වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

රිතික් දැන් හරි ගණන්

රිතික් රෝෂන් දැන් හරිම ගණන් කියලා බොලිවුඩයෙක් ආරංචි වෙනවා. ඔහු පසුගිය කාලය වැය කළේ ආෂුතෝෂ් ගොවාකර්ගේ ‘Mohenjo Daro’  චිත්‍රපටය වෙනුවෙන්. මේ සමඟින් රිතික් ඊළඟ චිත්‍රපට හයකට ගිවිසුම් අත්සන් කරලා. ඒ වෙනුවෙන් අය කිරීම ඉන්දීය රුපියල් කෝටි පන්සියක්.

රිතික් පසුගිය වසර පහ තුළ දායක වූ චිත්‍රපට හතරම ආදායම් වාර්තා අතින් සාර්ථක වුණා. Zindagi Na Milegi Dobara(2011), Agneepath (2012), Krrish 3 (2013), Bang Bang(2014)සාර්ථක ලෙස ලොව පුරා තිරගත වුණේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින්. මේ නිසා 2017 වසරත් රිතික්ට හොඳ වසරක් වෙන බව තමයි පෙනී යන්නේ. සන්ජේ ගුප්තා අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Kaabil  ලබන වසරේ ජනවාරි මාසයේදී තිරගත කරන්න සූදානම්.

‘Mohenjo Daro’ චිත්‍රපටය ලබන අගෝස්තු මාසයේදී තිරගත කරන්න නිමිතයි. ඒ විතරක් නෙවෙයි යුරෝපයේ ප්‍රධාන සිනමා උලෙළක් වන ලොර්නාකෝ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ සමාප්තිය සටහන් කරන්න නියමිතව තියෙන්නෙත් ‘Mohenjo Daro’  චිත්‍රපටය යි.

ෆාවද්ට ආරාධනයක්

පාකිස්තාන නළු ෆාවද් ඛාන් බොලිවුඩ් සිනමාවේ ඉහළ ප්‍රසිද්ධියක් ලැබුවේ ශෂංකා ගෝෂ් අධ්‍යක්ෂණය කළ ‘Khoobsurat’  චිත්‍රපටයෙන්. ඔහුගේ කඩවසම් බව ගැන හැමෝම කතා කරද්දී ඔහු නම් කියන්නේ කඩවසම් බව නළුවෙකුට ඉදිරියට යන්න හේතු වන පොඩි තල්ලුවක් පමණක් බවයි.

රසික රසිකාවන් ඔහු වටා සිටින්නේ තමන්ගේ කඩවසම් බවට නොව තමන් විවිධ චරිත නිරීපණය කරන නිසා බව ෆාවද්ගේ විශ්වාසය යි. ඔහු Kapoor & Sons  චිත්‍රපටයේ කළ රංගනයක් කා අතරත් කතාබහට ලක් වුණා. සිනමා නිර්මාණ වැඩි ගණනකට දායක නොවුණත් ෆාවද්ගේ ජනප්‍රියත්වය නම් මේවන විට ඉහළ ගිහින්. මීළඟට ඔහු දායක වුණේ කරන් ජොහාර්ගේ Ae Dil Hai Mushkil චිත්‍රපටයට. සල්මන් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටයටත් ෆාවද්ට ආරාධනා ලැබිලා කියලා බොලිවුඩ් ආරංචි ගෙන එනවා.

මධුරිට මතුවන කඳුළු

අනූව දශකයේදී මධුරි ඩික්සිත්ගේ රංගනය උන්මාදයක් වූවා යැයි කීම වරදක් නැහැ. රසික ආකර්ශනය ඉහළින් දිනාගත් බොලිවුඩ් නිළියන් අතරේ මධුරිගේ නර්තනය සුවිශේෂි වුණා. මධුරි රගනයෙන් දායක වන සිනමා නිර්මාණ ඇයගේ අපූරු නර්තනයෙන් වඩාත් සුන්දර වෙන්නත් හේතු වුණා.

මධුරි පසුගිය දවසක රියලිටි නර්තන තරගයක විනිශ්චයකට දායක වුණා. මටත් මගේ තාත්තා නිතරම සිහි වෙනවා. ඇය එහිදී පැවැසුවේ බොහොම හැඟීම්බරව. එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා.

මේ රියලිටි තරගාවලියේ ආර්යන් පත්‍රා නම් තරුණයා ඉදිරපත් කළ නර්තනය ඇය මෙන්ම විනිශ්චය මණ්ඩලයේ සිටි අනෙකුත් සමාජිකයන් දෙදෙනාවත් සංවේදි කළා. ඔහු ඉදිරිපත් කළ නර්තන අංගයෙන් කියවුණේ ‘පියෙකුගේ සැඟවුණු ආදරය’ගැනයි. අද ගොඩක් දරුවන්ට අම්මා තාත්තා තමන් වෙනුවෙන් කළ දේවල් අමතක වෙනවා. එහෙම නොවී ඉතාම ආදරයෙන් ඔවුන් රැකබලා ගත යුතුයි. මට නිතරම මගේ තාත්තා සිහිපත් වෙනවා. මේ නර්තනය දුටුවාම එය තව තවත් වැඩි වුණා. මධුරි කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.

සුල්තාන් ගීතයට රන්වීර් නටලා

රන්වීර් සිං පසුගිය කාලයම ගත කළේ ප්‍රංශයේ. ආදිත්‍ය චොප්රාගේ ‘බෙෆික්රේ’චිත්‍රපටය වෙනුවෙන් ප්‍රංශයට ගිය රන්වීර් යුරෝපයේ පුංචි විවේකයක් ගත කරන්නත් කාලය වෙන් කළා. ඒ තනිව නොවෙයි. ඔහුගේ පෙම්වතිය දීපිකාත් සමඟින්. සල්මන් ඛාන්ගේ සුල්තාන් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කළේත් මේ අතරවාරයේදීයි.

රන්වීර් ‘සුල්තාන්’චිත්‍රපටය නැරඹුවේ ප්‍රංශයේ පැරිස් නගරයේ ප්‍රධාන සිනමා ශාලාවකදීයි. මේ අතර වාරයේ එහි ගීතයක් තිරගත වෙන විටදී සතුට වැඩි නිසාම රන්වීරුත් නටන්න පටන් අරන්. සුල්තාන්හි එන Baby Ko Bass Pasand Hai  නම් ගීතමය අවස්ථාවේදී රන්වීර් සිනමා ශාලාව තුළ ඉදිරිපත් කළ නර්තනයටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබිලා.

යුරෝපයේ නිවාඩුව අවසන් කරලා රන්වීර් සහ දීපිකා මුම්බායි නගරයට පැමිණයේ පසුගිය 18 වැනිදා. මීළඟට මේ යුවළ නැවතත් සිනමා නිර්මාණයකින් ඔබ හමුවට එන්න සූදානම්. ඒ සන්ජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවති’චිත්‍රපටයෙන්.

ජැක්ලයින්ට වරුන් හා ජෝන්

ලාංකේය රූ රැජනක වන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් මේ වන විට බොලිවුඩයේ දැවැන්ත තරු රැසක් සමඟින් තම රංගනයන් ඉදිරිපත් කරන්න වරම් ලබා ගෙන තියෙනවා. මීළඟට ඇයගේ නිර්මාණයේදී හමු වෙන්නේ වරුන් ධවාන් සහ ජෝන් ඒබ්‍රහම්. ලබන 29 වැනිදා තිරගත වීමට නියමිත එය රෝහිත් ධවාන් අධ්‍යක්ෂණය කළ Dishoom..

ක්‍රියාදාම චිත්‍රපටයක් වන Dishoom පසුගිය ජූනි මස තිරගත වෙන්න නියමිත වුණත් විවිධ හේතු නිසා මාසයකට කල් ගියා. මේ චිත්‍රපටය නිසා ජෝන් සහ වරුන්ට වගේම ජැක්ලීන්ටත් නිතරම ජීම් එකේ කාලය ගෙවන්න වූ බව තමයි ආරංචි වුණේ. මේ අත්දැකීම ජැක්ලීන්ට නම් ටිකක් නුහුරු වෙලා. ඒ වුණත් නිර්මාණය වෙනුවෙන් සාධාරණයක් කරන්න ඇයත් කොහොම හරි ඒ වෙනුවෙන් කැප වෙලා.

ජෝන් සහ වරුන් Dishoom  වෙනුවෙන් වුණු මහන්සිය දැකපු ජැක්ලීන් කිව්වේ මෙහෙම දෙයක්. වරුන් හොඳ ශක්ති සම්පන්න තරුණයෙක්. නිදා ගන්නේ නැතුව එක දිගට වුණත් වැඩ කරන්න සූදානම්. ඇත්තටම ඔහු අධ්‍යක්ෂවරයෙකුග් සිහිනයක් වන නළුවෙක්. ජෝන් ගැන කියනවා නම් ඔහු හොඳ ක්‍රියාදාම නළුවෙක්. පිටට තද පුද්ගලයෙක් වගේ පෙනුනත් ඇත්තටම ඔහු හරිම මෘදු කෙනෙක්. දර්ශන තලයේ විවේකයේදි ඔහු නිතරම විහිළු කරනවා. සමහර වෙලාවට ඒවා විහිළුද කියලා මට තේරුම් ගන්න බැහැ ජැක්ලීන් පවසනවා.