ ස්ථරයන්හි මිනිස් චිත්තය හමුවේ. සරිගම චිත්‍රපටයේ ඇතුළත් වනුයේ එවන් මිනිස් සිතුවිලි සමුදායක ගැටුමකි.

සුපුන් ජයසිංහ


ලෙස්ටර් නමින් සිනමාහලක් ඉදි කරමු

සිංහල සිනමාවේ ආරම්භය සනිටුහන් කරමින් ජේ. ජෝතිශ අධ්‍යක්ෂණය කළ එස්. එම්. නායගම් නිෂ්පාදනය කළ 'කඩවුණු පොරොන්දුව' 1947 ජනවාරි 21 වන දින කොටහේන කිංස්ලි සිනමාහලේදී ප්‍රදර්ශනය කෙරිණි. දකුණුු ඉන්දීය ආභාෂයෙන් ලාංකේය සිනමාව මුදවා ගනු ලැබූ හෙළයේ මහා සිනමාකරුගේ අනන්‍යතාවය දේශීිය සිනමාවට එක් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමාවට කළ අනුපමේය මෙහෙය වෙනුවෙන් ඔහුගේ නමින් සිනමාහලක් ඉදිකරන මෙන් ඉල්ලා සිටිමි.

අතුල රම්‍යසිරි

පානදුර


හරයක් නැති ටී වී නාළිකාවලට

අද සමහර ටී. වී. නාළිකාවල විකාශය වන වැඩසටහන්වල කිසිම හරයක් නොමැත. ඔවුන් ඔවුන්ටම අපහාස කර ගනිමින් කියන දේවල්වල කිසිම හරයක් නොමැත. මීට වඩා නරඹන්නන්ට රස විඳිය හැකි අයුරින් ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් එය සැවොම ආශාවෙන් නරඹනු ඇත.

ගාමිණී මහවැලගේ

පිළියන්දල


විජයබා කොල්ලයට දැන් සිටම සුබපැතුම්

විජයබා කොල්ලය නවකතාව කලකට පෙර පාසලේ සිංහල සාහිත්‍යයට තිබූ ග්‍රන්ථයකි. මෙහි කතාව අදටත් අපට මතකය. මෙවැනි වැදගත් නවකතාවක් චිත්‍රපටයට නැඟීම ප්‍රශංසනීයයි. මෙම චිත්‍රපටය අතිශයින් සාර්ථක වෙනවා නොඅනුමානය. දක්ෂ නිර්මාණකරුවන්ගේ එකතුවෙන් මැවෙන චිත්‍රපටයට මගේ සුබපැතුම්.

සෝමා එච්. පතිරණ

පන්සල පාර, කහවත්ත


හියුගෝ රංගනයේ මතක සටහන්

පනහ, හැට, හැත්තෑව දශක ගණන්වලදී අතිශයින් වැඩිහිටි චරිත සහ හාස්‍ය රසය ගෙන දුන් නළුවාණන් හියුගෝ මාස්ටර් හෙවත් හියුගෝ ප්‍රනාන්දු නම් නළුවායි. ඒ කාලවලදී රඟපෑ 'මාතලන්', 'අල්ලපු ගෙදර' සහ 'ධීවරයෝ' චිත්‍රපටවලදී රඟපෑ හාස්‍ය රසය ගෙන දුන් වචන මාලාවන් දැන් වගේ අපට මතකයි. ඉතින් එවැන්නන් කවදා නැවතත් බිහිවේද ඉතින්.

කෑගල්ලේ තටාකය පාරේ

මැණිකේ විල්වල සහ

තිලකරත්න විල්වල


දිපාල් සදාකල් අප අතර

දීපාල් සිල්වාගේ වියෝව කලා ක්ෂේත්‍රයට වැදුනු මරු පහරකි. ඔහු අපෙන් සදහටම වෙන් වී ජනවාරි මස 14 වෙනිදාට වසරකි. ඔහු අපෙන් වෙන්ව ගියත් හාස්‍යය උපදවමින් ගැයූ ගීතවලට, රැඟූ රැඟුමන් සදාකල් අප සිත් තුළ රැඳී පවතී.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජාඇල


සාරංග දක්ෂයි ඔබ

ස්වර්ණවාහිනියෙන් විකාශය වූ හාරකෝටිය ටෙලි නාට්‍යයේ සහ මේ දිනවල විකාශය වන කෝටිපතියෝ ටෙලි නාට්‍යවල ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ දක්ෂ රංගනයට මගේ උණුසුම් සුබපැතුම්.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය


'සඳවට රන්තරු' සී. ටී. ප්‍රනාන්දු ශූරීන්ට

රන් ස්වරයෙන් කළ ගායනා
ලක්වැසි දන මන රස කලතා
සමුගෙන ගියමුත් අදත් ඇසේ
මිහිරැති ගී රාවේ ඔබේ
ගීත කෝකිලයාණෙනි

මිල්ටන් මලවිආරච්චි

සරසවි කලා කවය

ගම්පහ


ප්‍රියන්ත චරිත ජය ගෙන

අද ටෙලි නාට්‍යයන් තුළ නැතුව බැරි නළුවෙක් මොහු. ඕනෑම චරිතයකට ජීවය දෙන මොහු ප්‍රතිභාපූර්ණය. බෙනා මාමා, පොඩි මාමා වැනි ඒකාකාරි නොවන චරිතයන් ද 'පිණි' නාට්‍යයේ 'ඩැඩා මහත්තයා' ඉතාම විශිෂ්ට රංගනයක යෙදේ. එසේම 'පැහැසරා' හි එක්තරා ගුප්ත චරිතයක යෙදේ. එසේම වේදිකාව ද ජයගෙන ඇති මොහු චරිතාංග නළුවෙක් බව පැහැදිලිය.

මීගමුවේ

ක්ලෝඩ් ද ලිවේරා

නාලිනී ද ලිවේරා


ඇල්. ඇම්. ඔබ අමතක නොවන නළුවෙක්

'සුන්දර බිරිඳ' චිත්‍රපටයේ ප්‍රථමයෙන් රඟපා 'අපි පාගල යාමුකෝ හැටේ' ගීතය ගායනා කරමින් අපූරු රඟපෑමක් ඉදිරිපත් කර ඉන් පසුව සිනමාවට නැතුවම බැරි නළුවෙක් ලෙස ඇල්. ඇම්. පෙරේරා ප්‍රසිද්ධ විය. පසුව 'සතර මහා නිධානය', 'හතර කේන්දරේ', 'හතර පෙරළිය' චිත්‍රපට අධ්‍යක්ෂණය කර තම හැකියාව ප්‍රේක්ෂකයන්ට පෙන් විය. ඔබ අපට අමතක නොවන නළුවෙක් විය.

ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා

ඥාණා කුමාරි පෙරේරා

ආසිරි මාවත

කළුබෝවිල


'බිම්බා දේවි'ට අපේ අය ඇකැපද

රංගනයේ නිපුණ, දක්ෂ, රූමත් ශිල්පීන් අපට සිටියදී 'බිම්බා දේවී' සිතුවම්පටය සඳහා ඉන්දීය නළු නිළි යුවළක් සහභාගි කරගත්තේ ඇයිදැයි අපට පැනයකි. මෙය අපේ ශිල්පීන්ට කරනු ලැබූ අසාධාරණයක් සේ දැකිය හැක.

එය එසේ වූයේ (සිදුහත් - යශෝධරා) ඉන්දීය සම්භවයක් ඇති යුවළක් නිසාදෝ විටෙක සිතේ. එසේ වී නමුත් බුදු දහම චිරස්ථිතිය වූයේ ලංකාවේ බව සැමට අමතක නොවේවා!

මෙහි සැබෑ වැටහීමක් වියතුන්ට ඇති නොවූයේ ඇයි? පාඨලීගේ හා චෞරිගේ රඟපෑම් ඉදිරිය්දී කෙසේදැයි බලමු.

එස්. ඒ. පේමලතා

රුක්ගහ තොටුපල

බණ්ඩාරගම


සිනමාවට හැත්තෑ එකයි ජාතික චිත්‍රපට සංස්ථාවට හතලිස් හයයි

මෙතෙක් දේශීය සිනමාව කෙරෙහි ඇල්මක් දැක්මක් දැක් වූ රසික ජනතාවට මහඟු දෙයක් ලෙස සැලකිය හැකිය. ඒ වෙනුවෙන් 'දේශීය චිත්‍රපට නාමාවලිය' 'චිත්‍රපට සඟරාව' එළිදැක්වීම ගැන සතුටු වන්නෙමි. ප්‍රථම කථානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව' ඇගයීමට ලක්වේ. මේ සම්බන්ධව කටයුතු කළ සියලුම කාර්ය මණ්ඩලයට රසික රසිකාවන්ගෙන් සුබපැතුම්.

ඊ. දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


රුක්මණී සමරන හෙන්රි ප්‍රියශාන්තට

තම සිත්ගත් කලාකාරිය රුක්මණී දේවිය ජීවත්ව ඉන්නා විට සේම දිවියෙන් සමුගත් පසුත් ඇගේ සුන්දර අතීතය යළි යළි ආවර්ජනය කරමින් ඇගේ මතකය සියලුම රසිකයනට සුහද සිතින් ඉදිරිපත් කරනා දුප්පත් පුරවැසියා හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්ය. ඒ මහතා ශාරීරික දුර්වලතා මෙන්ම ආර්ථික අපහසුකම් මැද ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය ප්‍රථම නිළිය රුක්මණී දේවිය මතකය අනුස්මරණය කිරීම මිල කළ නොහැකි උතුම් පරිත්‍යාගයකි. හෙන්රි ප්‍රියශාන්ත කලාකරුවාණනි, ඔබේ ඒ වටිනා කාර්යට අපෙන් ආසිරි මල් මිටකි මේ. ඔබට දීඝායු සමග නිරෝගි සම්පත් හිමිවේවා!

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


කාලය ගියත් සමරන විජය

විජය,
ඔබ නැති වූ පසුවයි
ඔබ වටිනාකම, මනුස්සකම
ලොවට පසක් වූයේ
එම නිසා තමයි
මෙපමණ කලක් ගතවීත්
අද, ඊයේ මෙන් ඔබව සමරන්නේ . . .

මොරටුව, කටුබැද්ද

ඩඩ්ලි ගෝමස්


කාංචනාට රඟන්න ආරාධනා

කාංචනා මෙන්ඩිස් පුංචි තිරය මෙන්ම සිනමාව ද ඔපවත් කළ දක්ෂ නිළියකි. ඇය රඟපෑ මේ වසන්ත කාලයයි තවමත් මතකයේ රැඳී ඇති ටෙලි නාට්‍යයකි. කාංචනා නැති අඩුව කියා නිම කළ නොහැක. නැවතත් ලක්බිමට පැමිණ අප වෙනුවෙන් ඔබගේ දක්ෂතා ඉදිරිපත් කරන ලෙසටයි මේ ඇරැයුම. ඔබ නැති පුංචි තිරය පාළු වී ඇත.

කල්‍යාණ ජයනෙත්ති

මැටරඹ, උණවටුන


ඩීමන් ආනන්ද සමරමු

මාරක කතා 'චක්‍රවර්ති' ලෙසින් විරුදාවලිය ලැබුව ද ඊට අමතරව හින්දි චිත්‍රපට සිංහලට පරිවර්තනය කරමින් ලස්සන ප්‍රේම කතා රැසක් ද දැයට දායාද කළේය. අප තරුණ කාලයේ එතුමාගේ ශත 75 මුද්‍රණයෙන් බිහි වූ කුඩා පොත් පිංචය (මෙකල ර්‍ථධජඬඥබ ච්ඪචපර මෙන්) අප කියවූයේ කලිසම් සාක්කුවේ රෝල්කර රුවා ගනිමිනි. පාසල් විවේක කාලවලදී විෂය නිර්දේශයන් අමතරව අප ඒවායින් ලැබූ ආශ්වාදය අති මහත්ය.

දමිළ ව්‍යාපාරිකයකු සමඟ මෙතුමා 'සුජි' මුද්‍රණාලය ආරම්භ කොට 'සුජි කලා' වෙසක්පත් හා සැරැසිලි රටටම නිකුත් කළ බව දන්නේ ටික දෙනෙකි. එතුමා සංඛ්‍යාත්මකව පොත් 1008 ක් ලිව්වා. 2006 පෙබරවාරි 15 වැනිදා ඔහු අප අතහැර ගියා.

මොරටුව, කටුබැද්දේ

ඩඩ්ලි ගෝමස්


ඔස්වල්ඩ් ජයසිංහට

සිංහල සිනමාවේ සිටි තවත් දක්ෂ චරිතාංග නළුවෙකි ඔස්වල්ඩ් ජයසිංහ. ඉතා කඩවසම් පෙනුමක් තිබූ ඔහුගේ රැළි කොණ්ඩය සහ ප්‍රතාපවත් බව නිසා එකල චිත්‍රපටවලට නැතිවම බැරි නළුවෙකු විය. අපරාධය හා දඬුවම, කල්‍යාණි ගංගා වැනි චිත්‍රපටවල කළ රංගනයන් තවමත් රසික දනගේ මතකයේ අමතක නොවන සේ රැඳී ඇත. විශේෂයෙන් 80 දශකයේ ආදායම් වාර්තා තැබූ අති සාර්ථක වූ ඓතිහාසික චිත්‍රපටයක් වූ 'අජාසත්ත' චරිතය ඔහු ඉතා තාත්විකව රඟපෑහ. මේ සොඳුරු නළුවා ද විදේශයකදී අපව හැර ගියහ.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල