වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

වාරණය වූ චිත්‍රපට ගී මොනවාද?

කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර

ප්‍රශ්නය - 'සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ' ගීතය රැගත් චිත්‍රපටය කුමක්ද?

පිළිතුර - එය චිත්‍රපට ගීතයක් නෙමෙයි සුනිල්.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි

ප්‍රශ්නය - 'චන්ද්‍රලේඛා' චිත්‍රපටය පිළිබඳ විස්තරයක් කරන්න?

පිළිතුර - එස්. එස්. වාසන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ එම්. ආර්. රාධා, ටී. ආර්. රාජ කුමාරි, රන්ජන් රඟපෑවා.

කැමරාව කමල් ගෝෂ්, සලුරි රාජේෂ්ර රාඕ සංගීතවත් කළා. මෙය දෙමළෙන් හා හින්දියෙන් නිපද වූ චිත්‍රපටයක්. තිරගත වුණේ 1948 දී.

අකුරුස්සේ නාලිකා රොඩ්රිගෝ

ප්‍රශ්නය - ප්‍රේමකීර්ති ද අල්විස් 'මිනිසකු පිට නැඟි අසරුවෙකි' ගීතය ලීවේ අත්දැකිමක් පදනම් කරගෙනද?

පිළිතුර - ඔව්. එක්තරා ප්‍රකට සංගීතඥයෙක් ගුවන් විදුලි සංස්ථාව නුදුරින් පිහිටා තිබුණු හොර අරක්කු තිප්පොළක බූරු ඇඳක් මත රේස් කොලයක් බලමින් සිටිනු දවසක් ප්‍රේමකීර්ති දැක්කා. (ඒ සංගීතඥයාට අගෞරවයක් වේ යැයි සිතන බැවින් මා මෙහිදී ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ). ඒ අත්දැකීමෙන් තමයි ප්‍රේමකීර්ති ඔය ගීතය ලිව්වේ.

මාතර තිලක් විජේකෝන්

ප්‍රශ්නය - විදෙස් රටකට ගොස් ඉතාම අඩු මුදලකින් සිනමාකරණය ඉගෙන ගත හැකි මඟක් කියන්න?

පිළිතුර - ඔයා යන්න දකුණු ඉන්දියාවේ අඩයාර් චිත්‍රපට ආයතනයට. මමත් එහි ගිහිං තියෙනවා. පහත ලිපිනයෙන් ඔබට වැඩි විස්තර දැනගත හැකියි. Film And Televition Instititute of Tamil Nadu, CPT Campus, Chennai  - 600113.

මහරගම ඉනෝකා කරුණාතිලක

ප්‍රශ්නය - 'දමයන්ති' චිත්‍රපටයට මොහිදීන් බෙග් ගැයූ 'සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා' ගීතය ලීවේ 'කරුණාරත්න අබේසේකරද?

පිළිතුර - නැහැ. ප්‍රේමකීර්ති ද අල්විස්.

මෝදර එම්. ආර්. සී. ඩයස්

ප්‍රශ්නය - ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් ඉවත් කරනු ලැබූ චිත්‍රපට ගී මොනවාද?

පිළිතුර - 'අබිරහස' චිත්‍රපටයට ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියූ ගීතයක් චිත්‍රපටයෙන් ඉවත් කළ බව මා අසා තිබෙනවා.

වඳුරඹ සරත් කන්නන්ගර

ප්‍රශ්නය - ශෂි විජේන්ද්‍ර ගේ මුල් නම මුස්ලිම්ද?

පිළිතුර - ඔව්. ඔහුගේ මුල් නම එම්. එම්. හනීෆා.

ගොතටුව අමිල කිරිවත්තුඩුව

ප්‍රශ්නය - මර්වින් මිහිඳුකුල චිත්‍රපටවල පසුබිම් ගී ගයා තිබේද?

පිළිතුර - වැඩ බැරි නම් වැඩක් නෑ චිත්‍රපටයට ඔහු ගී ගැයුවා.

මත්තොගොඩ අජිත් ජෝතිය කරසිංහ

ප්‍රශ්නය - රවින්ද්‍රනාත් තාගෝර්ගේ කතා අපේ සිනමාවට නැඟී තිබෙනවාද?

පිළිතුර - නැහැ. නමුත් 'සැනසිලි සුවය' චිත්‍රපටයට පාදක වූ හින්දි (ගුන්හාට්) හා දෙමළ (මාදර්කුල මානික්කම්) චිත්‍රපට දෙකට මූලාශ්‍ර කර ගත්තේ තාගෝර්ගේ කතාවක්.

මුංහේනේ එච්. ඉන්ද්‍රපාල

ප්‍රශ්නය - 'නල්ල නේරම්' නමින් තිරගත වූ දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ කවුද?

පිළිතුර - එම්. ඒ. තිරුමුගම් අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිතය රගපෑවේ එම්. ජී. රාමචන්ද්‍රන්. 1972 දී තිරගත වුණා.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. කොළඹ පංචිකාවත්තේ එච්. එස්. සැමුවෙල්, ගණේමුල්ලේ ආර්. එච්. එම්. ප්‍රේමසිරි, දොඩංගොඩ එන්. සී. ඉසෙඩ් සිරිවර්ධන, රණාලේ එච්. ඒ. ජයසේන, ජාඇළ ආතර් ජයකොඩි, හැඳල වික්ටර් පල්ලිමුල්ල, කැලණියේ සිරිල් හේවගේ, මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු, අවිස්සාවේල්ලේ පී. වයි. අනුලාවතී, කළුබෝවිල එල්. එම්. ප්‍රේමසේන පෙරේරා

පසුගිය සතියේ පිළිතුරු දුන් ඩී.ආර්.නානායක්කාර ගී ගැයූ චිත්‍රපට පිළිබඳ ප්‍රශ්නයට කලියුග කාලේ චිත්‍රපටයද ඇතුළත් විය යුතුය.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න

‘සුමිගෙන් අහන්න’

‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.