වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




DUB නැතුව ORIGINAL බලමු සිංහල දෙබස් කැවූ ඉන්දියානු ටෙලි නාට්‍ය මොනවාද?

DUB නැතුව ORIGINAL බලමු

සිංහල දෙබස් කැවූ ඉන්දියානු ටෙලි නාට්‍ය මොනවාද?

අප රටේ වැඩිමනත් ටෙලිවිෂන් රසිකයන් ඉතා ආදරයෙන් රාත්‍රිය බාර ගන්නේ ආලින්දයේ ටෙලිවිෂනය ඉදිරිපස වාඩි වන්නයි. ටෙලිවිෂනය තුළින් ඔබ හමුවට එන බොහෝ කතන්දර පේ‍්‍රක්ෂක සමූහයා වැළඳ ගන්නේ නාළිකා භේදයකින් තොරවය. අද අප ගෙන එන ටෙලි කතා ලැයිස්තුව ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ටෙලි කතන්දරයි. ලංකාවේ සේම සතියේ දිනවලදී ඉන්දියාවේ ටෙලිවිෂන් රසිකයා රෑ බෝ වෙද්දී සිටින්නේ ටෙලිවිෂනය ඉදිරිපසය. චන්ද්‍රිකා හෝ කේබල් රූපවාහිනි සබඳතාවක් තිබේ නම් ඔබ ද මේ ඉන්දියානු කතන්දර හින්දියෙන් නරඹා ඇති බව නිසැකය. එහෙයින් ප්‍රේක්ෂකයා වැළඳ ගන්නා මේ හඬ කැවූ කතන්දරවල සැබෑ වගතුග විස්තර සහිතව අපි මෙසේ සටහන් තබමු.

මේ ආදරයයි - YEI HAI MOHABBATEIN

සිරස නාළිකාවේ විකාශය වන ඉන්දියානු හඬ කැවූ ටෙලි නාටක මාලා අතරින් ඉතා ජනප්‍රිය නාට්‍යයකි 'මේ ආදරයයි'. මෙහි ඉන්දියානු නාමය වන්නේ යේ හායි මොහබ්බතින්ය. සඳුදා සිට සිකුරදා දක්වා ස්ටාර් ප්ලස් නාළිකාවේ විකාශය වන යේ හායි මොහබ්බතින් විකාශය ආරම්භ කළේ 2013 වසරේ දෙසැම්බර් 3 වනදා සිටයි. බලාජි ටෙලි සමාගමේ ඉදිරිපත් කිරිමක් වන මෙය එක්තා කපූර්ගේ නිෂ්පාදනයක්. මෙම ටෙලි නාට්‍යයට පදනම වූයේ මන්ජු කපූර් කලකට පෙර ලියූ 'කස්ටඩි' නවකතාවයි. නීරාජ් බාලියන් ඉම්රාන් අධ්‍යක්ෂණය කරන යේ හායි මොහබ්බතින් කතා මාලාව දැනට ඉන්දියාවේ කොටස් 848 ක් විකාශය කර හමාරය. මෙහි රමන් කුමාර් ලෙස කරන් පටෙල්, ඉශිතා ලෙස දිව්‍යාතා ත්‍රිපති, රූහි ලෙස අදිනි භානියාත් චරිත නිරූපණය කරයි.

සදහටම ඔබ මගේ - MERI ASHIQI TUMSE HI

දෙරණ නාළිකාවේ විකාශය වන සදහටම ඔබ මගේ ටෙලි නාටක මාලාව ඉන්දියාවේ විකාශය වන්නේ 'මෙරි ආශිකි තුමිසේ හායි' නමින් කලර්ස් ටී. වී. නාළිකාව ඔස්සේය. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 10 ට විකාශය වන මෙය විකාශය ඇරඹුවේ 2014 ජූනි මස 24 වැනිදාය. යේ හායි මොහබ්බතීන් සේම මෙහි නිෂ්පාදනය ද එක්තා කපූර් ගෙන්ය. ඉදිරිපත් කිරීම බලාජි ටෙලි ෆිල්ම්ස්ය. අනිල් වී. කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය සොනාල් ජෆාර්ගේ කතාවක් ඇසුරින් නිපදවා ඇත. රන්වීර් හා ඉෂානිගේ කතාව ලෙසින් අතිශය ජනප්‍රිය මෙහි එම චරිත සඳහා පණ පොවන්නේ ශක්ති අරෝරා සහ රාධිකා මාදන්ය. ඉන්දියාවේ දැනට කොටස් 446 ක් කලර්ස් ටී. වී. ඔස්සේ විකාශය කර ඇත.

දෝණි - UDAAN

හිරු නාළිකාවේ අතිශය ජනප්‍රිය දෝණි කතා මාලාවේ මුල් නම 'උදාන් සප්නොන් කී'ය. 2014 අගොස්තු 18 වැනිදා සිට විකාශය ඇරඹූ මෙය සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක හා නිෂ්පාදකයකු වන මහේෂ් භාත් ගේ නිෂ්පාදනයක්. කලර්ස් ටී වී නාළිකාව ඔස්සේ විකාශය වන උදාන් සප්නොන් කී මහේෂ් භාත් විසින් නිෂ්පාදනය කොට තිරගත නොකළ චිත්‍රපටයක් ඇසුරින් නිපදවන ලද්දක්. කලර්ස් ටී වී ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා විකාශය වන මෙය දැනට කොටස් 565 ක් විකාශය කොට අවසන්. මෙහි දමිළ හඬ කැවූ නාටකය ඉන්දියාවේ රාජ් ටී. වී ඔස්සේ ද විකාශය වේ.

සූරයන්ගෙත් සූරයා - BAL VEER

හිරු නාළිකාවේ විකාශය වන සූරයන්ගෙත් සූරයා බාල් වීර් නම් ජනප්‍රිය හින්දි කතා මාලාවයි. ළමා කතා මාලාවක් ලෙස ජනප්‍රිය බාල් වීර් සාබ් ටී. වී. ඔස්සේ විකාශය වේ. දැනට කොටස් 1026 ක් විකාශය කොට ඇති මෙය 2012 ඔක්තෝබර් 8 වැනිදා සිට විකාශය අරඹා ඇත. සඳුදා සිට සිකුරාදා දක්වා මෙය සාබ් ටී. වී. ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත සමීප වූවකි. විපුල් ඩි ශා ගේ නිෂ්පාදනයක් වන බාල් වීර් අමිත් සෙන් මෝදර්ගේ තිර නාටකයකි. සුදිප් සිං සහ අනුශ්කා සෙන් මෙහි ප්‍රධාන චරිත මවති. දේවි ජෝයි බාල් වීර් ලෙස පෙනී සිටී.

ජෝදා අක්බර් - JODHA AKBAR

හිරු නාළිකාවේ අතිශය ජනප්‍රිය ජෝදා අක්බර් ප්‍රේම පුරාණය 2013 ජූනි මස 18 වැනිදා සිට විකාශය ඇරඹූවකි. ඒ ඉන්දියාවේ ජනප්‍රිය සී ටී වී නාළිකාව තුළිනි. එක්තා කපූර් නිෂ්පාදනයක් වන ජෝදා අක්බාර් ඉදිරිපත් කරන්නේ බලාජි ටෙලි ෆිල්ම්ස් විසින්. සන්ත්‍රම් වර්මාගේ අධ්‍යක්ෂණයක් වන මෙහි අක්බර්ගේ චරිතය රජත් හා ජෝදා ලෙස පරිධි ශර්මා චරිත මවයි.

ආදරෙයි මං ආදරෙයි - KUM KUM BHAGYA

හිරු නාළිකාවේ අතිශය ජනප්‍රිය ආදරෙයි මං ආදරෙයි කතා මාලාව ඉන්දියාවේ සී ටී වී නාළිකාවේ කුං කුම් භාග්‍යා කතා මාලාවයි. 2014 අප්‍රේල් 5 වැනිදා සිට විකාශය ඇරඹූ කුංකුම් භාග්‍යා ජේන් ඔස්ටන්ගේ 'සෙන්ස් ඇන්ඩ් සෙන්සිබිලිටි' නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. අනිෂ් නග්ගාල්, විකාන් තිවාරිගේ තිර රචනයට සමීර් කුල්කර්නි අධ්‍යක්ෂණය කරන ලද මෙයත් එක්තා කපූර්ගේ නිෂ්පාදනයක්. සී ටී වී ඔස්සේ සඳුදා සිට සිකුරාදා රාත්‍රී 10.30 ට විකාශය වන කුංකුම් භාග්‍යා 21 වන ලයන්ස් ගෝල්ඩ් සම්මාන උලෙළේදී හොඳම ටෙලි කතා මාලාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. සබ්බාර් අනුලු වාලියා, ශ්‍රිනි ජා, අර්වීත් තෙෆේජා මහි චරිත මවති. දෙරණ නාළිකාවේ විකාශය වන 'දේදුන්නයි ආදරේ' කුංකුම් භාග්‍යා සිංහල භාෂාවෙන් කළ ප්‍රති නිර්මාණයකි.

ස්වප්නා - DIYA AUR BHATHI HUM

සිරස නාළිකාවේ කලක් තිස්සේ ජනප්‍රිය වූ ස්වප්නා ස්ටාර් ප්ලස් නාළිකාවේ විකාශය වන දියා ඕර් භාති හම් කතා මාලාවයි. දිනපතා රාත්‍රී 9.00 ට විකාශය වන මෙය දැනට කොටස් 1415 ක් විකාශය කොට අවසන්ය. මෙහි රූපගත කිරීම් දිල්ලියේ, කල්කටාවේ, හයිද්‍රාබාද් ආදී ප්‍රදේශවල සිදු කොට ඇත. මෙහි නිෂ්පාදනය සංජි සුමිත් ගෙනි. අනාග් රශිද්, දීපිකා සිංග් මෙහි ප්‍රධාන චරිත මවති.

අධිරජ ධර්මාශෝක - CHAKRA VARTHIN ASHOKA SAMRAT



දෙරණ නාළිකාවේ අධිරජ ධර්මාශෝක ඉන්දියාවේ කලර්ස් නාළිකාවේ අතිශය ජනප්‍රිය ටෙලි කතාවකි. චක්‍රවර්ති අශෝක සාම්රත් මේ වන විට කොටස් 381 ක් කලර්ස් ටි වී ඔස්සේ විකාශය කොට ඇත. 2015 වසරේ පෙබරවාරි 2 වැනිදා සිට මෙහි විකාශය අරඹා ඇත. අශෝක් බෑන්කර්ගේ තිර රචනයක් වන මෙය ප්‍රසාද් හා ගේ අධ්‍යක්ෂණයකි. නිෂ්පාදනය අභිමන්සු රාජ් සිං ගෙනි. සිද්ධාර්ත් නිගම් අශෝ්කගේ ළම වියද සමඟ චරිත මවන මෙම මාලා නාටකය ලංකාවේ මෙන්ම කාම්බෝජයේ ද, ඉන්දුනීසියාවේ ද හඬ කවා විකාශය කරන ලදී. මේ වන විට ඉන්දියාවේ නම් අශෝක චරිතය ගැටවර වියට එළැඹ ඇති අතර එහි චරිත නිරූපණය මොහිත් රයිනාගෙනි.

ප්‍රේම දඩයම - NAAGINA MOHABBAT AUR INTEGAAM KI DASTAAN

සිරස නාළිකාවේ ප්‍රේම දඩයම මේ වන විටත් සෑහෙන ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ටෙලි කතා මාලාවකි. කලර්ස් ටී වී ඔස්සේ විකාශය වන නාගියා මොහබ්බත් අවුර් ඉන්තගාම් කී දස්තාන් 2015 පෙබරවාරි 1 වනදා සිට විකාශය ඇරඹූවකි. ඉරිදා විකාශය වූ මෙම ටෙලි නාටක මාලාව 2016 ජූනි 5 වැනිදා විකාශය අවසන් කෙරිණි. බලාජි ටෙලි ෆිල්ම්ස් ඉදිරිපත් කරන මෙය එක්තා කපූර්ගේ නිෂ්පාදනයක්. ශාන්තිරාම් වර්මා ඇතුළු පිරිසක් මෙය අධ්‍යක්ෂණය කොට ඇත. එය කොටස් 65 කින් සමන්විත වන අතර මෙහි දෙවැනි කොටස ලබන ඔක්තෝබරයේ සිට විකාශය වේ.

රාවන් - RAAWAN

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන රාවන් කතා මාලාව කොටස් 105 කින් සමන්විත කතා මාලාවකි. සී ටී වී නාළිකාවේ 2006 නොවැම්බර් 16 සිට 2008 මැයි 31 වැනිදා දක්වා මෙය විකාශය වී ඇත. නරේන්ද්‍ර ජා, ෆරාස් අරෝරා මෙහි චරිත මවති.

මායා පැන්සල - SHAKA LAKA BOOM BOOM

ස්වර්ණවාහිනී නාළිකාවේ මායා පැන්සල ළමා මාලා නාටකයකි. ඉන්දියාවේ දූර්දර්ශන් ජාතික නාළිකාවේ හා ස්ටාර් ප්ලස් නාළිකාවන්වල 2000 වසරේ අගෝස්තු 18 වැනිදා සිට 2008 මැයි මස 31 වැනිදා දක්වා විකාශය කොට ඇත. කොටස් 494 කින් සමන්විත මෙය විජේ ක්‍රිශ්නා ආචාර්ය ගේ නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිම වූවක්. වෛද්‍ය මුහම්මද් කයියාන්, රාහුල් රෝයි ආදීන් මෙහි චරිත මවයි.

මගේ සඳ ඔබ - SAATH NIBHANA SATHIYA

භගවාන් යාදව්ගේ අධ්‍යක්ෂණයෙන් ස්්ටාර් ප්ලස් නාළිකාවේ සඳුදා සිට සිකුරාදා දක්වා විකාශය වූ සාත් නිභානා සාතියා 2010 වසරේ මැයි 3 වැනිදා සිට විකාශය ඇරඹූවකි. දැනට කොටස් 1808 විකාශය කොට ඇති සාත් නිභානා සාතියා රශ්මි සර්වාගේ නිෂ්පාදකයකි. නෙගනම් නෙගාද් ගේ තිර රචනයක් වන මෙය මරාති, මලයාලම්, කණ්ණඩ, බෙංගාලි, තෙළිඟු යන භාෂාවලින් ද හඬ කවා විකාශය කොට ඇත. සාත් නිභානා සාතියා දමිළ බසින් ද ප්‍රති නිෂ්පාදනය කොට ඇති අතර අයිවම් කාන්දු වීඩු ලෙස මෙය විජය ටී වී ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා විකාශය වේ. එහි ද දැනට කොටස් 250 ක් පමණ ප්‍රචාරය වී ඇත.

ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාටක කතා මාලාවල නිධාන කතාව එසේය. කෙසේ වුව ද චන්ද්‍රිකා හා කේබල් නාළිකා නරඹන ඔබට මේ කතා මාලා ඉංග්‍රීසි උප සිරැසි සහිතව ද නැරඹිය හැකිය. ඒ නවතම කොටස්වලින්ය. යූ ටියුබ් ජාලය ඔස්සේ අන්තර්ජාලය තුළ සැරිසරන ඔබට මේ කතා මාලා නැරඹීමට ද පුළුවන.