වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ජනකරළියට වසර 13යි නව රංගකලා වැඩසටහනක්

ජනකරළියට වසර 13යි නව රංගකලා වැඩසටහනක්

2003 වසරේ ආරම්භ කළ ජන කරළියට ජූලි 29 වැනිදාට වසර 13ක් සම්පූර්ණ වෙයි. ඒ නිමිත්තෙන් නව රංග කලා වැඩසටහනක් පැවැත්වීමට ජනකරළිය කටයුතු යොදා ඇත. මේ යටතේ යාපනයේ තරුණ නාට්‍ය ශිල්පීන් කණ්ඩායමක් පුහුණු කර ජනකරළිය රංගන කණ්ඩායම සමඟ සම්බන්ධකර නාට්‍යයන් නිෂ්පාදනය කිරීමටත් එය ලංකාවේ විවිධ ස්ථානවල රංග ගත කිරීමටත් කටයුතු යෙදීය.

යාපනයේ වෙසෙන ප්‍රවීණ නාට්‍යකරුවෙකු වන ආචාර්ය කුලන්දෙයි එම්. ෂන්මුගලිංගම් විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘කොකේසියන් චෝක් සර්කල්’ නාට්‍යය යි. ‘වෙන්කට්ටි වට්ටම්’ යනුවෙන් නම්කර ඇති එය ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සහ යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නාට්‍යවේදී කදිරේසු රතිධරන්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇත.

‘වෙන්කට්ටි වට්ටම්’ මංගල දර්ශනය හෙට (22 වැනිදා) යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ජූලි 25 වැනිදා කොළඹ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේත් 27 වැනිදා මාතර, රුහුණු විශ්වවිද්‍යාලයේ දීත් රංගගත කෙරේ. අනතුරුව කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය, වවුනියා මධ්‍ය මහා විද්‍යාලය, හැටන් ශ්‍රී පාද ගුරු පුහුණු මධ්‍යස්ථානය, ත්‍රිකුණාමලය විවේකානන්ද ශාලාව සහ මඩකලපුව විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය යන ස්ථානවලදී ද ‘වෙන්කට්ටි වට්ටම්’ වේදිකා ගත කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික වැඩසටහනට සම්බන්ධ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල යටතේ පවත්වන වැඩසටහනක් ලෙසින් මෙය ක්‍රියාත්මක කෙරේ.

පරාක්‍රම නිරිඇල්ල