වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




‘දෙසතියෙන්’ ගොඩනැඟුණු සරච්චන්ද්‍ර ඇසුර

‘දෙසතියෙන්’ ගොඩනැඟුණු සරච්චන්ද්‍ර ඇසුර

'දෙසතිය' පුවත් සඟරාව ආරම්භ වූයේ 1978 දීය. එය මෙරට පළ වූ සහ අදටත් පළ වන එකම පුවත් සඟරාව ලෙස හැඳින්විය හැකිය.

මා 'දෙසතිය' කාර්යාලයට මුලින්ම ගොඩ වුණේ එහි ආරම්භක සංස්කාරක වූ සිරිල් බී. පෙරේරා හමුවන්ටය. ඒ වන විට චිත්‍රකතා රැසක් සිනමාවට නැඟෙමින් පැවති අතර 'චිත්‍ර කතාවයි සිනමාවයි' යන මැයෙන් සිරිල් බී. පෙරේරා හමු වී සම්මුඛ සාකච්ඡාවක් කොට ලිපියක් සකස් කරන්නැයි 'සුරතුර' කර්තෘ රෝහණ වෙත්තසිංහ මට කියා සිටියේය. මා ලිපිය සකස් කර භාර දුන්නත් එය පළ නොවූයේ 'සුරතුර' හිටි හැටියේ නවතා දැමුණු නිසාය.

මට ගාමිණී විජේතුංග මුලින්ම මුණ ගැසුණේ 'දෙසතිය' කාර්යාලයට ගිය අවස්ථාවේදීය. 'දෙසතිය'ට ලියන්නැයි මුල්ම ආරාධනාව කළේ ඔහුය. සිනමාව මගේ විෂය ක්ෂේත්‍රය වුවත් ඒ වනවිට 'දෙසතිය'ට සිනමාව ලිවීම සඳහා වෙනත් ලේඛකයෙක් සිටියේය. ඒ, ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාරය. ඔහු කේරී විදුහලේ ගුරුවර බර්මින් ලයිලි ප්‍රනාන්දු යටතේ සිනමා ව්‍යාපෘතිවලට සම්බන්ධව අත්දැකීම් ලබා තිබූ දක්ෂ තරුණයෙකි.

එහෙයින් මට පැවරුණේ වේදිකා නාට්‍ය ගැන හා චිත්‍ර කලාව ගැන ලියන්ටය.

මම වරක් ඉන්දියාවේ ජාතික නෘත්‍යායතනයේ නාට්‍යකරුවන් මෙරටට පැමිණ නාට්‍ය නිෂ්පාදනය කිරීම ගැන 'දෙසතිය'ට ලිපියක් ලීවෙමි. එහිදී සුගතපාල ද සිල්වා, ආර්. ආර්. සමරකෝන් යන අය ඒ සම්බන්ධ දරන ආකල්ප ද එම ලිපියට ගොනු කළෙමි.

මෙම ලිපියට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් පිළිතුරක් ලැබිණි. 'ටවර්හෝල් අත් අඩංගුවට වැටුණු ඉන්දීය නාට්‍ය ශිල්පීහු' යනුවෙන් හැඳින්වුණු එම ලිපිය 'දෙසතිය' 1981 මැයි 15 කලාපයේ පළ වූයේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ ඇසුරකට මුල පිරුණේ එම පිළිතුරු ලිපියයි.

මගේ පුවත්පත් කලා ජීවිතයේ ලොකුම භාග්‍යය ලෙස කවදත් මා සලකන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමීපව ඇසුරු කරන්ට ලැබීමයි. ඇත්තටම වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ නොවුණු මට මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය ජයදේව තිලකසිරි, මහාචාර්ය නන්දදේව විජේසේකර, මහාචාර්ය එම්. එච්. ගුණතිලක වැනි පඬිවරුන් සමඟ වචනයක් දෙකක්වත් කතා කරන්ට ලැබුණේ පුවත්පත් කලාවට පින් සිදුවන්ටය.

මහාචාර්ය සරච්චන්ද්‍ර තරම් අතිශය නිහතමානී කලාකරුවකු මා කිසිදාක දැක නැත. එක්තරා කාලයක අපේ සවස් යාමයන් බොහොමයක් ගත වුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිවෙසේය. මගේ තනි නොතනියට නිමල් ඒකනායක ද සිටියේය. ඇතැම් දිනවල ජයන්ත අරවින්ද විත් කිසියම් සංගීත භාණ්ඩයක් වාදනය කරනු අපට පෙනේ. එහි මිහිරි සර අප හදවතට දැනේ. මතකය නිවැරදි නම් කිසාගෝතමී දියණියට සංගීතය ඉගැන්වූයේ ඔහුය.

'මනමෙ' නාට්‍යයට අවුරුදු 25 පිරුණේ ද ඒ දිනවලය. ඒ වෙනුවෙන් 'දෙසතිය' විශේෂ කවරයේ කතාවක් ලියැවිණි. එය ලීවේ ගාමිණී විජේතුංග සහ මාය. මනමෙ කුමරු වූ බෙන් සිරිමාන්නගේ තොරතුරු සොයා ඔහුගේ පවුලේ අය හමුවන්ට මා බොරලැස්ගමුවට ගියේ ද ඒ ලිපිය වෙනුවෙනි.

'මනමෙ' 25 ජයන්තිය වෙනුවෙන් විශේෂ ග්‍රන්ථයක් සංස්කරණය කිරීමට මා සැලසුම් කළත් එය අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ වී ගියේය. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන විද්වත්හු මට 'මනමෙ' අළලා විශේෂ ලිපි කීපයක්ම ලියා දුන්හ.

මහාචාර්ය සරච්චන්ද්‍ර ඇසුරේ තවත් වැදගත් සිද්ධියක් වන්නේ නිමල් ඒකනායක මිතුරා සමඟ මා අටුවාව ලියා සංස්කරණය කළ 'පත්‍රිකාව' නම් වූ කෙටි පත්‍රිකා සටහනයි. 1983 පැවති මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය උලෙළක් නිමිත්තෙන් එය එළිදැක්විණි. මේ මෑතකදී මට හමු වූ මහාචාර්ය රන්ජන් අමරසිංහ කියා සිටියේ තමා එකල සරසවි සිසුවකු වශයෙන් සරච්චන්ද්‍ර නාට්‍ය උලෙළ නරඹන්ට පැමිණි විට 'පත්‍රිකාවක්' මිලට ගත් බවයි. (එහි මිල රුපියලකි).

මහාචාර්ය සරච්චන්ද්‍ර සමඟ මීගමු දූවේ 'රජතුන් කට්ටුවේ' නාඩගම දින තුනක් තිස්සේ නරඹන්ට ලැබීම ද අපූර්ව අත්දැකීමකි. මෙම නාඩගම නරඹන්ට මීගමු පුත්‍රයකු වන ප්‍රවීණ නළු ක්ලීටස් මෙන්ඩිස් ද පැමිණ සිටි අතර ඔහු 'මනමෙ' නාට්‍යයේ වැදි රජුට තෝරා ගැනුණේ ඒ අවස්ථාවේ යැයි සිතමි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිහතමානිකම සාක්ෂාත් කෙරුණු එක් අවස්ථාවක් මට සිහිපත් වෙයි. රූකඩ නාට්‍ය ආරම්භ වූයේ නාඩගම පිරිහීමෙන් පසුව බව එතුමා තමාගේ 'සිංහල ගැමි නාටකයේ' කියා ඇත. එහෙත් මගේ මතය වූයේ පාස්කු නාට්‍ය සඳහා රූකඩ භාවිත කෙරුණේ මෙරට තුළ නාඩගම් ව්‍යාප්ත වන්ට ප්‍රථමයෙන් බවය. එය අලුත් අදහසක් බව කී මහාචාර්ය සරච්චන්ද්‍ර 'සිංහල ගැමි නාටකයේ' ඊළඟ සංස්කරණයකදී එය ඇතුළත් කරන බව කියා සිටියේය.

මට ලේක්හවුස් ආයතනයේ රැකියාවට ඒමට උදව් කළ දෙතුන් දෙනාගෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ද කෙනෙකි. ඔහු මා ගැන එවක ලේක්හවුස් සභාපතිව සිටි ලක්ෂ්මන් ජයවර්ධන මහතාට හොඳ සහතිකයක් දී තිබිණි. දිනක් අහම්බෙන් මෙන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න මහතා මුණගැසුණු විටක 'අන්න ලක්ෂ්මන් ඔයාව හොයනවා. ගිහින් ඉක්මනට හම්බු වෙන්න' යැයි කියා සිටියේය.

එහෙත් ලක්ෂ්මන් ජයවර්ධනයන් හමුවන්නට ප්‍රථම වෙනත් මාර්ගයකින් මට ලේක්හවුස් ඒමට මඟ පෑදිණි. (ඒ විස්තර පසුව සඳහන් කරමි).

ලබන සතියේ ‘තුන්වැනි යාමය’ සාකච්ඡාවෙන් ධර්මසිරි කෝප වෙයි