වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සයිකල් ෆස්ට් - ජැක්සන් සෙකන්ඩ්

සයිකල් ෆස්ට් - ජැක්සන් සෙකන්ඩ්

අපට සිටින අති දක්ෂ නළුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියන්නේ. හොඳම නළුවා ලෙස අවස්ථා කිහිපයකදීම ඔහු සම්මානිත වුණා. මේ කියන්න හදන්නේ ජැක්සන්ගේ අපූරු අතීත කතාවක්. ජැක්සන්ට පෙර ඔහුගේ බයිසිකලය රඟපෑවලු. ඒ කියන්නේ ජැක්සන් කැමරාවට මුහුණ දෙන්නට කලින් බයිසිකලය රඟපාලා තියෙනවා. දැන් ඔබ බලයි මොකක්ද මේ හරුපෙ කියලා. ඔන්න එහෙනම් අහගන්නකො සහසුද්දෙන්ම. ජැක්සන්ට නළු උණ තිබුණු කාලේ රාගම ඔහුගේ ගමේ චිත්‍රපටයක් රූගත කරලා තියෙනවා. ඒකේ නම සිරිල් මල්ලි. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිතය මැව්වේ. සිරිල් මල්ලි චිත්‍රපටයේ ගාමිණී පාපැදියක් පාවිච්චි කරනවා. අන්න ඒක ජැක්සන්ගෙලු. ඒ දිනවල ජැක්සන් පාසල් යනවා. චිත්‍රපටයක් රූගත කරනවා බලන්න තමා ජැක්සන් ගිහිින් තිබුණේ. එතෙන්දි බයිසිකලය ඉල්ලගෙන. ජැක්සන් ආසාවට බයිසිකලය දුන්නලු. සිරිල් මල්ලි හි අධ්‍යක්ෂවරයා ජැක්සන්ගේ බයිසිකලය චිත්‍රපටයට අරගෙන තිබෙන්නේ එය ඊට සරිලන නිසා. ජැක්සන් දෙවියකුට හා සමානව සැලකූ ගාමිණී වගේ කෙනෙක් චිත්‍රපයකට තමන්ගේ පාපැදිය ගත්තා කිව්වම ඒක මහ පුදුමයක් වුණාලු ඔහුට. නමුත් ඒ පතාක යෝධයා සමඟ කතා කරන්නට අහලටවත් යන්න ජැක්සන්ට ඒකාලේ බැරි වෙලා. කොහොම හරි එදින ගාමිණීට ගොඩපර ගෙඩි වගයක් අවශ්‍ය වෙලා ඒවත් ගෙනත් දීලා තියෙන්නේ ජැක්සන්. ඒත් ගාමිණී සමඟ වචනයක්වත් කතා කරන්නට තියා ළං වන්නටවත් බැරි වුණාලු. කෙසේ වෙතත් ජැක්සන්ට පෙර ජැක්සන්ගේ බයිසිකලය රඟපාලා තියෙනවා. එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයි, සිනමා සක්විති සමඟ.