වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී දේවි-මධුරි-සුනිල්-ජැකී-කරිෂ්මා-නීල් කොළඹට එති

ශ්‍රී දේවි-මධුරි-සුනිල්-ජැකී-කරිෂ්මා-නීල් කොළඹට එති

හිරු ගෝල්ඩන් සම්මාන 9/11

ශ්‍රී දේවි, මධුරි ඩික්සිත්, ජැකී ශ්රොෆ්, සුනිල් ෂෙට්ටි, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ් යන බොලිවුඩ් සුපිරි තරු පිරිවරා හිරු ගෝල්ඩන් සම්මාන උලෙළ මෙවරද අති උත්කර්ෂවත් අයුරින් ලබන සැප්තැම්බර් මස 11 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දෙවසරකට වරක් සංවිධානය කරන එය මෙවර පැවැත් වෙනුයේ, දෙවැනි වතාවටය. 2014 – 2015 වර්ෂයන්හි තිරගත වූ සිනමාකෘති සහ ඒවාට දායකත්වය ලබා දුන් නිර්මාණකරුවන් වෙනුවෙන් මෙවර හිරු ගෝල්ඩන් සම්මාන උලෙළේ සම්මාන 40ක් වෙන්කොට තිබේ. මෙයට අමතරව හිරු යාවජීව සම්මානයද පිරි නැමීමට නියමිතය.

හිරු ගෝල්ඩන් සම්මාන උලෙළ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගේ සංකල්පයකි.

හිරු පිරිවර සාකච්ඡාව මෙහෙය වූ අයුරු වමේ සිට චාමර ජයවීර, ජීවන්ත දේවපි‍්‍රය, ධම්මික තෙන්නකෝන්, විරාජ් වැලිවත්ත සහ අරුණ ජයවර්ධන


ත්‍රිසූල දීපගේ මුල්ම සිනමා නිර්මාණය ‘පුතණ්ඩියා’ හෙට

ත්‍රිසූල දීප තඹවිට අධ්‍යක්ණය කළ ඔහුගේ කුලුඳුල් සිනමාපටය ‘පුතණ්ඩියා’ හෙට (22 වැනිදා) එම්. පී අයි සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරඹේ. ජීවන් කුමාරතුංග, බුද්ධික ජයරත්න, ධර්මප්‍රිය ඩයස්, හිමාලි සයුරංගි, නෙහාරා පීරිස්, අර්ජුන කමලනාත්, දුලිකා මාරපන, නිහාල් ප්‍රනාන්දු, වසන්ත විට්ටච්චි, ධනංජය සිරිවර්ධන, ටිරෝන් මයිකල්, ජයනි සේනානායක, කුසුම් පෙරේරා, සරත් දික්කුඹුර, චතුර පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් ‘පුතණ්ඩියා’හි චරිත නිරූපණය කරති.සමන්ත මීඇල්ල සමඟ මෙත්සිරි කුමාරසිංහ නිෂ්පාදනය කළ ‘පුතණ්ඩියා’හි කැමරා අධ්‍යක්ෂණය තිසූල දීප තඹවිට ගෙනි.

ත්‍රිසූල දීප තඹවිට ටෙලි නාට්‍ය රාශියක් කැමරාකරණය කළ අතර ‘මල්සර අකුණ’, ‘වාසුළි කන්ද’ ඇතුළුව ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය ද කළේය.


ලංකාවේදී ප්‍රථම වතාවට විදෙස් චිත්‍රපටයක් සිනමාශාලා පනහක

මෙරට සිනමා ඉතිහාසයේ මුල්වරට දෙමළ සිනමා නිර්මාණයක් හෙට (22) සිය සිනමාහල් පනහක එකවර තිරගත වෙයි. ඒ දකුණු ආසියානු සුපිරිතරුව රජිනිකාන්ත් රඟන නවතම චිත්‍රපටය වන ‘කබාලි’ය. රජිනි සමඟ රාධිකා අප්තේ, ධනිෂ්කා, වින්ස්ටන් ඛාවේ ආදින් චරිත මවන මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි සියයක වියදමින් නිර්මාණය කරන ලද්දකි. ජෙමිනි චිත්‍රපට බෙදාහරින ‘කබාලි’ නිෂ්පාදනය කලයිපුලි එස් ධනු ගෙනි. අධ්‍යක්ෂණය පී. රංජිත් ගෙනි.


අවුරුදු තිස්පහකට පසු රිදී තැල්ල යළි තිරයට

1981 වසරේදී තිරගත කරන ලද සම්මානනීය චිත්‍රපටයක් වන ‘රිදී තැල්ල’ වසර තිස්පහකට පසු යළිත්වරක් තිරගත කිරීමට එහි නිෂ්පාදකයන් මේ දිනවල විධි විධාන යොදමින් සිටින බව වාර්තා වෙයි.

‘රිදී තැල්ල’ චිත්‍රපටයේ මංගල දර්ශනය ජූලි 29 වැනිදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී මෙරට සම්භාවනීය කලාකරුවන් හා මාධ්‍යවේදීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද නියමිතය. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අමුතුම චරිතයක් රඟන මෙහි රවීන්ද්‍ර රන්දෙණිය පොලිස් අධිකාරිවරයෙකු ලෙස චරිත නිරුපණයේ යෙදෙයි. සොමී රත්නායක, ශ්‍රි‍්‍රයාණි අමරසේන, ලයනල් දැරණියගල, මර්වින් ජයතුංග, සේනක පෙරේරා, ජයසේකර අපොන්සු, සීතා කුමාරි, ඇස්. පෙරේරා, ඉනෝකා අමරසේන, රන්මලි ගුණසේකර, සරච්චන්ද්‍ර පත්තඬුවන, වේහැල්ලේ පියතිලක, දෙනවක හාමිණේ, මියුරි සමරසිංහ, එච්. ආර් ජෝතිපාල ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා මෙහි කැමරාව මෙහෙයවා ඇති අතර තිරනාටකය ලියා ඇත්තේ ශ්‍රියාණි අමරසේන විසිනි. සෝමපාල රත්නායකගේ සංගීතයට ගී ගයා ඇත්තේ එච්. ආර් ජෝතිපාල, වික්ටර් රත්නායක සහ නීලා වික්‍රමසිංහ විසිනි. මෙහි වේශ නිරූපණ ශිල්පියා ඊබට් විජේසිංහ ය. කළු සුදු චිත්‍රපටයක් වන ‘රිදි තැල්ල’ සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ අනුරාධපුරය සහ මිහින්තලය යන ප්‍රදේශ පසුබිම් කරගෙනය. ‘රිදී තැල්ල’ ආතර් යූ අමරසේන සහ කේ. එස්. පෙරේරාගේ නිෂ්පාදනයකි. සිරි කුලරත්න මෙහි අධ්‍යක්ෂවරයා ය. මංගල දර්ශනයෙන් පසු ‘රිදී තැල්ල’ සිනමාහල්වලට මුදාහරින බව එහි නිෂ්පාදකයෝ කියා සිටිති.


හේමාල්, බිමල්, උදාරි රුහුණට එති

‘ආදරණීය කතාවක්’ සිනමා පටයෙහි ප්‍රධාන චරිත මවන හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි සමඟ උදාරි වර්ණකුලසූරිය මෙම මස 23 වැනිදා එනම ලබන සෙනසුරාදා මාතරට පැමිණීමට නියමිතය. ඔවුන් එදින උදෑසන 10ට මාතර ස්කයි ලයිට් සිනමා ශාලාවටත් 10.30ට මාතර නිව් සිනමා ශාලාවටත් පැමිණෙනු ඇත.

එතැනින් පසු සවස 2.30ට තංගල්ල රුහුණු සිනමා ශාලාවටත් සවස 6.30ට ගාල්ල ප්‍රින්ස් සිනමා ශාලාවටත් පැමිණීමට නියමිතව ඇත. එදින එම පිරිස සමඟ මෙම සංචාරය සඳහා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ, නිෂ්පාදක චමින්ද ගමගේ සහ සහය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත සහභාගිවීමට නියමිතය.


සඳ දිය මංකඩ රූපවාහිනියට

විජිත මංජුල සිංහපෘථිවි අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි සිතුවම ‘සඳ දිය මංකඩ’ පසුගිය ජූලි 17 වැනිදා සිට සෑම ඉරුදිනකම රාත්‍රි 8.35ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. ජනක් ප්‍රේමලාල්, ජගත් චමිල, හිමාලි සිරිවර්ධන, ක්‍රිෂ් හෙන්රි, අංජුලා රාජපක්ෂ, මොරින් චාරුණි, ලයනල් වික්‍රම, මාලි ජයවීරගේ, රොහාන් රණතුංග, රංග වීරකෝන්, ගිරිරාජ් කෞෂල්‍ය, සුමනා වන්නිනායක, ෂෙලනි බණ්ඩාර, ඩී. බී ගංගොඩතැන්න ආදිහු මෙහි රංගනයෙන් දායක වෙති.

පුෂ්පකුමාර එල්ලාවල මෙහි රචකයා ය. සජීව ආරියරත්නගේ සංස්කරණයකි. අමල් ලියනගේ කැමරා අධ්‍යක්ෂවරයා ය. කෝකිල විජේසුන්දරගේ කලා අධ්‍යක්ෂණයකි. ප්‍රේමලාල් ගුණතිලකගේ අංග රචනයකි. ආලෝකකරණයෙන් නිහාල් කරුණාරත්න සහ නිමල් සේනාධීර ද, පටිගත නිරීමෙන් මෙහොමඩ් ගසාල් සහ සුදත් පන්නිලගේ විසින්ද සිදුකොට ඇත. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂවරයා ය. ගයාරම්‍ය අල්විස් සහ නිලාර් එන් කාසිම් ගී පදරචකයන් ය. අමරසිරි පිරිස් සමඟ දනෝධ්‍යා අයෝනි ගී ගයා ඇත. ‘සඳ දිය මංකඩ’ ජාතික රූපවාහිනි නාට්‍ය අංශයේ ඉදිරිපත් කිරීමකි.