වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ඉන්ස්ටග්‍රම් රැජන

සෙලීනා ගෝමස් ඉන්ස්ටග්‍රම් සමඟින් අලුත් ගිවිසුමක් අත්සන් කරලා. ලොවපුරා සිටින ඇයගේ රසික රසිකාවන්ට නම් මේක සුබම සුබ ආරංචියක් වේවි. සෙලීනාගේ ගීත සහ ඇය සම්බන්ධ වීඩියෝ දර්ශන කාටත් නැරඹිය හැකි පරිදි පොදුවේ පළ කිරීම වෙනුවෙනුයි මේ ගිවිසුම වෙන් වෙන්නේ.

සෙලීනා මේ වෙනුවෙන් එකඟ වෙන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඉන්ස්ටග්‍රම් තුළ වැඩිම පිරිසකගේ කැමතිම ඡායාරූපය බවට පත් වෙලා තියෙන්නේ ඇයගේ ඡායාරූපයක්. ඒ වගේම ඉන්ස්ටග්‍රම් කියන්නේ ලොවපුරා සිටින ජනප්‍රිය පුද්ගලයන්ගේ සහයෝගය ඉහළින්ම ලැබෙන සමාජ වෙබි අඩවියක්.

විසිතුන් හැවිරිදි සෙලීනාට ඉන්ස්ටග්‍රම් තුළ මිලියන 89ක රසික රසිකාවන් පිරිසක් සිටිනවා. ඒ වගේම සෙලීනාත් කාලයක් පුරා ඉන්ස්ටග්‍රම් තුළ රැඳී සිටිනවා. මේ හේතු සියල්ලම නිසා දැන් ඇය හඳුන්වන්නේ ඉන්ස්ටග්‍රම් රැජන ලෙසින්. ඉදිරියට සෙලීනාගේ අලුත් ගීත වගේම ඇයගේ විස්තර ඇතුළත් විඩීයෝ ලොවපුරා සිටින සියලුම ඉන්ස්ටග්‍රම් සමාජිකයන්ට නරඹන්න පුළුවන්.


 

ඒලියන් කී රහස

සයන් මලික් ‘වන් ඩිරෙක්ෂන්’සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා දැන් ටික කාලයක් ගත වෙලා. මේ ඉවත්වීමට හේතුව ඔහු කියන්නේ දැන්. සයන්ට වන් ඩිරෙන්ක්ෂන් වෙතින් ඉවත් වෙන්න තල්ලුවදීලා තියෙන්නේ ඒලියන් කෙනෙක් (පිටසක්වල ජීවියෙක්).

සයන් මලික් වන් ඩිරෙක්ෂන් සමඟින් සම්බන්ධ වුණේ 2010 වසරේදීයි. පසුගිය මාර්තු මාසයේදී ඔහු එයින් ඉවත්ව තනිවම තම සංගීත ගමන ආරම්භ කළා. ඔහුගේ ඉවත්ව යාම හැමෝටම පුදුමයක් වුණා. සයන් මලික් කියන්නේ පිටසක්වල ජීවියෙක් හීනෙන් ඇවිත් වන් ඩිරෙක්ෂන් වෙතින් වෙන් වී තනිවම සංගීත ගමන යන්න කියූ බවයි.

“මුලදී වෙනසක් නොදැනුණත් කාලයක් යන විට කණ්ඩායම තුළ මට මා විදියට ඉන්න අමාරු බව තේරුම් ගියා. කාලයක් මගේ යටි හිතේ මේ අදහස තිබුණා. ඒ සිතුවිල්ල මගේ හිතෙන් ඉවත් නොවුණු නිසා මම කණ්ඩායමෙන් ඉවත් වෙන්න හිතුවා” සයන් මලික් මුලදී කිව්වේ මෙහෙමයි.

හැබැයි ඔහු කණ්ඩායමෙන් ඉවත් වෙලා ගිහින් කළ ප්‍රථම ගීත එකතුව ඉහළ ජනප්‍රසාදයක් හිමිකර ගත්තා. ඒක ඉතිහාසගත වාර්තාවකුත් සටහන් කළා. ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල ගීත එකතුව Mind of Mine අමෙරිකානු බිල්බෝඩ් ගීත දර්ශකයේ ප්‍රථම ස්ථානයට පැමිණියා. සයන් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සිය ප්‍රථම ගීත එකතුවෙන් අමෙරිකානු ගීත දර්ශකයක අංක එක හිමිකරගත් දෙවැනි අවස්ථාවයි. සයන්ට මේ වාර්තාව තියන්න අවුරුදු තිහකට කලින් ඒ වාර්තාව හිමි වී තිබුණේ ජෝර්ජ් මයිකල් හට. දැනටත් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ගීත එකතුවෙන් අංක එක දිනාගත් ගායකයා වන්නේ සයන් මලික්.


ජනපති රොක්

පාසල් කාලයේ පාපන්දු තරුවක්ව සිට වෘත්තීය මල්ලවපොර සූරයකුවී රංගනයේත් සුපිරි තරුවත් තමයි ඩේව්යන් ජොන්සන් හෙවත් රොක්. රොක්ගේ මීළඟ බලාපොරොත්තුව සියලුම අභියෝග ජය අරගෙන අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලනයට අවතීර්ණ වී ජනාධිපති තනතුරට පත් වෙන්නයි.

ගුඩ්මෝනින් අමෙරිකා වැඩසටහනට එකතු වෙමින් රොක් පවසා සිටියේ මේ සිතුවිල්ලට හේතු වුණේ රසික රසිකාවන්ගෙන් ලද ධෛර්යවත් කිරීම් බවයි. “සමහර වෙලාවට අපට විශ්වාස කරන්න අමාරුයි. නමුත් කාලයක් යනවිට අපට මිනිසුන්ගේ උෂ්ණත්වය මැනලා ඒක ධන නම් ජය ගෙන ඉදිරියට යන්න පුළුවන් ” රොක් පවසනවා. “මට හොඳ නායකයෙක් වෙන්න පුළුවන් ඒ වගේම හොඳ වෙනසක් කරන්න පුළුවන් කියලා, මට හිතනවා නම් මම ඒක කරනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


ස්වාසනේගර්ගේ බයිසියිකල් සවාරිය

පසුගිය සතියේ ලොස්ඇන්ජලීස් නගරයේ තාත්තෙකුයි පුතෙකුයි බයිසිකල් පැදගෙන ගිය දසුන කාගේත් අවධානයට ලක් වුණා. මේ තාත්තා ගොඩක් ජනප්‍රිය පුද්ගලයෙක්. දෙන්නම ගියේ ජිම් එකට. තාත්තා වෙන කවුරුවත් නෙවෙයි කැලිෆොනියාවේ හිටපු ආණාඩුකාරවරයකු මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන ආර්නොල්ඩ් ස්වාසනේගර්.

ඔහුගේ වයස දැන් අවුරුදු හැටඅටක්. තමන්ගේ දහඅට හැවිරිදි ජෝශප් බියානා පුතු සමඟින් ස්වාසනේගර් බයිසිකල් ගමනකින් ගියේ 60 - 70 දශකයේ තමන් ගිය ජිම් එකටයි. දෙන්නාම එකම මෝස්තරයේ ඇඳුම් ඇඳගෙන එකම විදියට කොණ්ඩෙත් සකසාගෙන තමයි ගමනට සූදානම් වෙලා තියෙන්නේ. ඔවුන් ගිය Gold’s නම් කායවර්ධන මධ්‍යස්ථානය ස්වාසනේගර්ට නම් ගොඩක් විශේෂයි. මොකද ඔහු රංගනයට එන්නත් ප්‍රථමව කායවර්ධන සූරයෙක්ව සිටි කාලයේදී පුහුණු වූ ස්ථානය වීමයි.


ඔබ කළු නම්...

බියොන්සේ ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක්. රිහානා කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ගායිකාවක්. දෙන්නාටම හොලිවුඩයේ තියෙන්නේ ඉහළ තැනක්. පසුගිය දවසක මේ දෙන්නා තවත් පිරිසක් සමඟ අලුත් වීඩියෝවක් කළා. ඒක ජනප්‍රිය වුණා විතරක් නෙවෙයි අමෙරිකාව තුළ ලොකු ආන්දෝලනයකුත් ඇති කළා.

හැබැයි මේ වීඩියෝව ගීතමය එකක් නම් නෙවෙයි. එයින් කියන්නේ අමෙරිකාව තුළ කළු අමෙරිකානුවන්ට එරෙහිව තිබෙන්නා වූ ප්‍රචණ්ඩත්වය යි. ‘ඔබ කළු නම් අමෙරිකාවේදි මරණයට පත්විය හැකි ක්‍රම 23ක්’ නමින් එය නම්කර තිබෙනවා.

බියොන්සේ සහ රිහානා ඇතුළු පිරිස මේ හරහා කියන්නේ, කළු අමෙරිකානුවෙකුට අමෙරිකාව තුළදී මරණය ළඟාවිය හැකි ක්‍රම විසිතුනක් ගැනයි. ඒ වෙනුවෙන් මේ දක්වා අමෙරිකාව තුළ මරණයට ලක් වූ කළු අමෙරිකානුවන් උදාහරණයට ගෙන තියෙනවා. මේ සෑම මරණයක්ම සිදුවී තිබෙන්නේ පොලිසිය නිසා බවත් හෙළිදරව් කරනවා. දැනටමත් මේ වීඩියෝවට ප්‍රතිචාර රැසක් ලැබී තියෙන බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා.