වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මානය මට වටිනාකමක් දුන්නා

සරසවිය සම්මානය මට වටිනාකමක් දුන්නා

ජයනි සේනානායක

1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.

වේදිකාව, පුංචි තිරය, වගේම රිදී තිරයත් ඇයට සම්මානයෙන් ජය ගන්න හැකියාව ලැබුණේ ඇය සතු වූ දක්ෂතාවය නිසාමයි. ජයනී සේනානායක.

සිනමා ක්ෂේත්‍රය තුළ ඇයගේ දායකත්වය ආරම්භ වූයේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයෙන්. ‘ගිනි කිරිල්ලි’, ‘සුළං කිරිල්ලී’, ‘ආකාස කුසුම්’, ‘වළා පටල’, ‘සින්ඩ්‍රෙල්ලා’, ‘සිරි පැරකුම්’, ‘සිනහව අතරින්’ වැනි සිනමා නිර්මාණ ඔස්සේ කළ රංගනයන් සුවිශේෂීයි. අද  Road to Prestige  සමඟ ජයනි සම්බන්ධ වෙන්නේ ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටය නිසා. 2005 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේ නැඟී එන නිළියට හිමි සම්මානය පිරිනැමුණේ ඇය වෙනුවෙන්. වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ගැන කතා කරනවා නම් ජයනි කියන්නෙත් කතා නොකරම බැරි චරිතයක්.

මේ තුන් ක්ෂේත්‍රය තුළ ඔබේ භූමිකාව ඔබට දැනෙන්නේ කෙසේද?

වේදිකාව, පුංචි තිරය වගේම සිනමාව මාධ්‍ය තුනක් වුණත් මේ ක්ෂේත්‍ර තුන තුළම මගේ විෂය රංගනය යි. මට පැවරී තියෙන කාර්යය රඟපෑමයි. මොන මාධ්‍ය වුණත් මගේ කාර්යය නිසා අයුරින් ඉටු කිරීම මගේ වගකීමයි. රංගන ශිල්පිනියක් ලෙසින් මට රසික රසිකාවන් වෙනුවෙන් වගකීමක් පැවරිලා තියෙනවා. මම හැම නිර්මාණ කාර්යයක් සඳහාම දායක වෙන්නේ මම විදියට වගේම කාන්තාවක් විදියටත් නිර්මාණකාරිණියක් විදියටත් ඒ වගකීම හිතේ තියාගෙනයි. මම උත්සාහ ගන්නේ එය සියයට සීයයකින් ඉටු කරන්නයි . ඒ නිසා යහපත් නිර්මාණවලට දායක වෙමින් ප්‍රේක්ෂකයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු කරන්න මම මගේ දායකත්වය මේ ක්ෂේත්‍ර තුන සඳහාම යොදවනවා.

විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රය ඔබට දැනෙන අයුරු පැහැදිලි කළොත්?

සිනමාව කෙරෙහි මගේ දායකත්වය විශාලව නොවුණත් මට අපේ රටේ හොඳම නිර්මාණකරුවන් පිරිසක් සමඟින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මම මගේ සිනමා ගමන ආරම්භ කළේ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයෙන්. අනතුරුව සරත් ධර්මසිරි, ඉනෝකා ස්‍යාංගනී, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි නිර්මාණකරුවන් සමඟ ඔවුන්ගේ නිර්මාණ සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් බොහොමයක් අපේ රටේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමෙන් පවා තම නම රඳවන්නට සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉතාලි ජාතික උබර්තෝ පැසලෝනිගේ අධ්‍යක්ෂණය යටතේ පවා අත්දැකීම් රැසක් ලබා ගන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්.

ඒවගේම මේ සිනමාව තුළ මට ලැබුණු චරිත විශාල චරිත නොවුණත් ඒ හැම චරිතයක් තුළම නරඹන්නාට කතා කරන්න යමක් තිබුණා. මටත් වුවමනා වුණේ ඉදිරියට ඉතිරි වන දෙයක් කරන්නයි. මේ දක්වා සිනමාව තුළ මා ලද චරිත ඔස්සේ මම ඒ දෙය ඉටු කළා. නමුත් මට මීට වඩා දෙයක් ලැබුණා නම් හොඳයි කියන තැන මම ඉන්නවා. එහෙමයි කියා කිසිම පසුතැවිල්ලක් හිතේ නැහැ. මොකද සිනමා නිළියක් ලෙසින් මේ දක්වා මම සාර්ථක යමක් ඉටු කළ බව මගේ හදවතට දැනෙන නිසා.

මීට දශකයකට පමණ ඉහතදී ‘සුළං කිරිල්ලී’ ඔබව සරසවිය සම්මාන උලෙළේ නැඟී එන නිළිය ලෙසින් සම්මානනීය කළා. ඒ මතකය ඔබේ හිතේ තිබෙන්නේ කෙළෙසින්ද?

අනුරාධපුරයේ ඉඳලා කොළඹ ඇවිත් සිනමා නිළියක් විදියට සම්මානනීය වෙන්න ඉනෝකා සත්‍යාංගනී නම් අධ්‍යක්ෂවරිය මා ‘සුළං කිරිල්ලී ’චිත්‍රපටයට තෝරා ගැනීම ගැන හැමදාම ඇයට ස්තූතිවන්ත වෙනවා . ඇත්තටම එහි සහය චරිතයක් වෙනුවෙන් එදා මං වගේ නවකයෙක් තෝරා ගන්න ඇය ගත් තීරණය ගැන මගේ හිතේ තියෙන්නේ විශාල ගෞරවයක්. ‘සුළං කිරිල්ලී’ කියන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් පවා අපේ රටට කීර්තියක් ගෙන ආ සිනමා නිර්මාණයක්. නවකයෙක් ලෙසින් එදා ඒ සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබීම මා ලද වාසනාවක්.

ඒ වගේම සරසවිය සම්මාන උලෙළ කියන්නේ අපේ රටේ සිනමා නිර්මාණකරුවන් කලාකරුවන් ඇගයෙන ඉහළතම සම්මාන උලෙළයි. සරසවිය සම්මාන උලෙළක සම්මානනීය වීම හැම කලාකරුවෙකුගේම හීනයක්. එදා මට නවකයෙක් ලෙසින් සරසවිය සම්මාන උලෙළේ වේදිකාව මතට යන්න අවස්ථාව ලැබුණා. මම ක්ෂේත්‍රයට පැමිණි අලුතම මේ වගේ සම්මානයකින් පිදුම් ලැබීම අදහා ගන්නත් බැරි වුණා. සම්මානය අතේ තිබුණත් ඒක හීනයක් වගේ දැනුණා. සරසවිය සම්මානය නිසා ක්ෂේත්‍රෙය් ඉදිරියට යන්න ලොකු ශක්තියක් ලැබුණා විතරක් නෙවෙයි මට වටිනාකමකුත් හැදුණා.

සුළං කිරිල්ලී චිත්‍රපටයේ අත්දැකීම සිහිපත් කළොත්?

ඉනෝකා අක්කා මාව සුළං කිරිල්ලී වෙනුවෙන් තෝරා ගන්නේ බුද්ධික දමයන්තගේ ‘පුංචි පළිඟු රෑන’ වේදිකා නාට්‍යයේ මගේ රංගනය දැකලා. කාන්තා අධ්‍යක්ෂවරියක් ලෙසින් ඇය ඉතාම දක්ෂ ලෙසින් ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. හැම දෙයක් ගැනම අතිශය සියුම් ලෙස හිතමින් නිරීක්ෂණය කරමින් ඉතාම පිළිවෙලට කටයුතු කිරීම ඇයගේ විශේෂත්වයක්. පිටපත කියවන තැන පටන් අවසානය දක්වාම ඒ පිළිවෙල කාටත් ආදර්ශයක්. ක්ෂේත්‍රයේ වෙනත් අය මත යැපෙමින් නිර්මාණ ඉදිරිපත් කරන කාලයේ සුළං කිරිල්ලී ඇයගේම නිර්මාණයක්. එය ඇයගේ කුළුඳුල් නිර්මාණ කාර්යය වුවත් ඉතාම පරිණත අධ්‍යක්ෂවරියක් ලෙසින් කළ කැපකිරීම අපේ සිනමා කර්මාන්තය ලද සම්පතක්. ඉතිං මේ නිර්මාණය කාර්යය තුළ මටත් විශේෂ කාර්යය කොටසක් ඇය විසින් පවරනු ලැබුවා. එදා නවකයෙකු වුණත් මට මගේ උපරිමයෙන් කළ කැප කිරීමේ සම්මානනීය ලෙසින් ප්‍රතිඵල ලබන්න හැකිවීම ලොකු සතුටක්.

සම්මානයක් කියන්නේ රංගන ශිල්පිණියකට ආභරණයක්?

මම මොක වෙලාවකවත් සම්මාන ආභරණ ලෙසින් පැළඳ ගත්තේ නැහැ. එහෙම පැළඳ ගත්තා නම් අද මේ තරම් දුරක් මට එන්න ලැබෙන්නෙත් නැහැ. හරි දේ හොඳ විදියට කළ නිසා සම්මාන ලැබුණු බව මගේ හිත දන්නවා. ඇත්තටම සම්මානයක් කියන්නේ බරක්. අපි සම්මාන අතට අරගෙන පැත්තකින් තියන්න ඕනේ. හැමදාම සම්මානය අතේ තියාගෙන යන්න බැහැ. ඒ වගේම සම්මානයක් නිසා වැරදි කරන්න අවර ගණයේ නිර්මාණ වෙනුවෙන් දායක වෙන්න තියෙන බය වැඩි කරනවා. සම්මානයක් අතේ තියාගෙන හොඳ නිර්මාණ ටිකක් කළත් හොඳටම ඇති. එදා සරසවිය නැඟි එන නිළියට හිමි සම්මානය අතට ගත් අවස්ථාවේදීත් හිතුවේ එහෙමයි.

සිනමාව තුළ ඔබේ තෝරා ගැනීම්වල විශේෂත්වයක් තිබෙන බව හැඟෙනවා?

ඇත්තටම සිනමාව නම් ක්ෂේත්‍රය තුළ අපට ආවාට ගියාට නිර්මාණ තෝරා ගන්න බැහැ. මොකද සිනමාව කියන්නේ ජනතාවට සමාජයට දැඩි ලෙස බලපෑම් කරන්න පුළුවන් කලාත්මක මාධ්‍යයක්. අපේ රටේ එය විශේෂත්වයක් ලෙසින් මම දකිනවා. අපට මේ තත්ත්වය යහපත් ලෙසින් භාවිත කරන්න හැකි නම්, අපේ ජයග්‍රහණය එය යි. සමාජය ගැන කතා කරන්න පුළුවන් හොඳම මාධ්‍යයත් සිනමාවයි. මම රංගන ශිල්පිණියක් ලෙසින් එය වගකීමක් ලෙස සිතනවා. මේ නිසා මම දායක වන සිනමා නිර්මාණ සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. එහෙමයි කියා ලැබෙන මොකක් හරි චරිතයක් කරන්න මම සූදානම් නැහැ.

වේදිකාව, ටෙලිවිෂනය සහ සිනමාව අතරින් වඩාත් ප්‍රිය කරන ක්ෂේත්‍රයක් ඇති?

මම මේ ක්ෂේත්‍ර තුනටම එක වගේම ආදරය කරනවා. මේ ක්ෂේත්‍ර තුන පුරාවටම මගේ රංගන කාර්යය මැනවින් ඉටු කරන්න තමයි මම මහන්සි වෙන්නේ. හැබැයි වර්තමානයේ ටෙලි නාට්‍ය නිර්මාණය කෙරෙන ක්‍රමය ගැන නම් මගේ හිතේ එතරම් හොඳ පැහැදීමක් නැහැ. වේදිකාව කියන්නේ මගේ අධ්‍යයක ක්ෂේත්‍රය යි. මා පෝෂණය වෙන්නේ වේදිකාවෙන්. ඒ ඔස්සේ ලබන දේ සිනමාව හා ටෙලි නාට්‍ය ඔස්සේ දියකර හරිනවා.