වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




‘ජීවිතේ මහ දුරයි පද්මේ’ සුජිත් ප්‍රසංගගේ කාව්‍ය සංග්‍රහය

‘ජීවිතේ මහ දුරයි පද්මේ’ සුජිත් ප්‍රසංගගේ කාව්‍ය සංග්‍රහය දොරට වඩින දා ඔබත් එන්න

නූතන සුභාවිත ගීතයන්ට ඉඩ හසර ඇත්තේ මඳ වශයෙනි. එහි නියැළෙන්මෝ ද එක් ආකාරයට උඩු ගං බලා යන්නන්ය. එලෙස උඩු ගං බලා යන්නට වැර වෑයම් කළ තරුණයකුගේ කාව්‍ය සංග්‍රහයක් ජීවිතේ මහ දුරයි පද්මේ නමින් ලබන 27 වැනිදා බදාදා පස්වරු 3.30 ට ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.

ඔහු නමින් සුජිත් ප්‍රසංගයි. ලංකාදීප පුවත්පතේ තරුණ මාධ්‍යවේදියකු වන සුජිත් විසින් රචනා කරන ලද එඩ්වඩ් ජයකොඩි ගායනා කළ හීන් වැහි පොදේ තෙමි තෙමි සීතලේ, සුභානි හර්ෂණී ගයන මේ අහන්න ශ්‍රී වික්‍රම ද එදින අසන්නට ලැබෙනු ඇත. හීන් වැහි පොදේ තෙමී ගීතය රජරට සේවයේ පුණ්‍යා ඒකනායක නිපද වූ නව පදමාලා වැඩ සටහනෙන් දොරට වැඩියේය. අහන්න ශ්‍රී වික්‍රම ගීතය සුජිත් විසින් නම් කරන ලද්දේ වෙන්කත රංගම්මාල් නොකී කතාව යනුවෙනි.

ඔහුගේ කාව්‍ය සංග්‍රහය මේ වසරේදී ගොඩගේ අත් පිටපත් තරගයේ හොඳම දහය අතරට අයත් එකකි.

ජීවිතේ මහ දුරයි පද්මේ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයේ මුලසුන ලංකාදීප ප්‍රධෘන කර්තෘ සිරි රණසිංහ මහතා විසින් හොබවන අතර සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති,ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී හංසමාලා රිටිගහපෙල සහ ගීත රචක ධම්මික බණ්ඩාර එහිදී කෙටි දෙසුම් පවත්වනු ඇත.

සුජිත්, බටදූව රතනජෝති මහ විදුහලේ ආදි සිසුවෙකි.


ඉතිහාසයේ මුල්වරට ටෙලි ගී රැයක්

ශ්‍රී ලාංකේය ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ වසර 23ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක එකම හා ප්‍රබල සංවිධානය වන ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය කලාකරුවන්ගේ යහපත සඳහා ඇති කිරීමට සැලසුම්කර ඇති කලාකරු රක්ෂණ සුබ සාධක අරමුදලට ආධාර ලබා ගැනීම පිණිස සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රහයෙන් ටෙලි නාට්‍ය ගී ඇතුළත් ‘ටෙලි තරු ගී රැයක්’ නමින් ප්‍රසංගයක් ජූලි 31 වැනිදා පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අප රටේ පළමුවරට පැවැත්වෙන මෙම ටෙලි ගී ප්‍රසංගයට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මඟ සළකුණු තැබූ ජනප්‍රිය ටෙලි නාට්‍ය ගීත එම ගී ගැයු ගායක ගායිකාවන් විසින්ම ගායනා කරනු ලබයි. ජනප්‍රිය ටෙලි රංගන ශිල්පීන් රැසක් සමඟ චන්න විජේවර්ධන ප්‍රමුඛ චන්න උපුලි නර්තන ඇකඩමිය ඉදිරිපත් කරන නර්තන නිර්මාණයන් ප්‍රේක්ෂකයන්ට අපූර්ව අතුදැකීමක් ගෙන එනු ඇත.

රූපවාහිනි තිරය සහ වේදිකාව යා කරමින් ඉදිරිපත් කරන මෙම ප්‍රාසාංගික අත්දැකීම සංගීතවත් කරනුයේ ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ ප්‍රමුඛ ප්‍රවීණ වාදක මණ්ඩලයක් විසිනි. බණ්ඩාර ඇහැලියගොඩ පිටපත් නිර්මාණයෙන්ද උපාලි ආරියසිරි කළ- මණාකාරිත්වයෙන්ද මෙයට දායක වෙති.


තිස් පස් වසරකට පසු රත්නා වේදිකාවට මහ මුහුදත් ගොඩට ගලයි 24දා

ස්ටැන්ලි හෙට්ටිආරච්චිගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘මහ මුහුදත් ගොඩට ගලයි’ මංගල දැක්ම මේ මස 24 වැනිදා සවස බොරැල්ල වයි.එම්.බී.ඒ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

වසර 35ට පසු රත්නා සුමනපාල වේදිකාවට පිවිසෙනුයේ මෙම නාට්‍ය සමඟිනි. ඇය සමඟින් එහිදී ජයරත්න රූපසිංහ, දයා හේවගේ, මානෙල් කුමාරි, අසංග බාලසූරිය, සුනිල් ලියනාරච්චි රංගනයෙන් දායක වෙති. වේදිකා රචනය නාරත් කී ගුරුසිංහ ගෙනි. චන්දු අරංගල සංගීත අධ්‍යක්ෂවරයා වේ. තිළිණි මධුෂිකා නර්තන විනයාසයෙන්ද ප්‍රදීපා සුමනපාල අංග රචනයෙන්ද දායක වෙති. ‘මහ මුහුදත් ගොඩට ගලයි’ අධ්‍යක්ෂවරයාගේ හතරවැනි වේදිකා නිර්මාණය වේ. මුහුදුකරයේ වෙසෙන ධීවරයන් කිහිපදෙනෙකුට සිදුවන ඛේදවාචකයක් ඔස්සේ මෙහි කතාපුවත දිග හැරෙයි.