වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අමරණීය නමක් තබාගිය “රෝහණ”

අමරණීය නමක් තබාගිය “රෝහණ”

මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී අනන්‍යතාවයක් තහවුරු කරගත් නාට්‍යවේදියකු වූ රෝහණ දන්දෙනිය පසුගියදා අප අතරින් නික්ම ගියේය. 70 දශකයේ අග භාගයේදී වේදිකාවට ප්‍රවිෂ්ට වූ ඔහු සිය නිර්මාණ දායකත්වය වෙනුවෙන් විවිධ සම්මානයන්ට පාත්‍ර වූයේය. අනුරාධපුරය වැනි ඈත ප්‍රත්‍යන්තයකින් අගනුවර වේදිකාවට පැමිණි රෝහණ මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීමේ මෙහෙවරෙහි මියයනතුරුම නිරතව සිටියේය.

1977 වර්ෂයේ නොවැම්බර් පළවෙනි දින ලුම්බිණි රඟහලේ වේදිකා ගත වූ රෝහණ ගේ ‘ දුන්යාගේ ගීතය’’ නාට්‍යය නැරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් එවකට සිළුමිණ පුවත්පතට පහත සඳහන් ප්‍රකාශය කර තිබුණි.

‘සිංහල ගැමි වහර රංගෝචිත අයුරින් යොදාගෙන තම නාට්‍යයේ සංවාද නිර්මාණය කර තිබෙන අයුරු රචනයේ විශිෂ්ට ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය.හා පුරා කියා නාට්‍යකරණයට බට රචකයකු තුළ මෙවැනි දක්ෂතාවයක් දක්නට ලැබීම මා තුළ ඔහු කෙරෙහි ඉමහත් සතුටක් දැනවීමට සමත් වූ බව කිවමනාය. නාට්‍යයේ හැම අංගයක්ම ,එනම් රංග භූමි අලංකරණය, ආලෝකකරණය,වෙස් නිර්මාණය,පේ‍්‍රක්ෂකයන් තෘප්තිමත ්කළේය. එහෙත් ඒ හැම එකකටම වඩා කැපී පෙනුණේ රූපණයයි. නළු නිළි පිරිස් එකෙක් අනෙකාට නොදෙවෙනි ලෙසට අභිනය පෑහ. ඔවුන්ගේ කටහඬවල්ද ,ඉඟි හා ඉරියව්ද ඔවුන් නිරෑපණය කළ චරිතවලටත්, අවස්ථාවලටත් කිසිදු අඩු ලුහුඬුවක් නොමැතිව උචිත වී යැයි කිව හැකිය. ඔවුන් රංග භූමියේ හසුරුවා තිබුණ අයුරු ප්‍රවීණ නිෂ්පාදකයෙකුගේ කෘතහස්තය දනවන්නෙකි.

සරච්චන්ද්‍රයන් මෙසේ සිය ප්‍රහර්ෂය දැක්වූයේ රෝහණ දන්දෙනියගේ පළමු වේදිකා ප්‍රවිශ්ටය වූ ‘දුන්යාගේ ගීතය’ෙ ව්්දිකා නාට්‍යය නැරඹීමෙනි. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට එළඹෙන නවකයෙකු පිළිබඳ එදා සරච්චන්ද්‍රයන් දුටු අනාගත දැක්ම දන්දෙනිය සිය ක්‍රියාවෙන් නිර්මාණ ඔස්සේ ඔප්පු කර පෙන්වීය. පළමු නාට්‍ය අත්දැකීම වූ ‘දුන්යාගේ ගීීතය’(1979) රාජ්‍ය නාට්‍ය උලෙළේ දී විශිෂ්ටතම අනුවර්තනයට හිමි අග්‍රාමාත්‍ය සම්මානය දිනා ගත්තේය. ඉන් පසු කලෙක ඔහුු ලියූ ‘ පරාස්ස’නාට්‍යය ( අධ්‍යක්ෂණය විමලරත්න අධිකාරී) 1980 යෞවන සම්මාන උළෙලේදී හොඳම රචනය,හොඳම නිෂ්පාදනය,හොඳම නළුවා, හොඳම සංගීතය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනාගත්තේය.

මෙරට රූපවාහිනී මාධ්‍යයේ සම්ප්‍රාප්තියත් සමඟ රෝහණද රූපවාහිනී මාධ්‍යය කෙරෙහි උනන්දු විය. මුල් යුගයේ වේදිකා නාට්‍ය රූගත කොට විකාශය කරවීමේ ක්‍රමවේදයට අනුව එකල රූපවාහිනී නාට්‍ය අංශයේ ප්‍රධානියා වූ ධම්ම ජාගොඩ රෝහණ දන්දෙනිය ගේ ‘පරාස්ස’ නාට්‍යයද තෝරා ගත්තේය. පළමු වතාවට එළිමහන් රඟමඬලක් සකස්කොට රෑ ගතකළ වේදිකා නාට්‍යය වූයේ ‘පරාස්සය’ එසේම ටී.එන්.එල් රූ පවාහිනියද මුල් අවදියේදී රෝහණ නිර්මාණය කළ ‘දෑවරයි’නාට්‍යය (1991) රූගතතකොට විකාශය කළේය.

නාට්‍යකරුවකු වශයෙන් පමණක් නොව ඔහු ගුවන්විදුලි ශිල්පියෙක් වශයෙන්ද ප්‍රචලිතය. 1979 දී ගී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයට එක්වූ රෝහණ දන්දෙනිය එහි ක්‍රියාකාරීන් වූ ස්වර්ණ ගී‍්‍ර බණ්ඩාර ,පේ‍්‍රමකීර්ති ද අල්විස් , විජයානන්ද ජයවීර,ගුණදාස කපුගේ වැනි නිර්මාණ ශිල්පීන් හා එක්ව ගුවන්විදුලි නාට්‍ය, ගීත රචනය, විචිත්‍රාංග නිෂ්පාදනය වැනි විවිධ කාර්යයන්හි යෙදිණි.

රෝහණ දන්දෙනියගේ රූපවාහිනී සම්ප්‍රාප්තිය සිදුවනුයේ රූපවාහිනී වාර්ථා වැඩසටහන් හරහාය. ජාතික අධ්‍යාපන ආයතනය හා ස්වර්ණවාහිනී ආයතනය එක්ව විකාශය කළ ‘නැණපස’ වැඩසටහන සඳහා දන්දෙනිය රචනා කොට නිෂ්පාදනය කළ ‘මඩුවන්වෙල දිසාව,රජරට පිලපිට,වැව් බැඳි රටේ කෙම් ක්‍රම,දළදා පෙරහර, සිරිපා තඹර පිපි සමනළ සිරස, ජන දිවිය සරසන ලාක්ෂා වැනි වාර්ථා වැඩසටහන් බොහෝ ප්‍රේක්ෂක අවධානයට ලක්වූයේය. ගී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශය සඳහා ඔහු රචනා කළ මාලා නාටකයන් වූ ‘රන්දූව,වටමළුව,බිසෝ ඇල්ල, වැනි නාට්‍ය එකල ප්‍රේක්ෂක අවධානයට ලක්විය. එසේම කඩතිර,සංක්‍රාන්ති මෙන්ම සිත නිවන කතා, විශ්වාන්තර,ජීවනාන්දර වැනි නාට්‍ය මාලාවන්වලය අන්තර්ගතවූ ඒකාංගික නිර්මාණ රැසක්ද විය. මේ නාට්‍ය අතරින් ‘කඩතිර’ (අධ්‍යක්ෂණය තිලක් ගුණවර්ධන) චීනයේ පැවති රූපවාහිනී නාට්‍ය උළෙලේ ගී‍්‍ර ලංකාව නියෝජනය කළ ඒකාංගික නාට්‍යය විය. විශ්වාන්තර නාට්‍ය මාලාවට ඔහු ලියූ ‘අවසන් සුසුම’ (අධ්‍යක්ෂණය සන්තුස ලියනගේ) 2007 වර්ෂයේ කොරියාවේ සෝල් නුවර පැවත්ි ජාත්‍යන්නර රූපවාහිනී උළෙලේදී හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය ලෙස ජාත්‍යන්නර ඇගයීමට පාත්‍ර විය.

රෝහණ දන්දෙනිය නාට්‍යකරුවෙකුට එහා ගිය අධ්‍යාපනඥයෙක් වශයෙන්ද කීර්තියක් ඉසිලූවෙකි. කලක් ගුරුවරයෙකු ,විදුහල්පතිවරයෙකු වශයෙන්ද ජාති්ක අධ්‍යාපන ආයතනයේ සිංහල අංශයේ අධ්‍යක්ෂ වශයෙන්ද මෙරට අධ්‍යාපන ක්ෂේත.‍්‍රයට ඔහු අතින් ඉටු වූ මෙහෙය අතිමහත්ය. ඔහු නාට්‍ය , පර්යේෂණ, ළමා සාහිත්‍යය,කෙටි කතාව වැනි විවිධ ක්ෂෙත්.‍්‍රයන්ට සම්බන්ධ ග්‍රන්ථ රැසක් රචනා කළේය.සෝමවීර ප්‍රතිභා ප්‍රභා,රන්මිහිතැන්න සමරු ග්‍රන්ථය,සතිස්චන්ද්‍ර ප්‍රතිභානය,ටෙලිනිස විසිවසර,නික්ම නොගිය අප්‍රමාණ මිනිසා(තිස්ස අබේසේකර උපහාර ග්‍රන්ථය) වැනි ග්‍රන්ථයන්හි සංස්කාරකවරයා වූයේද රෝහණ දන්දෙනියය.

ටෙලි නිර්මාණවේදීන් ගේ සංගමයේ සාමාජිකයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු විධායක සභිකයෙකු,ටෙලිනිස පුවත් සංස්කාරකයෙකු වශයෙන් මහඟු මෙහෙවර කට දායක වූයේය. ජීවත් වූ කාලය ඇතුලත හරවත් යමක් සමාජයට තිළිණ කරමින් නොමියෙන නමක් ඉතිරි කර නික්ම ගිය ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.